ලංකාවේ ජාතික ක්‍රීඩාවටත් වඩා සෑහෙන ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඉස්සර කාලේ අද වගේ තාක්ෂණය ගොඩක් දියුණු නොවුණත්, බොහෝ දෙනෙක් රේඩියෝ එකෙන්වත් අඩුම ගාණේ ක්‍රිකට් මැච් අහන්න පුරුදු වෙලා හිටිය අතීතයක් තමයි අපිට තියෙන්නේ. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාවට මිනිස්සු වශී වෙලා හිටියා. අද කියලත් ඒකෙ වැඩි වෙනසක් නෑ. හැබැයි ඒ කාලේ නම් මිනිස්සුන්ට වශී වෙන්න ඕන තරම් හේතු තිබුණා. ඒ කාලේ ගහන ගහන මැච් එක දිනුම්. දිනන්නෙත් රෙකෝර්ඩ් තියලා. පැරදුනත් පරදින්නේ හොඳ ගේමක් දීලා. අද වෙද්දී ඒ වගේ නැතත් ක්‍රිකට් ක්‍රීඩාවට මිනිස්සු බොහොමයක් තවමත් ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාව එක්කම අපේ මතකයේ රැඳුණු තව චරිත ගොඩක් තියෙනවා. ඒවායින් විනිසුරු, එහෙමත් නැත්නම් අම්පයර් කියන චරිතය විශේෂයි. සමහර අම්පයර්ස්ලාව අපිට පේන්න බෑ. සමහරුන්ට අපි ගොඩක් කැමතියි. ඉතින් ඒ වගේ අපේ මතකයේ රැඳුණු ක්‍රිකට් අම්පයර්ස්ලා කිහිපදෙනෙක්ව මතක් කරලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ මේ මූණු ඔයාටත් මතකයිද කියලා.
1. බිලී බෝව්ඩන් (Billy Bowden)
මේ මූණ දැකපු නැති ක්‍රිකට් පිස්සෙක් නම් ලංකාවේ ඉන්න විදිහක් නෑ. ඒ තරමට බෝව්ඩන් මහත්තයාගේ මූණ ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ඉතාම හුරු පුරුදුයි. විශේෂයෙන් එයාටම අවේණික වුණු හයේ හතරේ පාරවල් සංඥා කරන විදිහ නිසා කෙනෙක්ට එක පාරක් දැකපු ගමන් කවදාවත් අමතක වෙන්නේ නැති චරිතයක් බවට මෙතුමා පත් වෙනවා. මෙයා ගැන ටිකක් විස්තර කිව්වොත්, බිලී නවසීලන්ත ජාතිකයෙක්. 1963 දී තමයි ඉපදිලා තියෙන්නේ. බිලීගෙ සම්පූර්ණ නම Brent Fraser Bowden. මේ වෙද්දී ටෙස්ට් තරග 104කටත්, එක්දින තරග 259කටත්, T20 තරග 32කටත් ඔහු විනිසුරුවරයෙක් ලෙස සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන් ඔහුගේ මේ අමුතු සංඥා ක්‍රමයට හේතුව වෙලා තියෙන්නෙ Rheumatoid Arthritis කියන රෝගයෙන් ඔහු පිඩා විඳීමයි. ඒ නිසා ඔහුට ඔහුගේ දබර ඇඟිල්ල හිසට උඩින් එසවීමේ අපහසුවක් තියෙනවා.
2. ඩැරිල් හෙයාර් (Daryl Hair)
සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ පොදු සතුරා විදිහට තමයි Daryl Hair නම් කරන්න වෙන්නෙ. ඒකට හේතුව ඉතින් කවුරුත් දන්නවනේ. ඒ තමයි 1995 අවුරුද්දේදී ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු ටෙස්ට් තරගයකදී මේ විනිසුරු විසින් මුත්තයියා මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල කිරීම. ඉතින් පස්සේ මුරලිදරන් ඒ චෝදනාවෙන් නිදහස් වෙනවා. හැබැයි Daryl Hair කියන නම ලංකාවේ පොදු සතුරෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තව සිද්දි ගොඩක් මේ විනිසුරු සම්බන්ධව ඇති වෙලා තියෙනවා. ඒ වගේම මුදල් සොරකමක් සම්බන්ධයෙනුත් මේ විනිසුරුට චෝදනා එල්ල වෙලා ඊට වැරදිකරු වෙලත් තියෙනවා. ඒ හැබැයි විනිසුරු පදවියෙන් සමුගත්තට පස්සේ.
3. අලීම් ඩාර් (Aleem Dar)
අලීම් ඩා කියන්නෙත් අපිට හොඳින් මතක චරිතයක්. ඔහුත් විනිසුරුවරයෙක් වෙන්න කලින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විනිසුරුවරයෙක් විදිහට ඔහුගේ තීරණ පවා ගැටළුකාරී වුණේ නෑ බොහෝදුරට. ඒ වගේම ඔහු ක්‍රීඩකයින් එක්කත් ගැටළු ඇතිකරගත්තේ නෑ. අලීම් ඩා කියන්නෙ පාකිස්ථාන ජාතිකයෙක්. මොහුත් විනිසුරුවරුන්ගේ එලයිට් පැනල් එකේ කටයුතු කරපු විනිසුරුවරයෙක්. දැනට ඔහු ටෙස්ට් තරග 161ක, එක්දින තරග 276ක සහ T20 තරග 63ක විනිසුරු භූමිකාවේ යෙදිලා තියෙනවා. විශේෂයෙන් මේ වෙද්දී Test, ODI සහ T20 කියන අංශ තුනෙන්ම වැඩිම තරග සංඛ්‍යාවක් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරලා තියෙන්නෙ අලීම් ඩා මහත්තයයි.
4. ස්ටීව් බක්නෝර් (Steve Bucknor)
මෙතුමාගේ හිනාව නම් ලාංකික ක්‍රිකට්ලෝලීන්ට අමතක වෙන්න විදිහක් නෑ. ඉතාම ප්‍රියමනාප හිනාවකින් කොයි වෙලෙත් මූණ සරසාගෙන තමයි මෙතුමා ඉන්නෙ මොන අවස්ථාවක උනත්. 1996 ලෝක කුසලාන තරගාවලියේත් මෙතුමා විනිසුරුවරයෙක් විදිහට කටයුතු කළා. ජැමයිකානු ජාතික විනිසුරුවරයෙක් වුණු මෙතුමා මුලින්ම ක්‍රීඩා කරන්නෙ පාපන්දු ක්‍රීඩකයෙක් සහ විනිසුරුවරයෙක් විදිහට. ඉන් පස්සේ තමයි 1989 දී ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන්නේ. ඉන් පස්සේ විනිසුරුවරුන්ගේ එලයිට් පැනල් එකේ ස්ථානයකුත් මෙතුමා විශ්‍රාම යනකන්ම රැකගන්නවා. 2009 දී විශ්‍රාම යන අවස්ථාව වෙද්දී ටෙස්ට් තරග 128ක් සහ එක්දින තරග 181ක් වෙනුවෙන් සහභාගි වෙලා තියෙනවා.
5. සයිමන් ටෝෆල් (Simon Taufel)
මෙතුමාගේ සම්පුර්ණ නම වෙන්නෙ Simon James Arthur Taufel. ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරුවරයෙක් වන මෙතුමා 1999 තමයි විනිසුරුවරයෙක් විදිහට පත්වීම ලබන්නේ. 2012 දී විශ්‍රාම ගනිද්දී ටෙස්ට් තරග 87කට, එක්දින තරග 221කට සහ T20 තරග 42කට තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. හැම අතින්ම වෘත්තීය විනිසුරුවරයෙක් විදිහට හැම වෙලේම කටයුතු කළා කියල බය නැතුව කියන්න පුළුවන් චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙතුමාව.
6. ඩේවිඩ් ෂෙපර්ඩ් (David Shepherd)
මේ මූණත් අපේ මතකයේ හොඳින් රැඳුණු මූණක්. අවාසනාවට ඩේවිඩ් ෂෙපර්ඩ් විනිසුරු තුමා මේ වෙද්දී ජීවතුන් අතර නෑ. 2009 අවුරුද්දේදී මෙතුමා මිය යනවා. ඒ කියන්නෙ පරණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තමයි මෙතුමාව මතක ඇත්තේ. 1996 විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ එක් විනිසුරුවෙක් වන්නේත් මෙතුමායි (අනෙක් විනිසුරුවරයා වෙන්නෙ අපි ඉහතින් සඳහන් කරපු ස්ටීව් බක්නෝර්). ගොඩක් තරබාරු, ගොඩක් වයස පුද්ගලයෙක් විදිහටයි මෙතුමාව අපි දැක්කේ. ඉතින් 2005 අවුරුද්දේ විශ්‍රාම යනකන් ටෙස්ට් තරග 92ක් සහ එක්දින තරග 172ක් සඳහා මෙතුමා විනිසුරු පදවිය හොබවලා තියෙනවා. ඉන් පස්සේ 2009 දී පිළිකා රෝගය නිසා මෙතුමා ජීවිතයෙන් සමුගන්නවා.
7. ඩැරිල් හාපර් (Daryl Harper)
Daryl John Harper කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පස්සේ ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. මේ මූණත් අපේ මතකයේ හොඳින් තියෙන මූණක්. විනිසුරුවරුන්ගේ එලයිට් පැනල් එකේ පවා කාලයක් කටයුතු කරපු හොඳ චරිතයක් තමයි මේ. ටෙස්ට් තරග 104, එක්දින තරග 221ක් වෙනුවෙන් මෙතුමා තම දායකත්වය විනිසුරුවරයෙක් ලෙස ලබා දීලා තියෙනවා.
Leave a Reply