දැන් ඔය ලෝකේ පැතලියි කියන කතන්දරේට මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධියක් ලැබෙනවනේ. ඒකට ඉතින් සමහරු කියනවා හේතුව වෙන්නේ, ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලන තත්වය ගැන අවධානය තාවකාලිකව ඉවත් කරලා, වෙන ආතල් සබ්ජෙක්ට් එකකට මිනිස්සුන්ගේ අවධානය යොමු කරවන්න බලයේ ඉන්න අය විසින්ම කරන කුමන්ත්‍රණයක් නිසයි කියලත්. හැබැයි අමතක කරන්න එපා. මේ ලෝකේ පැතලියි කියන, එහෙම නැතිනම් Flat Earth conspiracy theorists ලා මේ වෙනකොට සෑහෙන කාලෙක ඉඳලම අහන දෙයක් තමයි, ලෝකේ ඇත්තටම පැතලියි නම්, ඇයි මේ ලෝකේ ඉස්කෝල වල සිලබස් වල ඉඳලා, මිනිස්සුන් පුංචි කාලේ ඉඳලා ලබාගන්න සාමාන්‍ය දැනීම දක්වාම ලෝකේ ගෝලාකාරයි කියලා උගන්නන්නේ කියන එක. ඒකට ඒ අය ලඟ උත්තරයක් තියෙනවා. එහෙම මුළු මහත් ලෝකෙක ඉන්න බහුතරයක් දෙනා ලෝකේ ගෝලාකාරයි කියලා විශ්වාස කරන්න ප්‍රධානතම හේතුව වෙන්නේ, ලෝකේ පැතලියි කියලා වහං කරන්න ලෝක මට්ටමෙන්ම ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ! පිස්සු කොරවෙනවා නේද?
නෑ, ඇත්තටම පිස්සු කොර වෙන්න පටන් ගන්නේ මේ කියන කුමන්ත්‍රණ මොනවද කියලා ඇහුවට පස්සේ. අන්න ඒ නිසා, අපි පොඩ්ඩක් බලමු මොනවද මේ කියන පැතලි ලෝක කාරයෝ කියන කුමන්ත්‍රණ කියලා!
01. ෆොටෝෂොප්!
අපි ෆොටෝෂොප් කියලා පටන් ගත්තට, ඇත්තටම මේ කියන්න යන්නේ ලෝකේ පාවිච්චි වෙන ඔය ග්‍රැෆික් ඩිසයිනින් ටූල්ස් හැම එකක්ම ගැන තමයි. මොකක්ද මේ ග්‍රැෆික් ඩිසයිනින් වලට ලෝකේ නිර්මාණය වෙලා තියෙන මෙවලම් ලෝකේ පැතලියි කියන එකත් එක්ක සම්බන්ධ වෙන කුමන්ත්‍රණේ? සරලයි. දැන් පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම ලෝකේ මොන වගේද කියලා, පොඩි ළමයා කියනවා බෝලයක් වගේ කියලා. එතකොට සෞර ග්‍රහ මණ්ඩලයක් තියෙනවා, ඒකේ තියෙන ලෝක, හඳවල් එහෙමත් ගෝලාකාරයි කියලා. එතකොට පොඩි එකා එහෙම කියන්නේ ඇයි? හේතුව, පොඩි කාලේ ඉඳලා එහෙම උගන්නනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකය ගෝලාකාරයි කියලා දකින්න පින්තූර එහෙමත් ඕනෑ තරම් තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ එහෙමත් ඡායාරූප ඕනෑ තරම් තියෙනවා. ආන්න ඒ පින්තූර එකක්වත් ඇත්ත නෙවෙයි කියලා තමයි පැතලි පෘතුවි න්‍යායකාරයෝ කියන්නේ. ඒවා ඔක්කොම සංස්කරණය කරපුවා. මේ ලෝකය පැතලියි කියන සත්‍යය වසං කරන්න හදපු මහා කුමන්ත්‍රණයක කොටසක්. ආන්න ඒ කුමන්ත්‍රණය වෙනුවෙන්, ඔය ඡායාරූප සංස්කරණය කරන්න තමයි ෆොටෝෂොප් අනං මනං ටූල්ස් හදලා තියෙන්නෙත්!!
02. චාර්ල්ස් ඩාර්වින් කුමන්ත්‍රණය
දැන් පරිණාමවාදයේ පියා කියලා අපි කියන්නේ චාර්ල්ස් ඩාර්වින්ටනේ. පරිණාමවාදයට අනුව, ලෝකේ ජීවය බිහිවෙන්නේ ආදි සූපය කියලා කියන මිශ්‍රණයෙන් බිහිවුණු ඒක සෛලික ජීවීන් බිහිවෙලා, පරිණාමය වෙලා, ජලයෙන් ගොඩබිමට පැමිණි පළමු සත්වයාගෙන් කියලනේ කියවෙන්නේ. ඒ සත්වයාත් පරිණාමය වෙලා වෙලා විවිධ සත්තු බිහිවෙනවා. වානරයෝ කියන්නෙත් ඉන් කොටසක්. ඊට පස්සේ මේ වානරයන්ගෙන් මිනිසා පරිණාමය වුණා කියලනේ කියවෙන්නේ. දැන් ඔය පරිණාමවාදය කුමන්ත්‍රණයක් කියලා කියන අය අහන්නේ, කොහොමද මිනිසා පරිණාමය වුණේ වඳුරන්ගෙන් නම්, තාමත් වඳුරෝ මේ ලෝකේ ඉන්නේ කියලා. ඒ අය අහන්නේ වඳුරෝ ඔක්කොම මිනිස්සු බවට පරිණාමය වෙලා, වඳුරෝ කියලා දෙයක් මේ ලෝකේ නැතිවෙන්න ඕන නැද්ද කියලා. ඒක ඉතින් බොහොම පහසුවෙන් බිඳින්න පුලුවන් තර්කයක් වුණත්, පැතලි පෘතුවිය ගැන විශ්වාස කරන අය මේ පරිණාමවාදයේ කුමන්ත්‍රණයත් හදවතින්ම වැළඳගන්නවා. ඒ අය කියනවා චාර්ල්ස් ඩාවින් ඇතුළු පරිණාමවාදය ගැන කියන හැම දෙනෙක්ම මේ මහා කුමන්ත්‍රණයේ කොටස්කාරයෝ කියලා!
03. ඩාර්ක් එනර්ජි
ලෝකය පැතලියි කියලා විශ්වාස කරන කොට, අයින්ස්ටයින් කියපු කාල-අවකාශ සන්තතිය කියන න්‍යාය කුඩු සංසාර වෙලා යනවයි කියන එක ආයෙ අහන්න දෙයක් නෑනේ. ඒ විතරක් නෙවෙයි, අයිසැක් නිව්ටන් කියපු ගුරුත්වය ගැන කතන්දර පවා නිකම්ම සුරංගනා කතා බවට පත් වෙනවා. එතකොට මේ අය කියනවා, ඇත්තටම ගුරුත්වය කියලා එකක් නැහැලු. ගුරුත්වය කියන්නේම හිතින් මවාගත්තු සංකල්පයක්ලු. එහෙම එකක් තියෙනවා නම්, ඒක අපිට අල්ලලා බලන්න, අඩු ගාණේ මෙන්න මෙහෙමයි කියලා ඔප්පු කරලා පෙන්නන්න බැරි ඇයි කියලා ඒ අය අහනවා. මේ කට්ටිය කියන්නේ ඇත්තටම අපි පොළවෙන් විසිවෙලා අභ්‍යවකාශයේ පා වෙන්නේ නැතුව, පොළවට ඇලිලා ඉන්නේ අඳුරු ශක්තිය නැතිනම් ඩාර්ක් එනර්ජි කියලා කියන බලවේගයක් නිසාලු. ඒක හංගගෙන ඉන්නලු මේ තරම් විද්‍යාඥයෝ මේ ගුරුත්වයක් ගැන කතන්දර කියන්නේ. වෙන විදියකට කිව්වොත්, ගුරුත්වය කියන්නේම කුමන්ත්‍රණ කතාවක් ලු!
04. ඒලියන්තලා
දැන් ඔය ඒලියන්ස්, එහෙම නැතිනම් පිටසක්වළ ජීවීන් ගැන අහලා නැති කෙනෙක් නැහැනේ. පිටසක්වළ ජීවීන් ගැන අපි ටොන් ගාණින් චිත්‍රපටි බලලා තියෙනවා, එතකොට පොත් කියවලා තියෙනවා. ඒ විතරක්ද, මේ ලෝකේ හැම කොණකම පිටසක්වළ ජීවීන් දැක්කයි කියලත් වාර්තා වෙනවා. හැබැයි එහෙම වුණාට, පිටසක්වළ ජීවීන් ඉන්නවා කියලා ටක්කෙටම කියන්න පුලුවන් සාධක තාම නිල වශයෙන් වාර්තා වෙලා නෑ. ඒ කියන්නේ නාසා එක ඇතුළුව අභ්‍යවකාශය ගැන අපිට තොරතුරු කියන ඕනම ආයතනයක් කියන්නේ, එහෙම පිටසක්වළ ජීවීන් ඉන්නවා කියන්න ස්ථිර සාධක කොහෙන්වත් ලැබිලා නැහැයි කියලා තමයි. හැබැයි මේ පැතලි පෘතුවි න්‍යාය විශ්වාස කරන කොටසක් කියනවා, ඒවා ටොම් පචලු. එහෙම පච කියලා ලෝකේ ඉන්න මිනිස්සුන්ව අන්දන්න මේ ආයතන කටයුතු කරන්නෙත් ඇත්තටම අපිට උඩින් ඉන්න කොටසකගේ අණ පරිදිලු. වෙන එකක් තියා, මේ ලෝකේ රජයයන් පවා වැඩ කරන්නේ ඒ උඩින් ඉන්න කොටසේ අභිමතයේ විදියටලු. එතකොට කවුද ඒ උඩින් ඉන්නේ? වෙන කවුරුවත් නෙවෙයි, මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙන අපි හිතන පතන විදිය, ජීවත් වෙන විදිය ඉඳලා හැමදෙයක්ම පාලනය කරන පිටසක්වළ ජීවීන්ලු!
05. ඇන්ටාර්ක්ටිකාවට යන්න බැරි ඇයි?
සමහර ෆ්ලැට් අර්ත් ඩයල්ස් කියන විදියට, පැතලි ලෝකේ ගැට්ටෙන් කවුරුවත් වැටෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි, ලෝක ගැට්ට කියලා අපිට කියන්න පුලුවන් වෙන්නේ ඇන්ටාර්ක්ටිකාවටලු. තව පැහැදිලි කළොත්, ආර්ක්ටික් වෘත්තය තියෙන්නේ ලෝකේ මැද, ඇන්ටාර්ක්ටිකාව තියෙන්නේ පැතලි පොළවේ ගැට්ටේ. එතකොට මේ ඇන්ටාර්ක්ටිකාව කියන්නේ නිකම්ම අයිස් පිරුණු භූමි කොටසක් නෙවෙයිලු. ඇන්ටාර්ක්ටිකාව කියන්නේ ඇත්තටම කිලෝමීටර් ගණනාවක් දිගට සහ අඩි එකසිය පණහක් විතර උසට පැතිරුණු අයිස් බිත්තියක්ලු. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් මේ පැතලි පෘතුවි තලයෙන් පිටට වැටෙන්නෙ නෑ මේ අයිස් බිත්තිය නිසා. අනික, මේ අයිස් බිත්තිය නගින්නත් කාටවත් බැරිලු. එතකොට මිනිස්සු ඇන්ටාර්ක්ටිකාවට ගිහින් නැහැනේ. ඒකට හේතුව, නාසා එකෙන් ඇන්ටාර්ක්ටිකාව මුර කරනවලු, කාටවත් එන්න නොදී!
06. පොළවට එහා වීදුරු ඩෝම් දෙකක්!
මේක ඇත්තටම මෑතකදී ශ්‍රී ලංකාවේ පැතලි පොළවක් ගැන යූටියුබ් චැනල් එකක ගියපු කතන්දරයක්. ඒකේ කතා කරන කෙනා කියන විදියට, මේ ලෝකේ පැතලියි. එතකොට පැතලි ලෝකේ ගැට්ටට ගියහම තියෙන්නේ කිලෝමීටරයක් දෙකක් විතර ඝනකම වීදුරුවක්, එහෙම නැතිනම් වීදුරු ඩෝම් එකක්. එතකොට ඊට එහායින් තියෙනවා තව ඒ වගේම ඝනකම තියෙන පිටත වීදුරු ඩෝම් එකකුත්. එතකොට මේ වීදුරු ඩෝම් දෙක අතර තියෙන හිස් අවකාශයේ තියෙන්නේ වතුරලු. ආන්න ඒකලු අපි අහස දිහා බැලුවහම අහස නිල්පාටට පේන්නේ. ඒ කියන්නේ වෙනත් විදියකට කිව්වොත්, අපි නිල්පාට අහස කියලා දකින්නේ පැතලි පොළව ආවරණය කරමින් නිර්මාණය වෙලා තියෙන වීදුරු ඩෝම් දෙක අතරේ ගලන වතුරලු! එතකොට කවුද ඔය විදියට වීදුරු ඩෝම් ගහලා, ඒ මැද්දේ වතුර දාලා පොළව හදපු කෙනා? මේ අය කියන විදියට, මේ විශ්වයේ නිර්මාපකයා කියලා කියන්න පුලුවන් කෙනාලු ලෝකේ ඔය විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඔය කතන්දරේ ඉතින් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්ම කියවෙනවා කියන්ඩකෝ!
07. අයිස් ඩෝම් එක ඇතුළේ ග්‍රහ මණ්ඩලයක්
මේකත් ඔය ඉන්ටර්නැෂනල් ෆ්ලැට් අර්ත් සෙට් එක කියන තියරියක්, අපේ විශ්වාසයන්ට ගැලපෙන විදියට හදලා අරගෙන තමයි උඩ කියපු යූටියුබ් චැනල් එකේ කියන්නේ. ඒකේ කියන විදියට ඇත්තටම අපි දන්න කියන විදියේ සෞරග්‍රහ මණ්ඩලය කියලා එකක් නෑ. ඇත්තටම ඔය කියන බ්‍රහස්පති, සිකුරු අනං මනං ඔක්කොම තියෙන්නේ අර අපි උඩ කියපු වීදුරු ඩෝම් දෙක අතරෙලු. ඒ කියන්නේ ඒ වීදුරු ඩෝම් දෙක අතරේ තියෙන ජලයේලු. එතකොට කොහොමද හත්තිලව්වේ එහෙම කිලෝමීටර් ගණනක ඉඩක් තියෙන වීදුරු ඩෝම් අවකාශයකට වුණත් අච්චර ලොකු ග්‍රහයෝ දාන්නේ? සරලයි. ඇත්තටම එහෙම ග්‍රහයෝ කියලා සීන් එකක් නෑ. ග්‍රහලෝක කියන්නේ සෙලවෙන මනසලු. ඇත්තටම තියෙන්නේ ශක්ති ප්‍රභවයන්ලු. උදාහරණයක් විදියට අපි සිකුරු ග්‍රහයා කියන්නේ ශක්ති ප්‍රභවයකටලු. එතකොට අඟහරු ග්‍රහයා කියන්නෙත් ශක්ති ප්‍රභවයකටලු. ඒ ප්‍රභවයන්ගෙන් ලැබෙන ශක්තිය අනුවලු අපි ජ්‍යෝතිෂය කියන විෂය නිර්මාණය කරගෙන තියෙන්නේ!
අපි මීට කලින් කතා කළා, ලෝකේ පැතලියි කියලා සමහරු තාම විශ්වාස කරන්නේ ඇයි කියන කාරණාව ගැන. දැන් අද කතා කලේ, පැතලි ලෝක කාරයෝ කියන, ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ ගැනනේ. ඊලඟට කතා කරමු, ඇත්තටම ලෝකේ පැතලි නැහැයි කියලා අපිට කියන්න පුලුවන් සරල සාධක කීපයක් ගැන!
Leave a Reply