ICC Hall of Famer ගෞරවය දිනාගත් ආසියාතික ක්‍රිකට් තරු

අද අපි කතා කරන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දෙයක් ගැන. ඒ තමයි ක්‍රිකට් Hall of Fame ගැන. සාමාන්‍යයෙන් Hall of Fame කියල කියන්නෙ යම් විෂයක අති විශිෂ්ට චරිත වෙනුවෙන් කළගුණ සැලකීමක් විදිහට ඔවුන්ට ගෞරවයක් පුද කිරීම වෙනුවෙන් කරන දෙයක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේත් ලෙජන්ඩ්ස් ලා එහෙම නැත්නම් විශිෂ්ට චරිත වෙනුවෙන් ගෞරව පුද කිරීමක් විදිහට කරන අගය කිරීමක් තමයි මේ. මේ වෙනුවෙන් විවිධ රටවල ක්‍රීඩකයින් මූලික හඳුනාගැනීමක් සිදු කරනවා. පස්සේ ඒ නම් කරපු ක්‍රීඩකයින් අතරින් මේ ගෞරවය ලබා දිය යුතු ක්‍රීඩකයින් නම් කරනවා. ඉතින් මුලින්ම මේ ක්‍රමය හඳුන්වාදුන්නේ 2009 ජනවාරි මාසේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන්. කොහොම වුණත් දකුණු ආසියාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමයි දැනට මේ ලැයිස්තුවට දකුණු ආසියාතික ක්‍රිකට් ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වෙලා ඉන්න එක. ඉතින් අපි අද බලමු කවුද මේ ආසියාතික ක්‍රිකට් තරු කියල. 

 

 

1. ඉම්රාන් ඛාන්

ඉම්රාන් ඛාන් කියන්නෙ මේ දවස් වල හැමෝම කතා වෙන කෙනෙක්නෙ. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් කියන්නෙ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ගැන විස්තර ටිකක් කිව්වොත්, ඉම්රාන් උපත ලබලා තියෙන්නෙ 1952 ඔක්තෝබර් 5 වෙනිදා, පාකිස්තානයේ ලාහෝර් නගරයේ. ඔහු තමන්ගේ පළවෙනි තරගය ක්‍රීඩා කළේ 1971 දී. ඉම්රාන් ඛාන් කියන්නෙ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඉම්රාන් පන්දු යවන්නෙක් විදිහට ටෙස්ට් කඩුලු 362ක් සහ එක්දින කඩුලු 182ක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඔහු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට 1992 අවුරුද්දේ ලෝක කුසලානය පවා දිනාගන්න හැකියාව ලැබුණා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔහුගෙන් කණ්ඩායමට වෙච්ච සේවය අගයමින් 2009 අවුරුද්දේ Hall of Fame ගෞරවය ඉම්රාන් ඛාන් නමැති ක්‍රීඩකයාට ලබාදෙන්න ICC තීරණය කළා.  

 

 

2. වසීම් අක්‍රම්

වසීම් අක්‍රම් කියන්නෙත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අති දක්ෂ වේග පන්දු යවන්නෙක්. වසීම් අක්‍රම් කියන නම ගොඩක් පිතිකරුවන් බියගන්වන සුළු නමක් විදිහට තමයි ඒ කාලෙ කවුරුත් දැනන් හිටියේ. වසීම් අක්‍රම් ඉපදුනේ 1966 පාකිස්තානයේ ලාහෝර් නගරයේ. දැනට ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට වගේම පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා. ඔහුට විශේෂයෙන් රිවර්ස් ස්වින්ග් රජු විදිහට අන්වර්ථ නමක් පවා පටබැඳිලා තියෙනවා ඒ සඳහා ඔහුගේ තියෙන දක්ෂතාවය නිසා. වසීම් අක්‍රම් ගැන කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් වසර ගණනාවක් පන්දු යැවීමේ  එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථානය දිනාගන්න වසීම් අක්‍රම් සමත් වෙනවා. ඒ වගේම එක්දින කඩුලු 500 සීමාව පසුකළ පළවෙනි ක්‍රීඩකයා විදිහටත් වසීම් නම් කෙරෙනවා. ඉතින් අන්න ඒ කැපී පෙනෙන දක්ෂතා නිසා ඔහුට මේ ගෞරවය හිමි වෙනවා 2009 දී. 

 

 

3. සුනිල් ගවස්කාර්

1949 ජූලි 10 වෙනිදා මුම්බායි නගරයේ උපත ලබපු සුනිල් ගවස්කාර් කියන්නෙ පසුකාලීනව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණු දක්ෂ ක්‍රීඩකයෙක්. වර්තමානයේ ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරනවා. විශේෂයෙන් දකුණත් පිතිකරුවෙක් විදිහට කටයුතු කරපු ගවස්කාර් වඩා දක්ෂතා පෙන්නුවේ ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහට.  ඔහුගේ නම ඉදිරියෙන් ටෙස්ට් ලකුණු 10,122ක් සහ ටෙස්ට් ශතක 34ක් ලියවී තියෙනවා. විශේෂයෙන් ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 51.12ක් විදිහට දැක්වෙනවා. ඒ වගේම එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවන් අතරේ සුනිල් ගවස්කාර්ගේ නමත් ලියවෙනවා. ඉතින් 1971 සිට 1987 වෙනකන් ඔහු විසින් දක්වපු දක්ෂතා වෙනුවෙන් Hall of Fame ලැයිස්තුවට සුනිල් ගවස්කාර්ගේ නමත් එකතු කෙරෙනවා 2009 දී. 

 

 

4. ජාවඩ් මියන්ඩාඩ්

එකල පකිස්තානු කණ්ඩායමේ හිටපු මූලික ලකුණු රැස්කරන්නා විදිහට තමයි ජාවඩ්ව අපි හඳුනන්නේ. ඔහුගේ දායකත්වය පාකිස්තානය වෙනුවෙන් 1975 සිට 1996 දක්වා ලබාදුන්නා. ඒ කාලය තුළ වසර ගණනාවක් එක්දින සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථාන ලබාගන්න ඔහු සමත් වුණා. විශේෂයෙන්, මොහු එක ටෙස්ට් තරගයක නොදැවී ලකුණු 280ක් ලබාගන්න පවා දක්ෂ ක්‍රීඩකයෙක් වුණා. ඒ වගේම ක්‍රිකට් ලෝක කුසලාන හයක ක්‍රීඩා කරන්නටත් ඔහුට හැකියාව ලැබුණා. ජාවඩ් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වපු විශිෂ්ට දක්ෂතාවය නිසා 2009 දී Hall of Fame ගෞරවයට පාත්‍ර වෙන්නට ඔහුට හැකියාව ලැබුණා. 

 

 

5. හනීෆ් මොහමඩ්

හනීෆ් මොහමඩ් කිව්වට ගොඩක් අය මේ පාකිස්ථානු ක්‍රීඩකයාව අඳුනන්නේ නෑ. මොකද හනීෆ් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කළේ 1952 ඉඳලා 1969 වෙනකන්. ඉතින් එච්චර ඈතක ක්‍රිකට් මතකයන් තියෙන අය ඉන්නෙ ගොඩක් කලාතුරකින්. මොහු උපත ලබල තියෙන්නෙ 1934 දෙසැම්බර් 21 වගේ දවසක. හනීෆ් කියන්නෙ දකුණත් පිතිකරුවෙක්. ඉතින් හනීෆ් මේ ලැයිස්තුවේ ඉන්න හේතුවුණ ප්‍රධානම සිදුවීම වෙලා තියෙන්නෙ 1958 දී. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති ටෙස්ට් තරගයක ලකුණු 337ක් වාර්තා කිරීම. නමුත් වැදගත් වෙන්නෙ ඒක නෙමෙයි. ඒ ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමත් එක්ක ඔහු වාර්තාවක් පිහිටවනවා ටෙස්ට් ඉතිහාසයේ දීර්ඝතම ඉනිම විදිහට මිනිත්තු 970ක් කඩුල්ලේ රැඳී සිටිමින්. 

 

 

6. බිෂාන් බේඩි

බිෂාන් බේඩිත් ගොඩක් කාලෙකට කලින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණු ක්‍රීඩකයෙක්. 1946 සැප්තැම්බර් මාසයේ උපත ලබපු බිෂාන්, 1966 ඉඳන් 1979 වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා. ඒ කාලය තුළ ඔහු විසින් ටෙස්ට් තරග 67 කදී කඩුලු 266 ක් ලබාගන්න සමත් වුණා. ඒ කඩුලු පහක් ලබාගත් අවස්ථා 14කුත් එක්කයි. පන්දු යවන්නෙක් විදිහට කටයුතු කළා වගේම ඉන්දියානු කණ්ඩායමේ නායකයා විදිහටත් බිෂාන් බේඩි කටයුතු කළා. ඔහුගේ විශේෂම පන්දුයැවීම විදිහට ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 98කට කඩුලු 7ක් දවාගැනීම නම් කරන්න පුළුවන්. ඔහුගේ දඟ පන්දු යැවීමේ දක්ෂතාවය නිසා Hall of Fame ලැයිස්තුවට 2009 දී බිෂාන් බේඩි කියන නම එකතු වෙනවා. 

 

 

7. කපිල් දේව්

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ශ්‍රේෂ්ඨතම වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට කපිල් දේව් අවිවාදයෙන් නම් කරන්න පුළුවන්.  1983 දී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීම සඳහා මෙහෙයවපු නායකයා තමයි කපිල් දේව්. ඉන්දියාවේ චන්දිගර් නගරයේ උපත ලබපු කපිල් දේව් ක්‍රිකට් වලට අවතීර්ණ වුණාට පස්සේ දීර්ඝ කාලයක් ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි පස්දෙනා අතර රැඳී සිටින්නට තරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණා. ඔහුගේ ඒ විශිෂ්ට දක්ෂතා සහ ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානයක් කරා මෙහෙයවීම වෙනුවෙන් ක්‍රිකට් Hall of Fame ලැයිස්තුවට කපිල් දේව් කියන නම ඇතුළත් වුණා. 

 

ICC Hall of Famer ගෞරවය ලද තවත් ආසියානු ක්‍රීඩකයක් ගැන තොරතුරු අපි ඉදිරි සතියක ඔබ වෙත ගෙන එනවා. එතෙක් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *