ශ්‍රී ලාංකික පිතිකරුවන් ටෙස්ට් තරඟයක ඉනිම දෙකේම ශතක වාර්තා කළ දුර්ලභ අවස්ථා

ටෙස්ට් තරඟයක් කියන්නේ පිතිකරුවෙක්ගේ නියම දක්ෂතාවයන් අපිට දැකගන්න ලැබෙන අවස්ථාවක්. ඉවසීම, කැපවීම, සටන්කාමීත්වය, මනා අවධානය, ධෛර්යය වගේ පිතිකරුවෙක් සතුවිය යුතු සුපිරි ගුණාං​ග අපිට බොහොම පැහැදිළිව දැකගන්න ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දීර්​ඝ ආකෘතියෙන් යුතු තරඟයේදී තමයි. අද අපි කියන්න යන්නේ එකී ටෙස්ට් පිටියේදී විශේෂ දස්කමක් දැක්වූ ශ්‍රී ලාංකික පිතිකරුවන් පිරිසක් පිළිබඳවයි. මොවුන්​ගේ විශේෂත්වය වන්නේ තනි ටෙස්ට් තරඟයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කරන්නට මේ ක්‍රීඩකයින් සමත්වීමයි.

 

1. දුලිප් මෙන්ඩිස් (1982)

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්ෂතාවය මුලින්ම දක්වන්න සමත් වූ පිතිකරුවා තමයි දුලිප් මෙන්ඩිස්. 1982 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව චෙන්නයි හීදී තමයි දුලිප් මේ සුවිශේෂී ඉනිම් දෙක ක්‍රීඩා කරන්නේ. ඔහු පළමු ඉනිම සහ දෙවැනි ඉනිම යන ඉනිම් දෙකේදීම ලකුණු 105ක් බැගින් වාර්තා කරනවා. දුලිප්ගේ මෙම ඉනිම් දෙක සහ දෙවැනි ඉනිමේ රෝයි ඩයස් සහ අනුර රණසිංහ වාර්තා කළ අර්ධ ශතක නිසා ඉන්දියාව පරාජයේ සමීපයටම පැමිණියත්, අවසානයේදී තරඟය ජය පරාජයෙන් තොරව නිමා වෙනවා. තරඟයේ වීරයා වන්නේත් දුලිප් මෙන්ඩිස්.

 

2. අසංක ගුරුසිංහ (1991)

1991 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හීදී පැවති ටෙස්ට් තරඟයේදී අසංක ගුරුසිංහ ටෙස්ට් ශතක දෙකක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙන්නට සමත් වෙනවා. එම තරඟය ශ්‍රී ලාංකික සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියගේ සහ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ මංගල ටෙස්ට් තරඟයද වීම විශේෂයි. මේ තරඟයේ පළමු ඉනිමේ ලකුණු 119ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 102ක් වාර්තා කරන්න අසංක ගුරුසිංහ සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 418ක ඉලක්කයක් ස්ථාවරව හඹා යමින් සිටියත් මේ තරඟය ජය පරාජයෙන් තොරව නිමා වෙනවා.

 

3. අරවින්ද ද සිල්වා (1997)

කොළඹ එස්. එස්. සී පිටියේදී පාකිස්ථානයට එරෙහිවයි මේ සුපිරි දස්කම දක්වන්න අරවින්ද සමත් වෙන්නේ. පළමු ඉනිමේ ලකුණු 138ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 103ක් ලබාගන්න අරවින්ද සමත් වන අතර, මේ කිසිදු ඉනිමක ඔහු දැවී යන්නේ නැහැ. මෙයත් සුවිශේෂී වාර්තාවක්. එයට හේතුව මෙතෙක් ටෙස්ට් තරඟයක ඉනිම දෙකකම ශතක දෙකක් ලබා නොදැවී ක්‍රීඩා කරන්නට සමත් වුණු එකම ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වා පමණක් වීමයි.

 

4. අරවින්ද ද සිල්වා (1997)

එකම වසරක් තුළදී දෙවතාවක්ම එකම තරඟයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කරන්නට අරවින්ද ද සිල්වා සමත් වෙනවා. දෙවැනි වර ඔහු මේ දස්කම දක්වන්නේ ඉන්දියාවට එරෙහි​ව එස්. එස්. සී පිටියේදීයි. මෙහි පළමු ඉනිමේ ලකුණු 146ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 120ක් අරවින්ද ලබා ගන්නවා. සනත් ජයසූරිය අවාසනාවන්ත විදිහට ලකුණු 199 සිටියදී දැවී යන්නේත් මේ තරඟයේදී තමයි.

 

5. ටී. එම්. ඩිල්ෂාන් (2009)

බංග්ලාදේශයට එරෙහි​ව චිතගො​ං ක්‍රීඩාංගනයේදී තමයි ඩිල්ෂාන් මෙම අපූරු ඉනිම් දෙක ක්‍රීඩා කරන්නේ. පළමු ඉනිමේ ලකුණු 162ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 143ක් ඩිල්ෂාන් වාර්තා කරනවා. මේ ඉනිම් දෙකම වේගයෙන් ලකුණු රැස්කළ ඉනිම් දෙකක් වීම විශේෂයි. මේ තරඟය ජයග්‍රහණය කිරීමට දෙවැනි ඉනිම සඳහා ලකුණු 600කට අධික ලකුණු සංඛ්‍යාවක් හඹායෑමේ ඉලක්කයක් බංග්ලාදේශය වෙත යොමුවෙනවා. අවසානයේදී ඔවුන් ලකුණු 465ක දැවැන්ත පරාජයක් ලබනවා. දෙවැනි ඉනිමේ පන්දු යැවීමෙන් ලකුණු 10කට කඩුළු 4ක් දවාගන්නටත් ඩිල්ෂාන් සමත් වෙනවා.

 

6. කුමාර් සංගක්කාර (2013)

2013 බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟයට ගාල්ලේ සූදානම් කර තිබූ ත​ණ තීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙම තරඟයේදී දෙපිළෙන්ම ශතක 8ක් වාර්තා වෙනවා. බංග්ලාදේශයේ මුෂ්ෆික්ර් රහීම් ලකුණු 200කුත්, මොහොමඩ් අෂ්රෆුල් ලකුණු 190කුත් වාර්තා කරනවා. මෙම ත​ණ තීරුවෙන් උපරිම ඵල නෙලාගනිමින් කුමාර් සංගක්කාරත් ඉනිම දෙකේදීම ශතක වාර්තා කරන්නට සමත් වෙනවා. පළමු ඉනිමේ ලකුණු 142ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 105ක් ඔහු ලබාගන්නවා. පිතිකරුවන්ට උචිත තණතීරුවක් නිසාම​දෝ තරඟකාරී බවක් නැතිවම තරඟය ජය පරාජයෙන් තොරව නිමා වෙනවා.

 

7. කුමාර් සංගක්කාර (2014)

2014 දී බංග්ලාදේශයට එරෙහිව චිතගොං හී පැවැත්වූ මේ තරඟය කුමාර් සංගක්කාරගේ ටෙස්ට් දිවියේ අමරණීය සිහිවටනයක්ද වනවා. ඒ සංගා තමන්ගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ඉනිම සටහන් වුණේ මේ තරඟයේ නිසායි. මේ තරඟයේ පළමු ඉනිමේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 319ක් ලබාගන්නට සංගා සමත් වෙනවා. දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 105ක් ලබා ගන්නවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *