සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ වීඩියෝ ගේම්ස් වලට කැමතියිනේ. වීඩියෝ ගේම්ස් කිව්වහම දැන් කාලේ ගොඩක් දෙනා ස්මාට්ෆෝන් වලින් ගහන්න පුළුවන් ගේම්ස් වලට යොමුවෙලා ඉන්නවා අපිට පේනවා. හැබැයි ඇත්තටම අපි කතා කරන්නේ ඊට එහා ගිහින් කම්පියුටර් වලින් සහ ගේමින් කොන්සෝල් වලින් ක්‍රීඩා කරන්න පුළුවන් සීරියස් මට්ටමේ වීඩියෝ ගේම්ස් ගැන. ඔය වීඩියෝ ගේම්ස් ගැන කතා කරනකොට සමහර වෙලාවට ඇහිලා ඇති AAA ගේම්ස් නැතිනම් “ට්‍රිපල් ඒ” ගේම්ස් කියලා එකක් ගැන කියවෙනවා. මේ AAA කියන එකෙන් කියවෙන්නේ වඩාත් විශාල බජට් එකකින් නිර්මාණය වෙන, මධ්‍යම ප්‍රමාණයේ ගේම් පබ්ලිෂර් කෙනෙක් හෝ මහා පරිමාණ දැවැන්ත ගේම් පබ්ලිෂර් කෙනෙක් හෝ නිෂ්පාදනය කරලා බෙදාහරින වීඩියෝ ගේම්ස් තමයි. මේ කියන විදියේ ගේම්ස් වලට ආයෝජනය කරන මුදල, කාලය සහ ශ්‍රමය එක්ක බැලුවහම මේ AAA ගේම්ස් හෙවිඩියුටි නැතිනම් දැවැන්ත වෙන්න ඕන කියන එක තමයි ඉතින් සාමාන්‍ය මතය.
හරි. අවුරුද්දකට මේ වගේ සුපිරි වීඩියෝ ගේම්ස් කීපයක් හරි රිලීස් වෙනවනේ. එතකොට මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2021 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන, වීඩියෝ ක්‍රීඩා ලෝලියෝ එනකල් පුල පුලා බලාගෙන ඉන්න, මේ කියන විදියේ සුපිරි වීඩියෝ ගේම්ස් තියෙනවද? ඒ ගැන දැනගන්න පුළුවන් දිගටම කියවගෙන යනකොට!
1. Horizon Forbidden West
හොරයිසන් සීරෝ ඩවුන් ගේම් එක ප්ලේ කරපු අය දන්නවා, මේ ලෝක විනාශයකින් පස්සෙ ආයෙමත් නිර්මාණය වුණු, තාක්ෂණය අතින් මුල් යුගයක ඉන්න විවිධ මිනිස් ගෝත්‍ර, තාක්ෂණිකව ඉතාමත් දියුණු යාන්ත්‍රික රොබෝ සත්වයින් එක්ක එකට ජීවත් වෙන ලෝකය කොයි තරම් අපූර්වද කියලා. ඇත්තටම එතෙක් මෙතෙක් වීඩියෝ ගේම් එකක ආපු විශිෂ්ටතම විවෘත ලෝකයක් විදියට හඳුන්වන්න පුළුවන් හොරයිසන් සීරෝ ඩවුන් එකේ ක්ෂිතිජයන් තවත් දුරට පුළුල් කරන්නට හොරයිසන් ෆෝර්බිඩ්න් වෙස්ට් සමත් වෙයි කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. මේකෙදී අපේ කතා නායිකාව ඒලෝයි ගුප්ත බවෙන් වැසුණු තහනම් බටහිර දේශයන් වෙත ගමන් කරන්නේ, මිනිස්සුන්ව මරා දමමින් පැතිරෙන අබිරහස් වසංගතයක සුලමුළ හොයාගන්න. හැබැයි මේ බටහිර බිම්පෙදෙස් වල ඒලෝයිට වගේම අපිටත් මුණගැහෙන්නේ පෙර නුදුටු විරූ ආදිකල්පික ලෝකයක වර්තමානය වගේම, මින් පෙර මුණ නොගැසුණු විදියේ යාන්ත්‍රික සත්වයින් සහ නව අභියෝගයන් තමයි.
2. Hitman 3
අනූ ගණන් වල වීඩියෝ ගේම්ස් අත්පොත් තිබ්බ අයට ඒජන්ට් 47 නැතිනම් හිට්මෑන් කියන්නේ කවුද කියන එක අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නෑ. අතිශය කුඩා කාලෙක ඉඳලා ඝාතකයින් පුහුණු කරන පාසලක, ලෝකේ සුපිරිම හිට්මෑන්ලා වෙන්න ඉගෙන ගත්තු, කොණ්ඩේ සම්පූර්ණයෙන්ම බූගාලා, තට්ටේ බාර්කෝඩ් එකක් ටැටූ කරලා තියෙන මේ ඒජන්ට් 47 අනික් කුලී ඝාතකයින්ගෙන් වෙනස් වෙන්නේ, එයා නිකම්ම ලැබෙන උපදෙස් පිළිපදිමින් මිනී මරමින් යන්න අකමැති වෙන නිසා තමයි. එයා දේවල් ප්‍රශ්න කරනවා. හැබැයි ඒකම එයාට නරකටත් හිටිනවා. කොහොම හරි මේ නවතම Hitman 3 ගේම් එකේදී අපිට මින් පෙර හිට්මෑන් ගේම් වල දකින්න නොලැබුණු විදියේ අතිශයින්ම දැවැන්ත සෑන්ඩ්බොක්ස් තුළ නිර්මාණය වෙන ගේම් එකක් දැකගන්න පුළුවන්. ඒ කියන්නේ, ක්‍රීඩකයෙක්ට තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පාරවල් දෙකක් හෝ තුනක් නෙවෙයි, අසීමිත ප්‍රමාණයක් මේ ගේම් එකේදී විවෘත වෙනවා. ඒ කියන්නේ ඇත්ත ලෝකෙක ජීවත් වෙනවාට සමාන අත්දැකීමක් ලබාගන්න ක්‍රීඩකයාට ඉඩ ලැබෙනවා.
3. Far Cry 6
ෆාර් ක්‍රයි කියන්නෙත් වීඩියෝ ගේම් ලෝලීන්ට අමුතු අත්දැකීමක් නොවුණු ගේම් සීරීස් එකක්. හැබැයි ෆා ක්‍රයි එක් එක් ක්‍රීඩාව මිකැනික්ස් වලින් සමාන වුණත්, ඇත්තටම සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පසුතලයන් සහ කථාවන් තුළ තමයි දිගහැරෙන්නේ. කොහොම වුණත් දැනට දකින්න ලැබෙන සංකීර්ණම ආශ්වාදයක් ලබාගන්න පුළුවන් වීඩියෝ ක්‍රීඩාවක් විදියට, අපිට Far Cry 6 එකේදිත් ෆා ක්‍රයි ගේම් සීරීස් එකේ ලබපු වින්දනයම ලබාගන්න පුළුවන් වෙයි. මේ Far Cry 6 ගේම් එකේ කතාව යන්නේ කැරිබියානු දූපත් රාජ්‍යයක ඉන්න ඒකාධිපති නායකයෙක් සහ ඔහුගෙන් නිදහස හොයන විමුක්තිකාමී සටන්කරුවෙක් මැදිකරගෙන. අපිට අනික් ෆාර් ක්‍රයි ගේම් වල වගේම අතිවිශිෂ්ට ග්‍රැෆික් සහිත සම්පූර්ණ විවෘත ලෝකයක් මේකෙදිත් අත්දකින්න පුළුවන් වෙයි කියලා තමයි අහන්න ලැබෙන්නේ!
4. Returnal
Returnal කියන්නේ සයිකොලොජිකල් හොරර් ගණයට අයිති වෙන ෂූටින් වීඩියෝ ගේම් එකක්. හැබැයි එහෙම කිව්වට Returnal එකේ කතාව එහෙම සරලව කියලා ඉවර කරන්න බෑ. මේ වීඩියෝ ගේම් එකේ කතාව යන්නේ සෙලේන් කියන කාන්තාව පිටසක්වළ ලෝකෙකට තමන්ගේ අභ්‍යවකාශ යානාවත් එක්ක කඩාවැටීමත් එක්ක. මේ ඇට්රොපෝස් කියන පිටසක්වළ ලෝකේ ඇත්තටම පුරාතන ශිෂ්ටාචාරයක නිවහන වෙනවා. ඒ වගේම, මේ ලෝකේ නිරන්තරයෙන්ම තමන්ගේ ආකෘතිය වෙනස් කරගන්නවා. දැන් අපිට තියෙන්නේ සෙලේන් විදියට මේ ඇට්රොපෝස් පිටසක්වළ ලෝකේ අපිට මුහුණ දෙන්න වෙන දහසකුත් එකක් අතිබිහිසුණු අභියෝගයන් එක්ක ජීවිතය බේරාගන්න එක. ඒ වගේම සෙලේන් ගේම් එක ඇතුළේ මියයන හැම මොහොතකම එයා ආයෙමත් එනවා. හැබැයි ඒ හැම මොහොතකම මේ ලෝකෙත් තමන්ගේ ආකෘතිය වෙනස් කරගන්නවා! මේ නොනවතින ලූපයෙන් මිදෙන්නේ කොහොමද කියන එකත් අපිට ගේම් එක ඇතුළෙන්ම තමයි හොයාගන්න වෙන්නේ!
5. Outriders
ඉනෝක් කියන්නේ පිටසක්වල ලෝකයක්. එතකොට පෘථිවියෙන් එන මිනිසුන්ගේ වෑයම වෙන්නේ ඉනෝක් ලෝකයේ මිනිස් ජනපද ඇති කරන එක. හැබැයි මේ අරමුණ කුඩුපට්ටම් වෙන්නේ මේකට යන ගවේෂණ කණ්ඩායමට අතිදැවැන්ත ශක්ති කුණාටුවකට අහුවෙන්න සිද්ධ වීමත් එක්ක තමයි. ඒකට අහුවෙනකොට මේ අය අද්භූත සංඥාවක් ආවේ කොහෙන්ද කියන එක තමයි හොයමින් ඉන්නේ. හැබැයි මේ අද්භූත ශක්ති කුණාටුවෙන් තවත් දෙයක් සිද්ධ වෙනවා. ඉනෝක් වල ඉන්න පිටසක්වලයින්ට වගේම ජනපදවාසීන්ටත් ඒකෙන් සුපිරි බලයන් ලැබෙනවා. හැබැයි මේ සුපිරි බලයන් කියන එක හරියට වෛරස් එකක් වගේ මේ අයව ආසාදනය කරන එක තමයි වෙන්නේ. දැන් මේ බලයන් සහ අතිනවීන අවි ආයුධත් එක්ක තමයි වීඩියෝ ගේම් එකේ ඉතුරු ටික දිගහැරෙන්නේ.
6. Resident Evil Village
රෙසිඩන්ට් ඊවිල් කියන්නේ මේ වෙනකොට අපි වීඩියෝ ගේම්ස් වලින් විතරක් නෙවෙයි, චිත්‍රපටි වලින් පවා අත්දැකලා තියෙන බොහොම භයානක අනාගත ලෝකයක්. මේ හැමදෙයක්ම පටන් ගන්නේ ටී-වෛරස් එකෙන්. සරලව ගත්තොත් මේ ටී-වෛරස් එකට පුළුවන් මැරුණු මනුස්සයෙක්ව නැවත පණගන්වලා සොම්බියෙක් කරන්න. එතනින් නතර වෙන්නෙත් නෑ. මේ සොම්බියෝ පවා පරිණාමය වෙනවා, විකෘති වෙමින් නව ආකාරවල සොම්බියෝ නිර්මාණය වෙනවා. මේ අතරට මේ හැමදේකටම වග කියන්න ඕන අම්බ්රෙල්ලා කෝපරේෂන් එකෙන් ටී-වෛරස් එක යොදාගෙන නිර්මාණය කරපු අතිශයින්ම භයානක ජීවී විශේෂයනුත් එකතු වුනාට පස්සේ, රෙසිඩන්ට් ඊවිල් ලෝකය කියන්නේ පණ බේරගන්න නිරන්තරයෙන් සටන් කරන්න ඕන, අතිශයින්ම භයානක අවදානම් පිරුණු තැනක්. ඉතින් අන්න ඒ ලෝකයේ තවත් දිගුවක් තමයි මේ නවතම Resident Evil Village වීඩියෝ ගේම් එකෙන් දකින්න ලැබෙන්නේ. අද කාලේ ග්‍රැෆික් තාක්ෂණයන් එක්ක Resident Evil Village වල අපිට දකින්න ලැබෙන සොම්බීන්ගේ භයානක කම තවත් ඉහළ ගිහින් ඇති කියලා අනුමාන කරන්න පුළුවන්.
7. Gran Turismo 7
ග්‍රෑන්ඩ් ටුරිස්මෝ කියන්නේ වීඩියෝ ගේම් වෙනුවෙන්ම නිර්මාණය වුණු රේසින්ග් චැම්පියන්ෂිප් බ්‍රෑන්ඩ් එකක්. එතකොට Gran Turismo 7 කියන්නේ මේ වීඩියෝ ගේම් සීරීස් එකේ ඉස්සරහට එන්න තියෙන ගේම් එක. ඇත්තටම ප්‍රධාන Gran Turismo සීරීස් එකේ අටවෙනි කොටස තමයි මේ Gran Turismo 7 ගේම් එක. මීට කලින් රේසින් වීඩියෝ ගේම් ලෝලීන් අත්දැකපු Gran Turismo මිකැනික්ස් වලට සමානකම් දක්වන මේ අලුත්ම ගේම් එක ඊටත් වඩා ඉහළින් තියෙන ග්‍රැෆික් දියුණුවක් සහ තොරතුරු පෙන්නයි කියලා තමයි ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම්, අලුත්ම PS5 ගේමින් කොන්සෝල් එකකින් ඇත්ත ලෝකේ වගේම දැනෙන කාර් රේස් එකක ත්‍රිල් එක විඳගන්න තමයි තියෙන්නේ!
8. God of War: Ragnarok
පුරාණ මිත්‍යා විශ්වාසයන්, දේව පුරාණයන් මත පදනම් වුණු God of War වීඩියෝ ගේම් සීරීස් එකත් අපිට දකින්න ලැබුණු හොඳ ප්ලොට් එකක් තියෙන ගේම් එකක් කියන්න පුළුවන්. මේකේ අලුත්ම ගේම් එකකුත් එන්න නියමිතයි. දැනට අපි God of War: Ragnarok කියලා කිව්වත්, මේ ටයිටල් එක වෙනස් වෙන්නත් පුළුවන්ලු. මේකේ කතාවේ විදියට කථා නායකයා වෙන ක්රාටෝස් පොඩ්ඩක් සංහිඳියාවෙන් හිටියත්, ඊළඟට මෙයත් එක්ක ඔට්ටු වෙන්න එන්නේ ග්‍රීක මහ දෙවි සීයුස්. ඊලඟට පාතාල ලෝකයෙන් මිදිලා එන ක්රාටෝස්ගේ ක්‍රෝධ වියරුව යොමු වෙන්නේ සීයුස් වෙතට තමයි.
9. Deathloop
බ්ලැක්රීෆ් කියන්නේ අද්භූත දූපතක්. මේ දූපතේ ඉරණමත්, අනාගතයත් ඇත්තටම තීරණය වෙන්නේ එතෙක් මෙතෙක් දකින්නට ලැබුණු අතිවිශිෂ්ට, රණශූර ඝාතකයන් දෙදෙනෙක් අතරේ දුරාතීතයේ ඉඳන් පැවතගෙන එන අරගලයේ විසඳුමත් එක්ක තමයි. අපිට ලැබෙන චරිතය තමයි කෝල්ට්. එතනදී අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ දූපත හිරවෙලා තියෙන්නේ අනවරත කාල ලූපයක කියලා. ඒ කියන්නේ බාහිර ලෝකයේ විදියට මේ දූපතේ කාලය ගතවෙන්නෙ නෑ. කාලය ලූප් එකක් විදියට නැවත නැවත සිද්ධ වෙන එක තමයි වෙන්නේ. හැබැයි කෝල්ට්ට මේ ටයිම් ලූප් එකෙන් ගැලවෙන්න උත්සාහ කරන අතරේම, තමන්ව මරන්න එන දූපතේ ඉන්න අයගෙන් බේරෙන්නත් වෙනවා. හැබැයි ඒක කරන්න අවශ්‍ය කරන දේවල් කෝල්ට්ට ලැබෙනවා. අතිවිශිෂ්ට සටන් හැකියාවන් සහ විශේෂ හැකියාවන් වගේම ඉහළ මට්ටමේ අවිආයුධ එකතුවකුත් ඒකට ඇතුළත් වෙනවා!
10. Hogwarts Legacy
හැරී පොටර් විශ්වය අපි මුලින්ම අත්දකින්නේ ජේ.කේ.රෝලින්ග්ස්ගේ හැරී පොටර් පොත් සෙට් එකෙන් වුණත්, ඊට පස්සේ හැරී පොටර් චිත්‍රපටි මාලාවත් එනවා. මේ අතරේ හැරී පොටර් විශ්වය සම්බන්ධ විවිධ වීඩියෝ ක්‍රීඩාවන් එහෙමත් ආවට, අර ෆිල්ම් වල තියෙන අත්දැකීමවත් ආසන්නයෙන් හෝ විඳගන්න පුළුවන් වෙන විදියේ ඉහළ ග්‍රැෆික් නිර්මාණයන් සහ කථාවක් තියෙන හැරී පොටර් ගේම් එකක් නම් නැති තරම්. හැබැයි මේ ඉස්සරහට එන්න නියමිත Hogwarts Legacy ඔස්සේ අපිට මේ 1800 ගණන් වල මායාකරුවන්ගේ ලෝකය වඩාත් ඉහළ මට්ටමකින් අත්විඳින්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේකේ හැරී හෝ වෙනත් අපිට හුරුපුරුදු චරිත නම් නෑ. ඒත් Hogwarts වල 1800 ගණන් වල ඉන්න ශිෂ්‍යයෙක් වටා තමයි අපිට මේ කතාව දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි හැරී පොටර් විශ්වයේ අපි දැකපු මායාවන්, ගුප්ත දේවල්, අභියෝගයන්, භයානක දේවල් හැම එකක්ම මේ ගේම් එකෙත් අපිට අත්විඳින්න පුළුවන් වෙයි කියලා තමයි අහන්න ලැබෙන්නේ!
Leave a Reply