අපි හිතනවට වඩා මේ තරු සෑහෙන මීටර්

රඟපෑම කියන එක රස්සාවක් නැති කමට කීයක් හරි යහමින් හොයාගන්න තියන අතිශය සාම්ප්‍රදායික රස්සාවක් බවට පත් වෙමින් තියනවා. මං කිව්වේ මේ අපේ රටේ එහෙමයි. ලෝක සිනමාව එහෙම නෙවෙයි. අපේ රටෙත් උගත් බුද්ධිමත් රංගනවේදියෝ නැතුව නෙවෙයි. ඒත් බහුතරයක් ඉන්නේ වැල යන අතට මැස්ස ගහපු උදවිය තමයි. ඉතින් එහෙම නොවුණ මීටර් තරු ටිකක් ගැන කතාබහකුයි මේ.



1. නටාලි පෝර්ට්මන්


මොන තරම් නම් විශිෂ්ට රංගන ශිල්පිනියක් ද? තෝරා ගන්නා චිත්‍රපට වුණත් ලපයි සිපයි නෑ සෑහෙන ගැඹුරු කතන්දර තේමා කරගත්තු චිත්‍රපට පස්සේ තමයි යන්නේ. එතැනින් උගත්කමක් තියෙන කෙනෙකු කියලා පොඩිවට අයිඩියා එකක් ගන්න පුළුවන් වුණත් මේ සුන්දරිය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විෂය සම්බන්ධයෙන් උපාධිය ලැබුවා කියලා කවුරුත් හිතන්න ඉඩක් නෑ. හොඳම වැඩේ ඒක නෙවෙයි. නටාලිට ඉතාම හොඳට භාෂා 6ක් කතා කරන්න පුළුවන්. හීබෲ, ස්පාඤ්ඤ, ජර්මන්, ප්‍රංශ, ජපන් සහ ඉංග්‍රීසි කියන භාෂා වතුර වගේ හසුරුවන නටාලි වචනයේ මුළු අර්ථයෙන් ම මීටරයක්.



2. රෝවන් ඇට්කින්සන්


අපේ මුළු ළමා කාලය ම වගේ අපි ණයගැති මේ අසහාය විකට නළුවා එක්ක බලද්දී නියම කොමඩිය වෙන්නේ ලෝකයා ඔහු ගැන හිතා හිටපු විදියයි. නිකන් ම නිකන් කොමඩි ඩයල් එකක්? ඔහු නිව්කාසල් විශ්වවිද්‍යාලේ විද්‍යුත් ඉංජිනේරුවේදය පිළිබඳ උපාධිධාරියෙක්. ඒ විතරක් ම නෙවෙයි. ඒ අංශයෙන් ම පශ්චාත් උපාධිය කරලා තියනවා ඔක්ස්ෆර්ඩ්වල. සාමාන්‍ය ගණන් හිලව් අතික්‍රමණය කරන IQ එකකුත් තියනවා. කටෙන් වචනයකුදු කියන්නැතුව අවුරුදු ගණනක් එන්ටර්ටේන්මන්ට් දෙන්න ඉතින් කොහොමත් වැඩ්ඩෙක් වෙන්න ඕනි.



3. ලීසා කුඩ්රෝ


ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව තරම් ලොව පුරා ආදරයට ලක් වුණ කතා මාලාවක් තවත් තියෙනවද මන්දා. ඒකේ ෆීබිගේ චරිතයට පණ දුන්න ලීසා ගැන මේ කියන්න යන දේ ෆ්‍රෙන්ඩ්ස් රසික රසිකාවියෝ කිසිම විදියකින් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ෆ්‍රෙන්ඩ්ස් නිසා ජනප්‍රිය වුණ ලීසා ලෝකය නොදන්නවා වුණාට වෛද්‍ය ලෝකයේ තවත් දේකට ජනප්‍රියයි. ඒ තමයි ඇය විසින් මිග්‍රේන් වගේ හිස ආශ්‍රිත වේදනා ගැන කරපු පර්යේෂණ ගැන. ඒවා අදටත් NCBI සයිට් එකේ දකින්න පුළුවන්. ඇය ජීව විද්‍යා උපාධිධාරිනියක්.



4. ආර්. මාධවන්


අසල්වැසි රටේ ආදරණීය නළුවෙක්. ඒ කාලේ ඉඳන් ම හරි ම කියුට් පාටට කෙල්ලන්ගේ හීන කුමාරයා වෙලා හිටපු සහ ඉන්න මාධවන්ගේ වැඩ කෑල්ල අහගන්නකෝ දැන්. මේ හාදයා විද්‍යුත් ඉංජිනේරුවේදය සම්බන්ධ උපාධිධාරියෙක් වෙනවා. ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ඔහුට අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබ්බේ නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි, මොහු ත්‍රිවිධ හමුදාවෙම පුහුණුවක් ලබලා තියනවා. ඒ කාලේ මහාරාෂ්ට්‍රයේ හිටපු හොඳම කැඩෙට් ඔෆිසර් කෙනෙක්. අවුරුදු 22 දී කොලීජියේ ඉන්න ගමන් ම ඉන්දියාව වෙනුවෙන් කැනඩාව නියෝජනය කිරීමේ වගකීමක් ද මාධවන් කරලා තියනවා.



5. ජේම්ස් ෆ්‍රැන්කෝ


අපිට ඉස්සෙල්ලා ම මේ චීසි හිනාවක් තියෙන හාදයව මතකයේ රැඳෙන විදියට හමුවෙන්නේ ස්පයිඩර්මෑන් චිත්‍රපටයෙන්. පීටර් පාකර් ළඟට හිටපු හැරී ඔස්බෝර්න් එදා ඉඳන් අද වෙනකන් හොලිවුඩයේ නමක් තියපු සුපිරි නළුවෙක්. අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් යකෙක්. පළවෙනි උපාධිය අවුරුදු දෙකෙන් ඉවර කරලා ඊට පස්සේ එක එක විෂයන් සඳහා යුනිවර්සිටි කොලීජි හතරකට විතර ගිහින් යේල් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරන්නත් ඉඳගත්තා. කොහොමද ඒක!

 


6. ප්‍රීති සින්ටා


නම වගේ ම දැක්කත් හිත සතුටෙන් පිරෙන ප්‍රීති සින්ටා එකිනෙකට වෙනස් විෂයන් එක්ක අධ්‍යාපන ගමනක් ගිය නිළියක්. පළමු උපාධිය ඉංග්‍රීසිවලට. දෙවන එක යනවා මනෝ විද්‍යාවට. පස්සෙන් පහු පශ්චාත් උපාධියක් ලබා ගන්නවා අපරාධ මනෝවිද්‍යාවට. නමුත් අන්තිමේ රඟපෑම ඔක්කොටම වඩා හොඳයි කියලා ඒ තෝරාගැනීම කරනවා. දැන් ඉතින් රඟපාන්නේ නැති එකේ උගත් දෙයින් වැඩක් ගන්න ඇයට පුළුවන්.



7. එමා වොට්සන්


හැරී පොටර් කතා මාලාවේ හැඩකාරිය සහ වැඩකාරිය ඇත්ත ලෝකෙත් ඒ වගේමයි. එමා බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් උපාධිධාරිනියක්. මුල් වසර ඉඳලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ්වල. ඒ වගේ ම ඔක්ස්ෆර්ඩ්වල බාහිර දේශකයෙකු විදියටත් කටයුතු කරලා තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *