දරු සුරතල් බලන්න ඉන්න අයට ගමේ ක්ලිනික් එකයි, මිඩ්වයිෆ් මිස් ගැනයි වැදගත් කාරණා

හා හාපුරා කියල තමන්ගෙ කුළුඳුල් දරු පැටියා ගෙදරට අරන් එන්න බලන් ඉන්න අම්මලා තාත්තලාට තමයි ඔන්න මේ කතාව හුඟක් වැදගත්. මොකද ගොඩක් අය මේ ගමේ ක්ලිනික් එකයි මිඩ්වයිෆ් මිස්ලයි ගැන අහල තිබ්බට හරියටම දන්නව අඩුයි. දැනගත්තත් හුඟක් දුර්මත. ඉතින් අපි කතා කරමු මොකක්ද මේ කාරණා දෙක කියලා.

1. ගමේ ක්ලිනික් එක


ගමේ ක්ලිනික් එක කියල අපි සරළව කියන්නෙ ලංකාවෙ රජයෙන්, ඒ කිව්වෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්​ෂණය යටතේ ග්‍රාමීයව පැවැත්වෙන මාතෘ හා ළමා සායන. හැම නගරයකම MOH ඒ කිව්වෙ සෞඛ්‍ය කාර්‍යාල යටතේ මේ වගේ ක්ලිනික් කිහිපයක් පැවැත්වෙනව. ඒවටම හදපු ස්ථාන වල හෝ ප්‍රසිද්ධ ප්‍රජා මණ්ඩල වගේ තැන්වල. 

මෙන්න මේ මාතෘ හා ළමා සායන මූලිකවම ආරම්භ කරලා තියෙන්නේ ගර්භණී සමයේ හා ප්‍රසූතියේදී සිදුවිය හැකි මාතෘ මරණ සහ ළදරු අවධියේ සිදුවිය හැකි මරණ හා දිගු කාලීන ලෙඩ රෝග පාලනය කරන්නයි. ඉතින් අනිත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්​ෂව ලංකාව මෙන්න මේ ඉලක්ක ඉතාමත් ඉහළින් ජයග්‍රහණය කරල තියෙනව සංඛ්‍යාලේඛණ වලට අනුවත්. මේ කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අවධානයට සහ පැසසුමට ලක්වුණ කාරණයක්. 

මේ සේවාව ගැබිණි මව්වරුන්ට සහ ළ​දරුවන්ට හිමිවෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. හරියට කියන දින වලට ගිහින් සහභාගී වෙන්න විතරයි තියෙන්නෙ.

 

2. සහභාගී වෙන හැටි සහ දුර්මත


සාමාන්‍ය​යෙන් ඕනම ගමක ග්‍රාමසේවා වසමට අනුව ඊට අදා​ළ මිඩ්වයිෆ් මිස් කෙනෙක් හෝ දෙන්නෙක්, ඒ කිව්වෙ පවුල් සෞඛ්‍ය සේවා නි​ලධාරිනියන් පත් කරල ඉන්නව. එයාලගෙ වගකීම් ගොන්නට ළ​දරු හා මාතෘ මරණ, සෞඛ්‍ය විතරක් නෙමෙයි ජනගහණ වර්ධන පාලනයට, සෞඛ්‍ය පවත්වාගෙන යන්න, අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගන්න උපත් පාලනය ගැන දැනුවත් කිරීම වගේ තව හුඟක් කාරණා ඇතුලත්. ඉතින් අන්න ඒ නිසාම යුවලක් අලුත විවාහ පත්වුණ වහාම දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් තිබ්බත් නැතත් මේ ගමේ තමන්ගෙ ප්‍රදේශයට අදා​ළ මිඩ්වයිෆ් මිස්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕන. 

ඔන්න අනිත් කාරණේ. දැන් හා හාපුරා කියල දරු සම්පතක් ලැබෙන්න ඉන්න බව දැනගත්තම තමයි ඊළඟට මිඩ්වයිෆ් මිස්ව හොයාගන්න ඕන. මෙහෙම කිව්වට මේක පළමු නෙමේ ඕනේම දරු පිළිසිඳ ගැනීමකටම අදාළයි. ඒ කිව්වෙ කීවෙනි දරුවා උණත් ක්ලිනික් එකට ගිහින් ලියාපදිංචි වෙලා අදාළ ක්‍රියාපිළිවෙල අනුගමනය කරන එක අනිවාර්‍යයි ඔබ රජයේ රෝහලකට දරු ප්‍රසූතියට යන්න හිතාගෙන ඉන්නවනම්. පෞද්ගලික රෝහලක දරු උපතකට යනවනම් මේක අනිවාර්‍ය නොවුනට ඔන්න අපි පල්ලෙහා ලියන්න යන දේවල් කියවල බලල තීරණය කරන්න පුළුවන් යනවද නැද්ද කියන එක. 

දැන් අපි මූලිකවම පළවෙනි දරුවා ගැන කතා කරන්නෙ ඒ වෙද්දි මේ ගැන කිසිම අවබෝධයක් නැති නිසා. තමන්ට අදා​ළ මිඩ්වයිෆ් කව්ද කියන එක ගැන ග්‍රාමසේවා නි​ලධාරියාගෙන් හරි MOH ඔෆිස් එකෙන් හරි ලේසියෙන්ම දැනගන්න පුළුවන්. තමන් ගර්භණී බව මිඩ්වයිෆ්ට දැනුම් දුන්නම ඇය දැනුම් දෙනවා සහභාගී වෙන්න ඕන ක්ලිනික් එකේ දවස සහ ස්ථානය. ඉතින් මෙන්න මෙතනදී ම්ඩ්වයිෆ් මිස්ලයි වෛද්‍ය නි​ලධාරිණියනුයි විසින් ස්කන්ධ දර්ශකය, අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම, සමාජ රෝග, මානසික සෞඛ්‍ය වගේ අම්මා සම්බන්ධ ගැටළුයි, කුසේ ඉන්න දරුවගේ වැඩීමයි වගේ සෑහෙන කාරණා ගැන අවධානය යොමු කරනව.

හැබැයි හුඟ දෙනෙක් හිතන් ඉන්නේ ගමේ ක්ලිනික් එකට ගියාම බැනුම් අහන්න වෙනවා, මිඩ්වයිෆ්ලා කියන්නේ යක්කු වගේ ඇඟට කඩන් පනින ජාතියක් කියල. කාලෙකට ඉහත කාරණා සිද්ධ උණ විදිහ අනුව කෙනෙක් මෙහෙම හිතන එකත් අසාධාරණ නැහැ. නමුත් දැන්නම් තත්ත්වය හාත්පසින්ම වෙනස්. ක්ලිනික් වල ඉන්න මිඩ්වයිෆ්ලා බහුතරය හරිම කාරුණිකයි වගේම කලිසම් ඇඳන් ගියා වගේ කාරණා වලට ඔහේ ඇඟට කඩන් පනින්නෙ නෑ. මොකද එයාලත් දැන් අඳින්නෙ කලිසම් නේ 🙂 

3. පෝ​ෂණ අතිරේකය සහ පෝ​ෂණ මල්ල


මෙන්න මේක නම් ඔන්න අම්මලා බබාලගෙ විතරක් නෙමෙයි ගෙදර ඉන්න අනික් සාමාජිකයොන්ගෙත් ඉහේ මල් පිපෙන කාරණාවක්. ක්ලිනික් එකේ ලියාපදිංචි වෙලා සායන වාර වලට සහභාගී වෙන ගර්භණී මව්වරුන්ට සායනය මඟින් නොමිලේ ලබා දෙනව පෝ​ෂණ අතිරේකයක්. ඔව් ඔව් ත්‍රිපෝ​ෂ තමයි. 

අනිත් එක තමයි පෝ​ෂණ මල්ල. ඒ කිව්වෙ ගර්භණී වෙලා සති 16 සම්පූර්ණ උන මව්වරුන්ට රජය මඟින් නොමිලේ ලබාදෙනව මාසෙකට රුපියල් 2000 බැඟින් මාස 10ක් දක්වා ඒ කිව්වෙ රු. 20,000ක පෝ​ෂණ මල්ලක්. මල්ලක් කිව්වට දෙන්නේ මුදල් වවුචරයක්. මේ වවුචරය අරන් ගිහින් තමන්ගේ ප්‍රදේශයට අදාල සතොස හෝ නම්කරන ලද වෙනත් වෙළඳ සැලකින් මාසෙකට ඔය රු. 2000ට අදා​ළ භාණ්ඩ ලබාගන්න පුළුවන්. හැබැයි මේ වවුචර් පොත ගන්න ක්ලිනික් එකෙන් දෙන ෆෝම් එක පුරවලා, ග්‍රාම නි​ලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නි​ලධාරී කියන අයගෙන් සහතික කරගෙන AG ඔෆිස් එකට ගිහින් පොඩී කට්ටක් කන්න ඕන. 

 

4. දැනුවත් කිරීමේ සැසි


මේකත් මේ ක්ලිනික් මඟින් කෙරෙන වැදගත්ම සේවාවක්. ගර්භණී කාලය ඇතුලත අවස්ථා තුනකදී ක්ලිනික් එකෙන් දැනුවත් කිරීමේ සැසි ඒ කිව්වෙ සිංහලෙන් කිව්වොත් Educational Sessions තුනක් පවත්වනවා. ක්ලිනික් යන්නෙ අම්ම තනියම උනාට මේවටනම් අම්මයි තාත්තයි දෙන්නම සහභාගී වෙලා දැනුම ලබාගන්න ඕන. ගර්භයේ මුල් අවධියේ ඉඳල මව්කිරි දීම, දරුවා රැකබලා ගැනීම විතරක් නෙමෙයි දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍ය, පවුලේ සම්බන්ධතා ගැන වගේ ගොඩක් කාරණා ගැන දැනුවත් කිරීම මෙතනදී සිද්ධ වෙනව.



5. අම්මගෙ බෙහෙත් සහ එන්නත්


ගර්භණී කාල සීමාව ඇතුලෙදී දරු උපතේදී මවට සහ දරුවාට ඇතිවෙන්න පුළුවන් සංකූලතා මඟහරවා ගන්න මවට ලබා දෙන්න ඕන එන්නත් මේ ක්ලිනික් එකෙන් නොමිලේම ලබාදෙනව. ඒ වගේම තමයි දරුවා ගැබ් ගත්ත බව දැනගත් දවසේ ඉඳන්ම අම්මා ගන්න ඕන ෆෝලික් ඇසිඩ්, කැල්සියම්, යකඩ පෙති වගේ සියලුම විටමින් වර්ගත් නොමිලේම ක්ලිනික් එකෙන් ගන්න පුළුවන්. දරු උපතින් පස්සෙ දරුවාගෙත් අම්මාගෙත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් දරු උපත් අතර පරතරය පවත්වාගන්න අවශ්‍ය දැනුම වගේම ඒ සඳහා අවශ්‍ය ගිලින පෙති, කොන්ඩම් වගේ උපත්පාලන අයිතමයනුත් ක්ලින්ක් එකෙන් නොමිලේම ලබා දෙනව. 

 

6. බබාගෙ එන්නත්


ඔන්න ඊළඟට බබාගෙ එන්නත්. දරුවා ලැබුනට පස්සෙ උපතේ ඉඳලා වැඩුණු තත්ත්වයට එනකන්ම දෙන්න ඕන එන්නත් සියල්ලම ක්ලිනික් එකෙන් නොමිලේම ලබාගන්න පුළුවන්. මේ එන්නත් වලට පින්සිද්ධ වෙන්න තමයි ඉතින් ලංකාව අද වෙද්දි පෝලියෝ, සරම්ප වගේ හුඟක් ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම තුරන් කරල තියෙනව කියල ආඩම්බරෙන් කියන්න පුළුවන්. මේ එන්නත් ඔක්කොම පෞද්ගලික අංශයෙන් ලබාගන්න පුළුවන් උනාට එක එන්නතකට රු.9,000 ඉඳන් 11,000 වගේ අධික මිලක් වැය කරන්න වෙනවා. ඉතින් මේකත් බය නැතුව ක්ලිනික් එකෙන් දෙන ලොකූම පහසුකමක් කියල හඳුන්වන්න පුළුවන්.



7. දන්ත සෞඛ්‍ය


ඊළඟට දරුවාගේ සහ අම්මාගේ දන්ත සෞඛ්‍ය. දතුත් එක්ක බඩේ ඉන්න ළමයට තියෙන සම්බන්ධය මොකක්ද වගේ හිතෙන්න පුළුවන් උණාට ඒකෙත් අපි නොහිතන සම්බන්ධයක් තියෙනව. ගර්භණී සමයේ ඇතිවෙන්න පුළුවන් කැල්සියම් ඌණතා එක්ක අම්මගේ දත් ලෙඩ වෙන්න පුළුවන් වගේම ඒකෙ බලපෑම බඩේ ඉන්න පුංචි පැටියටත් ඇතිවෙන්න පුළුවන් කියල තමයි දැන් නවතම සොයාගැනීම් වලට අනුව දන්ත ​වෛද්‍යායතනය මඟින් දැනුවත් කරන්නෙ. මොකද පැංචගෙ උපතේදීම ළදරු අවධියේදී පිහිටන කිරිදත් 20කුත්, ලොකු උනාම එන ස්ථිර දත් 32කුත් විදුරුමසට යටින් පිහිටලා ඉවරයි. ඉතින් ඒක පරිස්සම් කරන්න ඕන බණ්ඩියේ ඉන්න කාලෙ ඉඳන්මයි. මේ වෙනුවෙන් ගර්භණී මව්වරුන්ව අදාල ඩෙන්ටල් එකට යොමු කිරීම ක්ලිනික් එකෙන්ම කරනව. හරියට කියන දවසට ඒ දන්ත වෛද්‍ය සායන වලට සහභාගී උනාම අම්මගෙ විතරක් නෙමෙයි බබාගෙ දතුත් බබාට අවුරුදු 12ක් වෙනකන්ම බලාගන්න වගකීම දන්ත වෛද්‍යායතනයෙන් බාර ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *