ඔබට මතක ඇති මීට ටික කාලෙකට කලින් අපි ඔස්කාර් සම්මාන උළෙලට සම්බන්ධ රසවත් සිදුවීම් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනාවා. ඊට ලැබුණු ප්‍රතිචාර එක්ක අපි හිතුවා ඔස්කාර් සම්මාන උළෙලේ තබා තිබෙන විවිධ වාර්තා පිළිබඳව තොරතුරු ටිකකුත් ඔබ වෙත ගෙන එන්න.
1. අඩුම ආදායමක් ලබා වැඩිම සම්මාන ලැබූ චිත්‍රපටිය
“The Hurt Locker” චිත්‍රපටිය ඔස්කාර් සම්මාන උළෙලේ විවිධ සම්මාන නවයක් සඳහා තෝරා ගැනුණු අතර ඉන් හයක් ජයග්‍රහණය කිරීමට එය සමත් වුණා. මෙම සිදුවීම සමස්ත හොලිවුඩයම පමණක් නොව ලොවපුරා රසික ප්රජාවද පුදුමයට පත් කිරීමට සමත් වූ සිදුවීමක් උනා. ඊට හේතුව වූයේ එම චිත්‍රපටිය තිරගත වූ සමයේම තිරගත වූ “The avatar” චිත්‍රපටිය ආදායම් වාර්තා පිට ආදායම් වාර්තා තබද්දී “The Hurt Locker” චිත්‍රපටය ඉපයීමට සමත් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන විසිඑකක් පමණක් වීමයි. මෙය The avatar චිත්‍රපටයේ ආදායමෙන් සියයට දෙකක පමණ අඩු ප්‍රමාණයක්. කෙසේ නමුත් චිත්‍රපටියක් ගුණාත්මක වීමට එය ආදායම් වාර්තා තබා තිබීම අත්‍යවශ්‍ය නොවන බව මෙම චිත්‍රපටිය විසින් ඔප්පු කරනු ලැබුවා.
2. පළමු කාන්තා අධ්‍යක්ෂකවරිය
අපේ රටේ සම්මාන උළෙලවල් වල කාන්තා චිත්‍රපටය අධ්යක්ෂවරියන්ට හොඳම චිත්‍රපටි අධ්‍යක්ෂකවරියට හිමි සම්මානය ඕනතරම් හිමිවෙලා තියෙනවා. නමුත් කාන්තාවන්ට සම තැන දීම පිළිබඳව අපිටත් දේශනා පවත්වන ඇමරිකා එක්සත් ජනපදය පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක වෙන ඔස්කාර් සම්මාන උළෙලේදී කාන්තාවකට හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය මුල්වරට පිරිනැමුණේ 2010 වසරේදීයි. ඒ අපි ඉහතිනුත් සඳහන් කරපු “The Hurt Locker” චිත්‍රපටය සඳහාමයි. එහි තවත් විශේෂත්වයක් වූයේ එය දිනාගත් කැත්රින් බිගලෝ ගේ හිටපු සැමියා වූ ජේම්ස් කැමරනුත් එම උළෙලේදී “Avatar” චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානයට නිර්දේශ වී තිබීමයි.
3. ඔස්කාර් සම්මානය දිනා ගත්තු වයස්ගතම නිළිය
“Driving Miss Daisy” චිත්‍රපටයේ රඟපෑ ජෙසිකා ටැන්ඩි (Jessica Tandy) තම හැකියාව ඉදිරියේ වයස යනු ඉලක්කම් කීපයක් යන බව ඔස්කාර් සම්මාන වේදිකාවේ ඔප්පු කිරීමට සමත් වුණා. හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය ඇයට හිමිවන විට ඇයට වයස අවුරුදු අසූ එකක්. ඇතැම් නිළියන් සිය තරුණ විය මැකී යද්දී සිනමාවට සහ රංගනයට සමු දෙන නමුත් ටැන්ඩි තම ජීවිත කාලය පුරාවටම රංගනය අත්හැරියේ නැහැ.
4. ලාබාලතම ඔස්කාර් සම්මානලාභිනිය
“Sex and the City” කතා මාලාව නැරඹූ අයට නම් සරාගී ටැටුම් ඕනීල් (Tatum O’Neal) රූපය අමතක නැතුව ඇති. නමුත් ඇය වයස අවුරුදු දහයේදී ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමට සමත් වූ බව ඔබ දැන සිටියාද? “Paper Moon” චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය වෙනුවෙන් 1974 වසරේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ඇයට පිරිනැමුණු අතර එම කාලයට සාපේක්ෂව එය දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. එසේම ඇගේ පියාද එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කොට තිබුණා.
5. වැඩිම ඔස්කාර් සම්මානලාභිනිය
එතෙක් මෙතෙක් ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ තැනැත්තිය ලෙස ඉතිහාසගත වන්නේ කැතරින් හෙප්බර්න් (Katharine Hepburn) නම් නිළියයි. හැට වසරක සිය රංගන ජීවිතය තුළ අවස්ථා හතරකදී ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් වුණා. අදටත් මෙම වාර්තාව අභිබවා යෑමට කිසිදු නළුවෙකු හෝ නිළියක සමත් වී නැහැ. එනිසාම ඇමරිකා එක්සත් ජනපද සිනමා ආයතනය රිදී සිනමාවේ හොඳම නිළිය ලෙස ඇයව තෝරාගෙන තිබෙනවා.
6. නිහඬ චිත්‍රපටියට ලැබුණු සම්මානය
හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණු එකම නිහඬ චිත්‍රපටය වන්නේ “Wings” චිත්‍රපටයයි. එසේම එම චිත්‍රපටය සඳහා හොඳම තාක්ෂණික ප්‍රයෝග වලට හිමි සම්මානයද පිරිනැමුණා. ඇතැම් විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද “The Artist” චිත්‍රපටය මෙම වාර්තාව අලුත් කිරීමට සමත් වනු ඇතැයි අපේක්ෂා කළත් එය සැබෑවක් වුණේ නැහැ.
7. ඔස්කා සම්මාන හිමි කරගත් ප්‍රථම වර්ණ චිත්‍රපටිය
එතෙක් කලක් කළු සුදු වර්ණ වලට පමණක් සීමාව පැවැති රිදී තිරය වර්ණවත් වීමට පටන් ගැනීමත් සමගම ඔස්කාර් සම්මාන උළෙලේදීත් වැඩි තරගකාරීත්වයක් ඇති වුණා. නොයෙක් අධ්‍යක්ෂකවරු තමන්ගේ චිත්‍රපටය පළමු වතාවට හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගනු ලබන වර්ණවත් චිත්‍රපටියට හිමි සම්මානය ලබා ගැනීමට සමත් වනු ඇතැයි අපේක්ෂා කළා. නමුත් අවසානයේදී එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ වික්ටර් ෆ්ලෙමින්ග් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “Gone With The Wind” චිත්‍රපටයයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply