ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබ නොදත් අපූරු කාරණා

ලයිෆි හරහා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා මේ වෙද්දි. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා ක්‍රිකට් ගැන කතා කරන්න. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ගැන තවත් දේවල් ටිකක් ඔයාලා එක්ක කතා කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිද්ද වෙලා තියෙන්නෙ එංගලන්තය ආශ්‍රිතව කියලයි සඳහන් වෙන්නේ. ඒ 16වෙනි සියවස වගේ ඈත කාලෙක. එදා ඉඳලා අද වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාව විශාල වෙනස්කම් සහ සංවර්ධනය වීම් රාශියකට ලක් වෙලා තියෙනවා වගේම අද වෙද්දි තාක්ෂණය කියන දේත් ක්‍රීඩාවට විශාල වශයෙන් ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි පිත්තෙන් පන්දුවට පහර එල්ල කිරීම කියන මූලික දේ තවම ක්‍රිකට් වල තියෙනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගොඩක් අය නොදන්නා කාරණා කිහිපයක් ඔයාලා එක්ක බෙදාගන්නයි අපි අද ලෑස්ති වෙන්නෙ. 

 

 

1. දීර්ඝතම ක්‍රිකට් තරඟය

1939 අවුරුද්දේ මාර්තු 3 වෙනිදා ටෙස්ට් තරඟයක් පැවැත්වුණා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර. ඒ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ. මේ තරඟය දින දහයක් තිස්සේ පවත්වලා තියෙනවා. හැබැයි අටවෙනි දවස විතරක් වැස්ස හේතුවෙන් අතහැර දමලා තියෙනවා. ඉතින් පැය විදිහට ගත්තොත් මේ තරඟය පැය  43කුත් විනාඩි 16ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මේ තරඟයේදී කණ්ඩායම් දෙකම (එකතුව) ලකුණු 1981ක් වාර්තා කරලා තියෙනවා. ඒ කාලයේ ටෙස්ට් ක්‍රිකට් වල ස්වභාවය වෙලා තිබුණේ එක් කණ්ඩායමක් ජයග්‍රහණය කරන තුරු ක්‍රීඩා කිරීමයි. ඉතිං තරග ස්වභාවය නිසා සහ මේ තරඟයේ දීර්ඝ බව නිසා මේ තරඟය ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වෙලා තියෙනවා ලෝකයේ දිගම ක්‍රිකට් තරඟය විදිහට. විශේෂයෙන් මේ තරඟයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 42ක් විතරයි අඩු වෙලා තිබුණේ. හැබැයි එංගලන්තය කණ්ඩායමට තමන්ගේ රටට යන්න නැව් පහසුකම් වල තිබුණු අපහසුකම් නිසා තරඟය අතහැරලා දාන්න සිද්ද වෙලා තියෙනවා. 

 

 

2. වැඩිම ටෙස්ට් තරඟ ගණන 

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම ටෙස්ට් තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. මේ වෙද්දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟ 1045ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟ 1000 පසු කරපු එකම සහ පළවෙනි කණ්ඩායම වෙන්නෙත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ 1000 වෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කළේ 2018 අවුරුද්දේ අගෝස්තු පළවෙනිදා. ඔවුන් එම තරඟය ක්‍රීඩා කළේ ජෝ රූට් ගේ නායකත්වය යටතේයි. රූට් ට කලින් ක්‍රීඩකයින් 78 දෙනෙක් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අතරිනුත් ක්‍රීඩකයින් හතර දෙනෙක් ටෙස්ට් තරඟ 50 කට වඩා නායකත්වය ලබාදීලා තියෙනවා. නම් විදිහට කිව්වොත් අලිස්ටෙයාර් කුක් (තරඟ 59), මයික් ඇතර්ටන් (තරඟ 54), මයිකල් වෝගන් (තරඟ 51) සහ ඇන්ඩ්රූ ස්ට්‍රෝස් (තරඟ 50) වශයෙන්. ඉතින් එංගලන්තයට පස්සේ වැඩිම ටෙස්ට් තරඟ ගණනක් ක්‍රීඩා කරලා තියෙන්නේ එංගලන්තය එක්කම පළවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කරපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ තරඟ 812ක්.

 

 

3. පළමු ක්‍රිකට් ලෝක කුසලානය

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය කොයි තරම් අතීතයට පැතිරිලා තිබුණත් ලෝකය පුරා පැතිරුණු ක්‍රීඩාවක් විදිහට ජනප්‍රිය වුණේ 70 දශකයේදී. ඉතින් ලෝකය පුරා රටවල් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වීම වගේම පළවෙනි ලෝක කුසලාන තරඟයත් 70 දශකයේ තමයි පැවැත්වුණේ. හරියටම කිව්වොත් 1975 ජූනි මාසේ. ඉතින් මේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ආරාධිත කණ්ඩායමක් විදිහට එකතු වුණා. මේ තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ එංගලන්තය. හැබැයි ක්‍රිකට් හඳුන්වල දීපු එංගලන්තය පරදවලා බටහිර ඉන්දීය කොදෙව් පිල පළවෙනි ලෝක කුසලානය තමන් සතු කරගන්නට සමත් වුණා. විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තමයි මේ තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෘප් B යටතේ තමයි තරඟ කළේ. හැබැයි සහභාගී වුණු තරඟ තුනෙන් එකක්වත් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ නෑ. 

 

 

4. කඩුල්ලේ ඉනි (Stumps) ගණන

ක්‍රිකට් ආරම්භ වුණු මුල් කාලයේ අද වගේ කඩුල්ල සඳහා ස්ටම්ප් තුනක් භාවිතා වුණේ නෑ. ඒ කාලේ ස්ටම්ප් දෙකක් විතරයි භාවිතා වුණේ සහ ස්ටම්ප් දෙක උඩ බේල් එකක් තිබීම විතරයි සිද්ධ වුණේ. හැබැයි ඒ කාලෙම සිද්ධ වුණු අපූරු සිදුවීමක් නිසා ස්ටම්ප් දෙක තුන බවට පත් කරන්න අදාළ අධිකාරීන්ට සිද්ධ වුණා. ඒ තමයි 1775 දී එංගලන්ත ක්‍රීඩකයෙක් වුණු ලම්පි ස්ටීවන්ස් එක දිගට පන්දු තුනක් යොමු කළා කඩුලු දෙක මැදින් යන්න. ඉතින් නීතිය අනුව අදාළ පිතිකරුවා දැවී යාමක් සිද්ධ වුණේ නෑ. ඒ හේතුවෙන් තමයි කඩුළු දෙක තුනක් වුණේ පන්දුව මැද්දෙන් රිංගා නොයන්න. ස්ටීවන්ස් එදා ඒ පන්දු තුන දැම්මේ නැත්නම් අපි තාම ස්ටම්ප් දෙකක් තියලා ක්‍රිකට් ගහනවා. 

 

 

5. කෙටිම ටෙස්ට් තරඟය

කෙටිම ටෙස්ට් තරඟය කිව්වම ඒක ක්‍රම කිහිපයකට නම් කරන්න පුළුවන්. එකක් තමයි තරඟය පැවැත්වුණු කාලය අනුව. අනික යවපු පන්දු ඕවර ගණන අනුව. ඉතින් ඔය ක්‍රම දෙකටම කෙටිම ටෙස්ට් තරඟය නම් කරන්න පුළුවන්. ඉතින් පැවැත්වුණු කාලය අනුව ගත්තම කෙටිම ටෙස්ට් තරඟය විදිහට වාර්තා වෙන්නේ 1926 ජූනි 12 වෙනිදා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවතුණු ටෙස්ට් තරඟයයි. මේ තරඟය විනාඩි 50 ක කාලයක් විතරයි පැවතිලා තියෙන්නේ සහ ඕවර 17.2 කට සීමාවෙලා තියෙනවා ඒ තරඟය. ඒ වගේම යවපු ඕවර ගණන අනුව කෙටිම තරඟය වාර්තා වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර 1998 ජනවාරි 29 වෙනිදා ජමයිකාවේ සබීනා පාර්ක් හි පැවැත්වුණු තරඟයයි. මේ තරඟයේ යවන්නට හැකිවෙලා තියෙන්නේ පන්දු ඕවර 10.1 සහ විනාඩි 56ක් පමණයි තරඟය පැවතිලා තියෙන්නේ. තරඟය නවත්වන්න හේතුවෙලා තියෙන්නේ තණතිල්ලේ ඉපිලීම නිසා පන්දු යැවීම භයානක වීමයි. 

 

 

6. වෙනස් නොවුණු එකම නීතිය

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා බලපාන නීති රීති පළවෙනි වරට ලිඛිතව වාර්තා කරලා තියෙන්නේ 1774 කියලයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නීති රීති අද වෙද්දී සෑහෙන වෙනස් වෙලා තියෙනවා වගේම අලුතින් නීති එකතු වෙලා තියෙනවා. මුලින් ලියා තියෙන නීති රීති හැම එකක්ම වගේ අද වෙද්දී සංශෝධනය වෙලා තියෙනවා. හැබැයි මුල් ක්‍රිකට් නීති පොතේ සඳහන් වුණු එකම එක නීතියක් තියෙනවා අද වෙනකන් වෙනස් නොවුණු. ඒ තමයි ක්‍රිකට් තණ තීරුවේ දුර. ඒ දුර මුල්ම නීති පොතේ වාර්තා කරලා තිබුණේ යාර 22ක් විදිහට. අදත් ඒ නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. 

 

 

7. ක්‍රිස් ගේල් ගේ වාර්තාව

මේ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාවට අවුරුදු 140 ක් විතර වෙනවා. එදා මෙදා තුර කවදාවත් කිසිම ක්‍රීඩකයෙක් නොකරපු වැඩක් කරලා ක්‍රිස් ගේල් සුවිශේෂී වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. ඒ තමයි ටෙස්ට් තරඟයක පළවෙනි ඕවරයේ පළවෙනි පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමේ වාර්තාව. ගේල් මේ හපන්කම කලේ 2012නොවැම්බර් මාසේ මිර්පුර් හිදී බංගලාදේශයට එරෙහිව පැවතුණු ටෙස්ට් තරඟයේදී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *