මෙගා ටෙලි සහ අපේ දේශපාලන රඟමඩලේ සමානකම්

විජය කුමාරයා, බුදු දහම, ආහාර පාන, සංස්කෘතික අංග, සංගීතය, නැටුම් කලාව වැනි ඉන්දියාවෙන් අපිට දායාද ලැබුන දේ බොහෝය. ඒ අතර මෑතකදි අපේ ටෙලි කලාව වෙනස් කරමින් රූපවාහිනියට ඉන්දියානු මාලා නාටක කලාව කඩා වැදුණි. බජට් එක අඩුවෙන් ගෙවල් ඇතුළේ රූගත කරන මේ ඉන්දියානු මාලා නාටක එකම වට්ටෝරුවක ධනපති පවුල් වල ප්‍රශ්න විකාශය කරන්නේය. හොදිත් සමග රොටියක් කා, තිබෙන කඩමාල්ලක් ලාගෙන, බිම සිටගෙන, දුප්පත් ඉන්දියානු ජනයා ඒ ඉසුරුමත් ඉන්දියානුවන්ගේ පවුල් ප්‍රශ්න මේ මාලානාටක හරහා රස විඳිති. අපේ දේශපාලනයද ඉසුරුමත් පවුල්වලින් අපිට රඟපා පෙන්වන ප්‍රශ්න ගොඩකි. හැමදාම පාර්ලිමේන්තුවේ එකම පිරිසක් සිටී. ඔවුන් අපිට පේන්නට රණ්ඩු දබර කරගෙන, පසුව බෙදා හදාගෙන කා බී සතුටින් සිටිති.

1. සතුරෙකු සිටීම

අපේ සෑම දේශපාලන කඳවුරකටම පාහේ රටට විනකරන සතුරකු සිටී. ඇතැමුන්ට දේශීය සතුරන් සොයා ගන්නට බැරි තැන විදෙස් රටවලට දොස් පවරති. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාර එවැනි රටවල් ඔවුන්ට අනුව අපේ රටට නිරන්තරයෙන් වින කරති. මෙගා ටෙලි වලද එසේය. නරක අය නිතරම හොඳ අයට කෙනෙහිලිකම් කරති, ඔවුන්ට අංචි අදිති, විවිධ අඩන්තේට්ටම් කරති. එහෙත් කෙසේ හෝ හොඳ අය හැමදාම දිනති. දේශපාලන පොරපිටියේද හැමදාම සිටින දේශපාලකයෝ සතුරන් මවාපා හැමදාම බලයේ වැජඹෙති.

2. පැය 24ම ක්ලීන් සූට්

ඉන්දියානු මෙගා නාටක වල කාන්තාව හා පුරුෂයා සයනයේ නිදන්නේද සාරි ඇඳුම් ආයිත්තම් සහ මේකප් පිටිනි. ඔවුන් කතාව පුරාවටම හොඳ කදිම ඇඳුම් වලින් සැරසීගෙන සිටී. අපේ දේශපාලකයෝද එසේමය. දැන් සෝෂල් මීඩියා සහ රූපවාහිනී කැමරා වලට නිතර විවෘත වන හෙයින් පාලිත තෙවරප්පෙරුම වැනි අයෙකු හැරුණු විට බොහෝ දේශපාලකයෝ ක්ලීන් සුට් කාරයෝ වෙති. කාන්තා දේශපාලිකාවෝද පෙනීසිටින සෑම අවස්ථාවකම කදිම මේකප් තට්ටු වලින් සහ ඇඳුමින් සැරසී පෙනී සිටිති. මහජනතාව නියෝජනය කරන අය විදිහට විවිධ තැන්වලට ගියද ඔවුහු ඔවුන්ගේ වටිනා කියන ඇඳුම් ආයිත්තම් සහ මේකප් නම් මිස් කරගන්නේ නැත.

3. පොඩි වැඩක්… ලොකු සද්දයක්

ඩෙගර ටගර ඩෙගර ටගර ටට්ටන

ඩෙගර ටගර ඩෙගර ටගර ටට්ටන

ඩෙගර ටගර ඩෙගර ටගර ටට්ටන

ඉයෝව් ඉයූව්..

 

ආදී නාද සෑම සිදුවීමකටම පෙර මෙගා නාට්ටි වලින් විසික් වේ. රූපවාහිනියේ මෙගා ටෙලියක් සද්දෙන් දාගත් විට වෙනත් රාජකාරියක් නිවෙසේ වෙනත් කෙනෙක්ට කළ නොහැකි තරම් ගෝසාවය. දේශපාලකයෝ ද එසේය. විටෙක ව්‍යවස්ථා වෙනස් කරගැනීම ගැන මහා සද්දයකි, තවත් විටෙක මැතිවරණයක් ගැන සද්දයකි, තවත් විටෙක එක් දේශපාලකයකුගේ හඬපටයක් ලීක් වී සද්දයකි. තවත් තැනක පාස්කු ප්‍රහාරයක් ගැන සද්දයකි. ඒ වැනි සිදුවීම් ගොඩකට ලොකු සද්දයක් දාගෙන සිටින්නට දේශපාලකයෝ සමර්ථයෝය. ගම් නියම්ගම් වලද දේශපාලනය එසේය. අඩි සියයක් පාර කොන්ක්‍රීට් කරන්නේ දේශපාලකතුමා සිය ඥාතියාට, බත් බැලයාට කොන්ත්‍රාත් ලබා දෙමිනි. එහෙත් එය විවෘත කරන්නටද මහා උත්සවයක් තියා, මහා දේශපාලුවා ගෙන්වා පීත්ත පටිය කපා ලොකු සද්දයක් දැමීම නිතැතින්ම සිදු වේ.

4. නොනවතින වැළපීම් 

ඉලොන් මස්ක් රොකට්ටුවක් තනා යවන්නට ගන්නේ අවුරුද්දකටත් අඩු කාලයකි. දියුණු රටක යම් ගිවිසුමක් හෝ දේශපාලන වෙනසක්ද ඒ ආකාරයෙන් ඉතා වේගයෙන් සිදු වේ. අපේ රටේ වැඩ කරනවාට වඩා වැළපීම් වැඩිය. ඉන්දියානු මෙගා වලද කතාව නොබැලුවත් අසා සිටින අයෙක්ට ගෑණු පමණක් නොව මිනිස්සුද විවිධ ආකාරයෙන් වැළපෙනු ඇසේ. අපේ බලයේ සිටින දේශපාලකයෝ කලින් සිටි අය ගැන කතාන්දර කියලා වැළපීමට දක්ෂය. ඔවුන් බලයට ආ තැන සිට වසර දෙක තුනක් පමණක් නොව පාලන කාලයේ සිටින කාලය පුරාවට කරන්නේ වැළපීම්ය. රට සංවර්ධනය වනතෙක් ජනතාව බලා සිටියත් හැමදාම වැළපෙනවා හැර එය කෙරෙන විදිහක් පේන්නට නැත.

5. ප්‍රේක්ෂකයන්ට ආගමක්

රූපවාහිනියේ මෙගා ටෙලි බලන අයට එය නොබලා සිටීමට බැරිය. දිනපතාම එය බැලීම ජීවිතයේ අංගයක් වේ. මාසයක් නොබැලුවත් කතාව එකම තැන කැරකුනද එය බැලිය යුතුය. ‘සිදූ’ කතාවේ කුඩා සාදු දැන් ටිකක් ලොකුය. ඇතැම් විට පංසලේ ලොකු හාමුදුරුවෝ වීම දක්වා මේ නාටකය ඇදී යෑමට ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් නාටක බලන අයට ඒවා අදාළ නැත. දේශපාලන නාටකද එසේය. තරුණ කල දී පෙම්වතුන්ටද එකිනෙකා දෙස බලාසිටින වරුවක් ගෙවෙනවා දැනෙන්නේ නැත. එසේම දේශපාලනයේ ද දෙගොඩහරිජාමයේ රූපවාහිනියේ යන වාද විවාද නරඹන අයට ඒ කාලය ගෙවී යනවා දැනෙන්නේ නැත. ඇතැම් වැඩිහිටියෝ දේශපාලන කටයුතු මිස් වෙලා දෝ හෝයි සිතා චැනල් කිහිපයකම ප්‍රවෘත්ති බලා දේශපාලන රඟමඩල නැවත නැවත බැලීමට කැමති වෙති.

6. අවුරුදු ගාණක් ගියත් එකම තැන

නාගයින් සිටින මාලා නාටකයක් නම් අවුරුද්දකින් දෙකකින් බලන විට අලුතින් නයින් බවට පත් වෙන මිනිසුන් තව කිහිප දෙනෙක් එකතු වේ. කුඩා හාමුදුරුවෝ සිටින නාටකයක නම් වසරකින් දෙකකින් බලන විට තවත් පොඩිනමවල් කිහිපයක් නාටකයට එකතු වී තිබේ. අපේ දේශපාලනයද එසේය. ලෝකය, කාලය වේගෙන් ඉගිලෙද්දී අපේ ගම් නගර එසේමය. චෙන්නයි නුවර අපි වරක් ගොස් ඇවිත් තවත් වසර කිහිපයකින් යන විට එම නගරයට අලුතින් මෙට්‍රො සේවාවක් එකතු වී තිබේ. කලකදී නොදියුණු රටකට උදාහරණ වූ කෙන්යාව, ඉතියෝපියාව දියුණු රටවල්ය. එහෙත් අපේ රටේ කොළඹ සහ අපේ රට ගත් විට අලුතින් වෙනස් වී ඇත්තේ ස්වල්පයකි. අනෙක් රටවල් වේගයෙන් ඉගිලෙන විට අපි තවමත් එකතැනය. අපේ දේශපාලනයද එසේ මාලා නාටකයක් සේ එකතැන පල්වෙමින් තිබේ.

 

7. එදාවේල පිටපත

මෑතකදි කොරෝනා තත්ත්වය නිසා ඇතැම් මාලා නාටක නවත්වන්නට සිදුවිය. මන්ද ඒවායේ රඟපෑම් කටයුතු සිදුකරන්නට කොරෝනා නිසා හැටියක් නැත. ඇතැම් මාලා නාටක වල පිටපත ලියන්නේ ඒ සතියට හෝ මාසයට අනුවය. අපේ රටේ දේශපාලනයත් එසේය. නෙදර්ලන්ත රට මුහුදට පහලින් ඇති රටකි. නෙදර්ලන්ත රට මුහුදු රකුසාගෙන් ගලවාගන්නට සිදුකරන ව්‍යාපෘති වසර 50-60ක් තිස්සේ, ආණ්ඩු ගණනාවක් තිස්සේ වැඩි වෙනසක් නැතුව ඇදී ගියේය. අපේ රටවල එහෙම නැත. නිතර නිතර හැම දේම වෙනස් වේ. දේශපාලකයෝද මාලා නාටක වලින් ආභාෂය ලැබූවා සේ අඩු තරමින් ඔවුන් සිටින අවුරුදු 5කටවත් පිටපතක් සකස් කරන්නේ නැත. එදාවේල ගැටුම් වලට පැලැස්තර අලවමින් ඒවාට සද්දේ දාගෙන සතුටින් සිටිති.

 

මාලා නාටක අවසාන වන්නේ කතාව ප්‍රේක්ෂකයින්ටත්, චැනලයටත්, ඒ නළු නිළියන්ටත්, අධ්‍යක්ෂකවරුන්ටත් හොඳටම ඇතිවූ විටය. නමුත් අපේ දේශපාලනයට නම් එසේ ඇතිවීමක් නැත. අමාරුවෙන්, වාරුවෙන් යන අය පවා රඟපෑමෙන් සමුගැනීමක් නැතිව දේශපාලන රඟමඩලට පණ පොවති. ඉතින් මේ මාලානාටක දේශපාලනය එතැනින් එහාට ගැනීමේ වගකීම් ඇත්තේද අප අතේය. මන්ද ටෙලි පවතින්නේ ප්‍රේක්ෂකයින් නිසා සේම දේශපාලනය පවතින්නේද ඡන්ද දායකයෝ නිසාය.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *