බුකර් සම්මානලාභී කෘතීන් හතක සිංහල පරිවර්තන කියවමු

ඔයාලට මතක ඇති අපි මීට කලින් කතා කළා බුකර් සම්මානලාභී කෘතීන් හතක් ගැන. ඒක ඔයාට මිස් වුණා නම් මෙන්න මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ Booker සම්මානය දිනාගත්ත කෘතීන් හතක සිංහල පරිවර්තනයන් ගැන.

 

1. ආගන්තුක රෝගියා 

සරලවම කිව්වොත් “ආගන්තුක රෝගියා” කියන්නෙ ලංකා සම්භවයක් තියෙන කැනඩාවේ පදිංචි ලේඛකයෙක් වන මයිකල් ඔන්ඩච්චි (Michael Ondaatje) ගේ “The English Patient” නම් විශිෂ්ටතම නවකතාවේ සිංහල පරිවර්තනය. මේ නවකතාව ලෝකයේ කොච්චර නම් අවධානයට සහ ආදරයට පාත්‍ර වුණු කෘතියක්ද කියලා ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ කියලයි අපි හිතන්නෙ. ඒ තරම් ලෝකයේ ජනප්‍රිය වුණු, විශිෂ්ට සිනමා නිර්මාණයකට පවා පාදක වුණු අතිශයින්ම විශිෂ්ට කෘතියක්.

 

2. පා සටහන් නැති දෙවියෝ 

“God of Small Things” කියන තමන්ගේ කුළුඳුල් නවකතාව වෙනුවෙන් Booker සම්මානය දිනාගන්න අරුන්දතී රෝයි සමත් වුණා. ඉතින් ඉන්දියාව තුළ ගොඩක් අය කතා නොකරන මාතෘකා ගැන හරිම රමණීය භාෂාවකින් ඇය ලියා තිබෙන මේ නවකතාව එරට තුළ ආන්දෝලනයක් පවා ඇති කරන්න සමත් වුණා. ඉතාම සංවේදී කාරණාවලින් සමන්විත කතාවක් සිතට දැනෙන විදිහට ඉදිරිපත් කරපු මේ පොතට Booker සම්මානයක් හිමිවීම ඇත්තටම පුදුමයට කාරණයක් නෙමෙයි. 

 

3. ධවල ව්‍යාඝ්‍රයා 

 ධවල ව්‍යාඝ්‍රයා එහෙම නැත්නම් “The White Tiger” ගැන ආයේත් ලොකු කසුකුසුවක් එන්න ගත්තේ ගිය වසරේ ඒ නමින්ම තිරගත වෙච්චි විශිෂ්ට චිත්‍රපටය නිසාමයි. හැබැයි ඊටත් කලින් මේක ලොකු කතාබහක් ඇති කරපු බුකර් සම්මාන ලාභී නවකතාවක් වුණා. 2008 වසරේ බුකර් සම්මානය දිනූ අරවින්ද් අඩිගාගේ මේ විශිෂ්ට කෘතිය ඔස්සේ ඉන්දියානු සමාජය ගැන අපූරු විවරණයක් කරන්න සමත් වුණා. නවකතාව කියවීම සමහරවිට තරමක් වෙහෙසකර වෙන්න පුළුවන් වුණත්, අනිවාර්යයෙන්ම කියවිය යුතුම කෘතියක්. 

 

4. සුදු රටේ කළු ගැහැනු

 මේක බොහොම මෑතකදී පරිවර්තනය වුණු කෘතියක් නිසා ගොඩක් දෙනා අතර නම් තවම එතරම් කතා බහක් ඇති වුණේ නෑ. හැබැයි මෙහි මුල් කෘතිය ලෝකයේම අතිශයින්ම කතාබහට ලක් වුණු විශිෂ්ට කෘතියක්. බර්නඩීන් එවරිස්තෝ රචනා කරපු “Girl, Woman, Other” නම් මේ කෘතිය හරහා බ්‍රිතාන්‍ය සමාජයේ ජීවත් වන කළු ජාතික කාන්තාවන් දොළොස් දෙනෙකුගේ ජීවිත ගැන අපූරුවට කතාකළා.

 

5. ගර්හාව

 ජේ. එම්. කොඑට්සි හට 1999 වසරේ බුකර් සම්මානය හිම් කර දුන් ඔහුගේ “Disgrace” කෘතිය තමයි මේ ගර්හාව නමින් සිංහලට පරිවර්තනය වෙන්නේ. සනත් බාලසූරිය තමයි මේ කෘතිය පරිවර්තනය කරන්​නේ. දකුණු අප්‍රිකාවේ පවතින වර්ණභේදවාදය සහ තවත් සමාජ ගැටළුද, ඒවා සමග ගැටෙමින් ඉදිරියට ඇදෙ​න මාන​ව සබඳතාවන් ගැ​න​ද සියුම් ලෙස ප්‍රශ්න කරපු විශිෂ්ටතම කෘතියක් විදියට හඳුන්වන්න පුළුවන් මේ නවකතා​ව.

 

6. පායිගේ විස්මිත මුහුද ගමන

 කැනේඩියානු ලේ​ඛකයෙක් වුණු යන් මාටෙල්ගේ අතිශය ජනප්‍රිය වුණු සිනමාපටයකටත් පාදක වුණු විශිෂ්ට නවකතාවක් වුණු “Life of Pi” හි සිංහල පරිවර්තනය තමයි මේ. 2002 වසරේදී මේ කෘතිය බුකර් සම්මානයට පාත්‍ර වුණා. අප්‍රතිහත ධෛර්​යයකින් පැසිෆික් සාගරය තරණය ක​ළ පායිගෙ මේ ගමන මායා යථාර්​තය ද මුසු වුණු අපූරු කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

7. නොසන්සිඳි මාවත 

මේ කෘතියත් මායා යථාර්තවාදය මුසු වෙච්චි අපූරු කතාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. නයිජීරියානු ලේඛක බෙන් ඔක්රිගේ “The Famished Road” කෘතියේ සිංහල පරිවර්තනය තමයි මේ. 1991 වසරේදී මේ කෘතිය බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවා. දරිද්‍රතාව, නූගත්කම, දේශපාලනය වගේ මාතෘකාද මේ නිර්මාණය තු​ළ කතා වෙනවා. ඒ වගේමයි මේ කෘතිය රචනා කරන්නේ නයිජීරියානු ලේඛකයෙක් වු​ණත්, මේ පොතේ කොතනකවත් නයිජීරියාව ගැන සඳහන් වෙන්නෙ නැහැ.

 

ඉතින් මීට අමතරව බුකර් සම්මානලාභී සිංහලට පරිවර්තනය වුණු තවත් විශිෂ්ට කෘතීන් ගැන ඔයත් දන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට අමතක නොකර කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ තොරතුරු අමතක නොකරම යාළුවෝ එක්කත් බෙදාගන්න ඕනේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *