රඟ බිම ජයගත් ලාංකික නැටුම් ශිල්පිනියෝ

අද වෙනකොට අපේ ප්‍රධාන සෑම උත්සව අවස්ථාවකදීම කාන්තාවන් සහභාගි වන නැටුම් නිර්මාණ අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් ලංකාවට නිදහස ලබන අවධිය වන විට තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. නර්තනයේ යෙදීම එක්තරා කුලයකට සීමා වුණු අඩු කුලයේ වැඩක් විදිහට ලංකාවේ ජනතාව අතර මතයක් පැතිර තිබුණා. ඒ වගේම නර්තන භූමිය තුළ ආධිපත්‍යය දැරුවේ පිරිමින් පමණයි. නමුත් ජාතික ප්‍රබෝධයත් සමඟ බොහෝ පිරිස් අපේ සංස්කෘතික අංග පිළිබඳව හැදෑරීමට උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නැටුම තවදුරටත් එක්තරා සමාජ පන්තියකට සීමා වීම වැළකුණු අතර කරළිය තුළ එතෙක් පිරිමියා ලබා සිටි තැන කාන්තාවන් අතින් අභියෝගයට ලක් වුණා. Lifie අපේ මේ සටහන රංග බිම ජය ගන්න මූලිකත්වය ගත්ත කාන්තාවන් කීප දෙනෙක් ගැන. 

 

1. චන්ද්‍ර ලේඛා 

බීරන් හිල්ඩා ඔගස්ටා කරුණාතිලක නම් සුරූපී තරුණිය කලාගුරු ජේ. ඩී. ඒ පෙරේරා සමග සමඟ විවාහයෙන් පස්සේ චන්ද්‍රලේඛා පෙරේරා බවට පත් වෙනවා. ලංකාවෙ නැටුම් කලාව හැදෑරීමට තම සැමියාගෙන් ලද දිරිමත් කිරීම අනුව ඇය රංගම ගුණමාලා හා අල්ගම කිරිගණිතයා යන නර්තන ආචාර්යවරුන්ගෙන් දේශීය නැටුම් සම්ප්‍රදායන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉන්පසුව ඇය ට්‍රැවන්කෝරයට ගොස් භාරතීය නැටුම් පිළිබඳව හදාරනවා. නැවතත් ලංකාවට එන ඇය පත්තිනි, නාරිලතා වන්නම, විජය රාජපුවත වගේ නිර්මාණ සිදු කරනවා. නමුත් ලංකාවෙ නර්තන ක්ෂේත්‍රයේ අවාසනාවකට වගේ ඇය වයස අවුරුදු 31දී මෙලොවින් සමුගන්නවා.

 

2. මීරියම් පීරිස් 

ලෝ ප්‍රකට ඉතිහාසඥ පෝල් ඊ පීරිස් මහතාගේ දියණිය වන මීරියම් පීරිස් මහත්මිය සැලකෙන්නේ ලංකාවේ වෙස් බැඳීම සිදු කළ පළමු කාන්තාව විදිහට. ඇය නර්තනය හදාරන්නේ නිත්තවෙල උක්කුවා ගුරුන්නාන්සේගෙන්. වෙස් බැඳීම පිළිබඳ ව පැවති සම්ප්‍රදායානුකූලව මත වෙනස් කිරීම හැරුණු විට ඇය ලංකාව තුළ නර්තනයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් නම්  සිදු කරන්නේ නැහැ. නමුත් ඇය ලන්ඩනයේ ගතකළ කාලය තුළදී The Drum නම් චිත්‍රපටය සඳහා නළඟනකගේ චරිතය නිරූපණය කිරීමෙන්  දායක වෙනවා. ශ්‍රී ලාංකිකයෙකු බටහිර චිත්‍රපටයක් සඳහා දායක වුණු පළමු අවස්ථාව විදිහට ඇයගේ මෙම චරිත නිරූපණය සලකන්න පුළුවන්.

 

3. රංජනා තංගරාජා

චන්ද්‍රලේඛාගෙන් නර්තන කලාව පිළිබඳව අත්පොත තැබූ රංජනා තංගරාජා උඩරට නැටුම් කලාව පිළිබඳව තව දුරටත් හදාරනු ලැබුවේ  අල්ගම කිරිගණිතයා සහ අර්නෝලිස් ඉඹුල්ගොඩ යන ගුරුවරුන් ඇසුරෙනුයි. ඉන්පසුව ඇය විසින් උඩරට නැටුම් ඇතුළත් පළමු මුද්‍රා නාටකය නිර්මාණය කරනු ලැබුවා. එය හඳුන්වනු ලැබුවේ “ලංකා උපත” යන නමිනුයි.ඇය තම ශිල්ප ඥානය නොමසුරුව බෙදා දෙමින් ගෝල පරම්පරාවක් ලංකාව තුළ බිහි කළා. ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනාමාන කිරීමේ චාරිකාවක නිරතව සිටියදී රංජනා තංගරාජා මියගිය අතර සුප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ටී. අර්ජුන ඇගේ වැඩිමහල් පුත්‍රයායි.

 

4. සිරිමතී රසාදරී 

සිරිමතී රසාදරී ව බොහෝ දෙනෙක් හඳුනන්නේ පරසතු මල් චිත්‍රපටිය මැගී විදිහට. ඒ ඇගේ සිනමා ජීවිතයේ කූටප්‍රාප්තිය .නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සිරිමතී රසාදරී තමයි ලංකාවේ කථකලී නැටුම් සම්ප්‍රදාය ප්‍රචලිත කිරීමට මූලිකත්වය ගත්ත තැනැත්තිය. කලාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කරපු සිරිමතී රසාදරී කිසිවිටෙකත් මුදල ඉදිරියේ කලාව හෝ තම ආත්ම ගෞරවය පාවා නොදුන් තැනැත්තියක්. අද ලංකාවේ ජනප්‍රිය බොහෝ කථකලී රංගන ශිල්ප ශිල්පිනියන් සිරිමතී රසාදරීගේ ගෝලයින්.

 

5. පද්මිණී දහනායක 

හිටපු අගමැතිවරයෙකු වූ ඩබ්ලිව් දහනායක මහතාගේ ඥාති මිණිබිරියක් වුණත් පද්මිණී දේශපාලන වේදිකාව වෙනුවට තෝරා ගත්තේ රංග වේදිකාව. සැඩ සුළං චිත්‍රපටයේදී ජීවන මේ ගමන සංසාරේ ගීතය සඳහා රංග දායකත්වය ලබා දුන් ළමා නළු නිළි යුවල වුණේ දයා අබේසේකර සහ පද්මිණී දහනායක. භරත නැටුම් පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පද්මිණී, ලංකාව තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඇගේ දියණිය වන රංගනා ආරියදාස මවගේ අඩි පාරේ යමින් අද ජනප්‍රිය නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා.

 

6. මිරැන්ඩා හේමලතා

මේ වෙනකොට ලංකාවේ නර්තන ක්ෂේත්‍රයේ සිටින විප්ලවකාරීම කාන්තාව කවුද කියලා  ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ මිරන්ඩා හේමලතා කියන නම. කාන්තාවකට වෙස් බැඳීම සුදුසු නැත යන මතය මුල් බැස ගෙන ගිය සමාජයක එම මතය වෙනස් කිරීම වෙනුවෙන් ඇය තම දායකත්වය ලබා දුන්නා. ඇගේ මේ මැදිහත් වීම හේතුකොට ගෙන බොහෝ කාන්තාවන්ට වෙස් බැඳීමේ චාරිත්‍රය සිදු කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නර්තනය ඉගැන්වීමට ඇය පුරෝගාමී වුණා.

 

7. වජිරා චිත්‍රසේන 

චන්ද්‍රලේඛා සහ මීරියම් පීරිස් උඩරට නැටුම් ඉදිරිපත් කරද්දී ඒ සඳහා භාවිතා කළේ පිරිමි රංග වස්ත්‍රාභරණ. නමුත් කාන්තා රංග වස්ත්‍රාභරණයෙන් සැරසී උඩරට නැටුම් ඉදිරිපත් කිරීමේ පළමු ගෞරවය හිමි වන්නේ වජිරා චිත්‍රසේනටයි. කලාගුරු චිත්‍රසේන මහතාගේ සෙවනැල්ල බඳු වෙමින් ඔහුගේ සියලු නර්තන නිර්මාණ ජීව ගුණයෙන් පුරවාලීමට ඇය තම දායකත්වය විශිෂ්ට ලෙස ලබා දුන්නා. බොහෝ කාන්තාවන් ලාස්‍ය නර්තනයට පමණක් දස්කම් දක්වද්දී වජිරා තාණ්ඩව නර්තනයටත් එකලෙස දක්ෂතාවය දැක්වූවා. නර්තන ක්ෂේත්‍රයට ඇය ලබා දුන් අනූපමේය දායකත්වය අගය කරමින් පසුගියදා භාරත රජය විසින් පිරිනැමූ පද්ම ශ්‍රී සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා.

 

එහෙමනම් මේ නර්තන ශිල්පීන් ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *