පාපන්දු ලෝකේ අංක එකේ වංචාකාරයා – කාලෝස් කයිසර්

carlos kaizer

පේලේ, මැරඩෝනා, රොනාල්ඩීනෝ, මෙසී, රොනාල්ඩෝ වගේ නම් කියවෙද්දි ඔයාලගෙ හිතට නැගෙන්නෙ මොනවද? පාපන්දු ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච දක්ෂම ක්‍රීඩකයො කියලා වෙන්න ඇති නේද? එතකොට අපි ඔයාලගෙන් ඇහුවොත් ‘කාලෝස් කයිසර්’ ගැන මොකද හිතන්නේ කියලා? ඔයාල හුඟ දෙනෙක් හොල්මන් වෙලා යාවි මේ කවුද බොලේ කියලා. එහෙම නේද?

හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෙක් වන කාලෝස් කයිසර්ව හඳුන්වන්නේ ‘පාපන්දු ඉතිහාසයේ පාපන්දු ක්‍රීඩා නොකරපු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා’ කියලයි.

කොහොමද යකඩෝ එහෙම වෙන්නෙ කියල හිතෙනවනම් පොඩ්ඩක් ඉවසන්න, මේ කියන්න යන්නේ පාපන්දු ලෝකයේ අංක එකේ වංචනිකයා වන කාලෝස් කයිසර් ගේ තොරතුරුයි.

 

1. කයිසර්!

carlos kaizer

Source – youtube.com

1963 දි බ්‍රසීලයේ රියෝ පාර්ඩෝ වල උපත ලබන දරුවෙක්ට දෙමවුපියන් නම තියන්නේ කාලෝස් එන්රිකේ රපෝසෝ කියලයි. එහෙම වුනත් මේ දරුවා කැමති වෙන්නෙ නෑ ඒ නමට. ඔහු තමන්ව හඳුන්වාගන්නේ කයිසර් නමින්. එහෙමත් නැත්නම් කාලෝස් කයිසර් කියලයි. පාපන්දු පාරාදීසයක් වෙච්ච බ්‍රසීලයේ පාපන්දු තරුවක් වෙන්න කුඩා කයිසරුත් හීන දකිනවා. ඔහු බ්‍රසීල සහ මෙක්සිකානු පාපන්දු සමාජ කීපයක කුඩා අවධියේදි පාපන්දු පුහුණුවීම් කළත්, එතරම්ම දක්ෂතාවයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒ වුනත් පාපන්දු තරුවක් වෙන හීනය නම් කයිසර් අත හරින්නේ නැහැ.

ඒ් හීනය හඹාගිහින්, අවසානයේදි ඔහු ඒ හීනය හැබෑ කරගන්නේ අවුරුදු 24ක් දිගු පාපන්දු ක්‍රීඩා දිවියකට උරුමකම් කියලයි.

 

2. අවුරුදු 24යි ගෝල 0යි!

carlos kaizer

Source – faz.net

කාලෝස් කයිසර්ගේ පාපන්දු ක්‍රීඩා ජීවිතය අවුරුදු 24ක් පමණ දිගු කාලයක් පුරාවට පැතිරෙනවා. එකදාස් නවසිය අසූ අනූ ගණන් වලදී ප්‍රහාරක ක්‍රීඩකයෙක් හැටියට බ්‍රසීලියානු, මෙක්සිකානු සහ අමෙරිකානු පාපන්දු ක්‍රීඩා සමාජ රැසකට ක්‍රීඩා කරන්න කයිසර්ට අවස්ථාව ලැබෙනවා. ඒ වකවානුවේ පාපන්දු ලෝකයේ ජනප්‍රිය පාපන්දු තරු වෙච්ච රොමාරියෝ, මැරඩෝනා වගේ ක්‍රීඩකයින්ව කයිසර් ඉතාම ළඟින් ආශ්‍රය කරනවා. ඒ කාලෙ ක්‍රීඩා සමාජ මට්ටමෙන් නම ගිය ප්‍රහාරක ක්‍රීඩකයෙක් වුණ කයිසර් තමන්ගෙ අවුරුදු විසි ගණනක් වන ක්‍රීඩා ජීවිතේදි එකම ගෝලයක්වත් වාර්තා කරන්න සමත් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි. හරියට පාපන්දු තරඟයකටවත් ක්‍රීඩා කරල නැහැ.

මේ විදිහේ අඩු දක්ෂකමක් එක්ක කොහොමද මේ මනුස්සයා අවුරුදු විසි ගණනක් තිස්සේ ක්‍රීඩා සමාජ මට්ටමින් තමන්ගෙ තැන රැකගෙන හිටියේ? ඒ ගැන තමයි ඊළඟට කියන්නේ.

 

3. කයිසර්ගේ දහංගැට

carlos kaizer

Source – watson.ch

කාලෝස් කයිසර් කියන්නේ කතාවෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්න පුළුවන්, ඒ වගේම ඕනෑම කෙනෙක්ගෙ කණින් රිංගන්න පුළුවන් පුද්ගලයෙක් කියලයි ඔහුව ආශ්‍රය කරපු අය කියන්නේ. සැහැල්ලු, විනෝදයට බර, ප්‍රසන්න චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙක් වෙච්ච කයිසර් තමන්ගෙ පාපන්දු දක්ෂතා ගැන, තමන් ක්‍රීඩා කරපු තරඟ ගැන බොරු ගොතා කියමින් ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ව රවට්ටන්නත්, ඔවුන් හා සමීප වෙන්නත් කටයුතු කරල තියෙනවා. දැන් කාලෙ වගේ අන්තර්ජාලයත් නැති, සජීවීව තරඟ පෙන්නන්නෙත් නැති ඒ කාලෙ මේ කතා වල සත්‍ය අසත්‍යතාවය හොයන්නත් අමාරු නිසා, කයිසර්ට පුළුවන්කම ලැබිල තියනවා තමන්ගෙ දක්ෂතාවයන් ගැන බොරු කතන්දර පතුරවලා තමන් ගැන බොරු ප්‍රතිරූපයක් මවාපාන්න. ඒ විදිහට නොයෙකුත් පුවත්පත් වල පවා තමන් ගැන බොරු ප්‍රවෘත්ති පළ කරවගන්න කයිසර් සමත්වෙලා තියනවා. ජනප්‍රිය පාපන්දු තරු එක්ක එකට කන බොන, පුවත්පත් වලින් දකින සහ නිතර තොරතුරු අහන්න ලැබෙන දක්ෂ යැයි පෙනෙන ක්‍රීඩකයෙක් නිසා සමහර ක්‍රීඩා සමාජ මේ බොරුවට රැවටිලා කයිසර්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙන්න පෙළඹිලා තියනවා.

 

4. ක්‍රීඩා සමාජෙන් සමාජෙට කයිසර්ගේ ගමන

carlos kaizer

Source – fourfourtwo.com

දශක දෙකකටත් වඩා කාලයක් ක්‍රීඩා සමාජ රැසක ක්‍රීඩා කරමින්, එකදු ගෝලයක්වත් වාර්තා නොකර රැඳී ඉන්නට කයිසර් සමත්වීමේ රහස මේ විදිහයි. අපි කලින් කියපු විදිහට බොරු ප්‍රචාර මගින් කණ්ඩායමකට ඇතුළත් වෙන්න සමත් වුණාට පස්සේ කයිසර් කරන්නේ පුහුණු සැසි වලදී බොරු ආබාධයකට ලක්වෙන එකයි. දැන් වගේ වෛද්‍ය විද්‍යා පරීක්ෂණ ඒතරම් දියුණු නැති ඒ කාලෙදී කිසිම ප්‍රශ්නයක් නැතිව මාස ගණන් ආබාධිත තත්ත්වයේ ඉඳිමින්, නිකන් ඉන්න මුදල් ලබාගනිමින් කයිසර් සැපවත් ජීවිතයක් ගත කරල තියනවා. මේ විදිහට කරන තමන්ගේ බොරු ආබාධ නාටකය හෙළි වෙන්න ළඟයි කියල හිතුණ ගමන් කයිසර් කරන්නේ ඉක්මනටම වෙනත් කණ්ඩායමකට මාරු වෙන එකලු.

 

5. ක්‍රීඩා කරන්න ඔන්න මෙන්න තිබිලා ගැලවුණු හැටි

carlos kaizer

Source – blog.playo.co

තමන්ගෙ උප්පරවැට්ටි හරහා කයිසර් ඇතුළුවුණ එක පාපන්දු කණ්ඩායමක් තමයි බන්ගු කියන බ්‍රසීල පාපන්දු සමාජය. මේ පාපන්දු සමාජයේ ඉහළම ලොක්කෙක් තමයි කැස්ටර් ඩි අන්ඩ්‍රාජ් කියන්නේ. කැස්ටර් ඇවිල්ලා නීතිවිරෝධී සූදු ක්‍රීඩා පවත්වන්නෙක් හැටියට ප්‍රසිද්ධ, නාහෙට අහන්නෙ නැති පුද්ගලයෙක්. පාපන්දු තරඟ අතරතුර තමන්ගේ කණ්ඩායමට අවාසි තීරණයක් දුන්නොත් පිස්තෝල පෙන්නලා තරඟ විනිසුරුව බය කරන්න වුනත් පසුබට නොවන පුද්ගලයෙක් තමයි කැස්ටර්. කොහොමින් හරි කයිසර් තමන්ගේ බොරු ප්‍රචාරයන් හරහා කැස්ටර්ගෙ බංගු කණ්ඩායමට ඇතුළත් වෙලා, තමන්ගේ සුපුරුදු අබාධ නාටකය රඟ දක්වමින් ඉන්නවා. මේ අතරේ දවසක කයිසර්ට පණිවිඩයක් ලැබෙනවා බන්ගු කණ්ඩායම ක්‍රීඩා කරන ඊළඟ තරඟයට ඔහුට ආබාධය යටතේ හෝ ක්‍රීඩා කරන්න වෙනවා කියලා. කොහොමින් හරි බංකුවේ (බෙන්ච්) ඉඳල තරඟය ආරම්භ කරන කයිසර් බයෙන් වෙවුල වෙවුල තමයි ඉන්නේ කොයි වෙලාවෙ හරි තමන්ට පිටියට බහින්න සිද්ධ වෙයි කියලා. කොහොමින් හරි වැඩි වෙලාවක් යන්න මත්තෙන් ඒ අවස්ථාව කයිසර්ට උදා වෙනවා. ඉතින් බන්ගු කණ්ඩායමේ ලොක්කා වෙන කැස්ටරුත්, බන්ගු හිතවාදී ප්‍රේක්ෂකයොත් දෑස් දල්වාගෙන ඉන්නෙ තමන්ගෙ අලුත්ම ක්‍රීඩකයා පිටියට බැහැල වැඩ පෙන්නාවි කියලා. ඒත් කයිසර් පිටියට බැස්සද මිත්‍රවරුණි? කිසිසේත්ම නැහැ. කයිසර් කරන්නේ පිටියට බහින්න කලින් අවට හිටපු ප්‍රේක්ෂකයෙක් එක්ක රණ්ඩුවක් අරඹන එකයි. ඒ හරහා රතු කාඩ්පතක් හිමිකරගෙන පිටියට බහින එකෙන් වැළකෙන්න කයිසර් සමත් වෙනවා.

කයිසර් කරපු දේ ගැන විමසන්න පහුවදාක කැස්ටර් ලොක්කා ඔහුව කැඳවනවා. කයිසර් මොකක්ද දන්නවද කියන්නෙ? ‘මගේ තාත්ත වගේ ඉන්න ඔබ තුමාට ප්‍රේක්ෂකයො දොස් කියනව මට අහන් ඉන්න බැරි උණා. ඒ නිසා මට කේන්ති ගිහිල්ලයි වලියට ගියේ’ කියලයි. මේ බොරුවට කැස්ටර් උන්නැහේ කොච්චර ඇන්දුනාද කියනවනම් කයිසර්ට තවත් මාස ගාණක කොන්ත්‍රාත්තු දිගුවක් ලබාදෙන්නත් එතුමා තීරණය කරලා තියනවා ඒ පාර.

 

6. නිමක් නැති සෝබන සහ ආතල් ජීවිතය

carlos kaizer

Source – theguardian.com

අතේ සතේ තිබුණත් නැතත්, ගන්න විනෝදය උපරිමයෙන් ගන්න පුද්ගලයෙක් හැටියට කයිසර් ප්‍රසිද්ධයි. කයිසර් මේ හැම විනෝදයක්ම උදාකරගන්න සමත් වෙන්නෙ තමන්ගේ කතා කිරීමේ හැකියාවෙන් සහ සිත්ගන්නාසුළු හැසිරීමෙන් තමයි. තමන් ක්‍රීඩා කරන කණ්ඩායමේ ලොක්කා මැච් බලන්න එන සමහර දවස්වලට කයිසර් මුදල් ගෙවල ප්‍රේක්ෂකයො දානවලු තමන්ගෙ නම කියල චියර් කරන්නය කියලා. ඒ මදිවට ජංගම දුරකථනයක් (මේකත් සෙල්ලම් දුරකථනයක්) කොයි වෙලාවෙත් ළඟ තියාගෙන (බොරු) ඉංග්‍රීසියෙන් කතා කරමින් ඉන්න කයිසර්ගේ දසුන ඒ කාලෙ ඔහු ක්‍රීඩා කරපු ගොඩක් ක්‍රීඩා සමාජ වල සුලබ දසුනක්ලු. එංගලන්තයේ ලොකු ලොකු ක්‍රීඩා සමාජ වලින් පවා තමන්ට අැරයුම් ලැබෙන බව පෙන්නන්න බොරු දුරකථන ඇමතුම් ගනිමින් කයිසර් අනිත් අය අතරේ තමන්ගේ වටිනාකම වැඩි කරගන්න කටයුතු කරනවලු.

සුරූපී කාන්තාවන් ඇසුරු කරමින්, මිලාධික හෝටල් වල සුකුමාර ජීවිතයක් ගෙවන්න කයිසර්ට අවශ්‍ය වෙන්නේ මුදල් නෙමෙයි. තමන්ගේ ප්‍රයෝගකාරී චරිත ලක්ෂණ වලින් කිහිපයක් පමණයි.

 

7. ඇයි කයිසර් වංචාකාරී ක්‍රීඩකයෙක් වුණේ?

carlos kaizer

Source – faz.net

අපි හැමෝටම එක එක ආසාවල් තියනවා. සමහරු ආසයි ජනප්‍රිය සංගීතඥයො වෙන්න, නළු නිළියො වෙන්න. කයිසර්ටත් තිබුණ ලොකුම ආශාව තමයි ජනප්‍රිය පාපන්දු තරුවක් වෙන එක. ඒකට තිබ්බ ලොකුම පරහ තමයි ඔහු සතුව තිබුණ අඩු දක්ෂකම. ඒ වුණත් කයිසර් තමන්ගෙ නොහැකියාවට තමන්ගෙ හීන යටකරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට වංචාවෙන්, ප්‍රයෝගයෙන් හරි තමන්ට අවශ්‍ය තැනට යන්න කයිසර් කටයුතු කරනවා. ඔහුට ඕනෙ වෙන්නෙ පාපන්දු තරුවක් වෙන්න. හැබැයි ඔහු අකමැතිම දේ තමයි පාපන්දු ක්‍රීඩා කරන එක. පිටිය මැද වෙහෙස වී ක්‍රීඩා කරල ජයඝෝෂා ලබන තරුව වෙන්න නෙමෙයි ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ. ඔහුට ඕනෑ වුණේ පිටියෙන් පිටත සමාජයේදී, ජනප්‍රිය පුද්ගලයො ඇසුරු කරමින්, ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, සුරූපී තරුණියන්ව වශී කරගනිමින් සුපිරි පාපන්දු තරුවක් විදිහට වැජඹෙන්න විතරයි. ඔහු ඒ අරමුණ අවසානයේදී හිතනවාටත් වඩා සාර්ථක කරගන්නවා.

කාලෝස් කයිසර් ගැන හැදිලා තියන සුප්‍රකට සහ අප්‍රකට කතා අතරින් කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් තොරතුරු ගෙන ආවේ. කයිසර් කරපු සමහර වික්‍රමයන් ඔහු විසින් ගොතන ලද ඒවා කියලත් සමහරු විශ්වාස කරනවා. ඒ වගේම ඔහු මේ ප්‍රයෝගයන්, වංචාවන් දානව දෑසින් දුටු තවත් ප්‍රසිද්ධ පිරිසුත් ඉන්නවා. කාලෝස් කයිසර් මේ වන විට කාන්තා කාය වර්ධන පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරමිනුයි ඉන්නේ. ඔහුගේ අමුතුම ජීවිත කතාව රැගත් වාර්තාමය චිත්‍රපටයකුත් පසුගිය අප්‍රේල් මාසෙදි එළිදැක්වුණා. ඒකෙ නම තමයි

Kaiser: The Greatest Footballer Never to Play Football.

Cover Image Source – oglobo.globo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *