ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමරු අත්සන් වගේ සිහිවටන ලබාගන්න එදත් අදත් ක්‍රීඩා ලෝලීන් ඉතාම කැමතියි. තවත් සමහර ක්‍රිකට් සමරු සිහිවටන තියනවා ඒවා ක්‍රීඩකයෙක්ගෙ අත්සනක් තරම් පහසුවකින් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ක්‍රීඩාවට ඓතිහාසික වටිනාකමකුත් සමහරවිට ගෑවිලා තියන මේ සමරු සිහිවටන ඩොලර් ලක්ෂ ගණන්වලට අලෙවි වෙනවා, වෙන්දේසි වෙනවා. අපි අද අපේ ලිපියට තෝරගත්තේ ඒ විදිහට ඉහළම මිලකට අලෙවි වුණු ක්‍රිකට් සිහිවටන කිහිපයක් ගැන තොරතුරුයි.
1. සචින් ටෙන්ඩුල්කාර්ගේ පිත්ත
ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් විසින් දේවත්වයෙන් සළකන චරිතයක් තමයි සචින් කියන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා, එක්දින ලකුණු ලාභියා, ටෙස්ට් සහ එක්දින වැඩිම ශතක ලාභියා ඇතුළු වාර්තා රැසක් සචින්ගේ පිත්තෙන් බිහිවෙලා තියනවා. 2009 වසරේදී සචින් නවසීලන්තයට එරෙහිව එක්දින තරගයකදී නොදැවී ලකුණු 163ක් ලබා ගන්නවා. ඒක සචින්ගේ එක්දින දිවියේ සිවුවැනියට ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වෙනවා. මේ පිත්ත 2010 අවුරුද්දේ දී බ්‍රිතාන්‍ය පවුම් 58,000ක මුදලකට (ඉන්දීය රුපියල් ලක්ෂ 42කට) වෙන්දේසි වෙනවා. ඉන්දියාවේ අනාථ දරුවන් සඳහා වන අරමුදලකට තමයි ඒ මුදල බැර වෙන්නේ.
2. විස්ඩන් සඟරා එකතුව
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය හැටියට තමයි විස්ඩන් සඟරාව හඳුන්වනු ලබන්නේ. ඒ විතරක් නෙමෙයි, ලෝක ඉතිහාසයේ ක්‍රීඩා සඟරා අතරිනුත් විස්ඩන් සඟරාවට හිමි වෙන්නේ ඉහළම තැනක්. 1864 අවුරුද්දේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජෝන් විස්ඩන් විසින් ඇරඹූ මේ සඟරාවේ 1864 සිට 2007 වසර දක්වා වූ සඟරා 144ක එකතුවක් 2008 වසරේදී වෙන්දේසි කරනු ලබනවා. එය බ්‍රිතාන්‍ය පවුම් 84,000ක මුදලකට තමයි අලෙවි වෙන්නේ.
3. මහේන්ද්‍ර සිං ධෝනිගේ පිත්ත
ලංකාවේ අපිව රිදවපු පිත්තක් ගැනයි මේ කියන්නේ. ඒ තමයි 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ජයග්‍රහණය අපෙන් ඈත් කරමින් මහේන්ද්‍ර සිං ධෝනි නොදැවී ලකුණු 91ක් රැස් කරපු පිත්ත. මේ පිත්ත 2011 වසරේදීම බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක ඉහළ මුදලකට ලන්ඩනයේදී වෙන්දේසි වෙනවා. දිළිඳු දරුවන්ට පිහිටවීම ඇතුළු සමාජ සේවා සද්කාර්යයන් සඳහා මහේන්ද්‍ර සිං ධෝනිගේ බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන “සාක්ෂි” නම් අරමුදලට තමයි ඒ මුදල් බැර වෙන්නේ. RK Global Shares & Securities නම් ඉන්දියානු සමාගමක් තමයි ධෝනිගේ පිත්ත තමන් සතු කරගන්නේ.
4. ගාෆීල්ඩ් සෝබර්ස්ගේ පිති
ගාර්ෆීල්ඩ් සෝබර්ස් කියන්නේ විවියන් රිචර්ඩ්ස්ට, බ්‍රයන් ලාරාට කලින් ලෝක ක්‍රිකට් පිටිය දෙවනත් කරපු, 60/70 දශකවල ක්‍රීඩා කරපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. බ්‍රයන් ලාරා ලෝකයේ ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලාභියා වෙන්න කලින් ඒ වාර්තාවට කාලයක් තිස්සේ හිමිකම් කිවුවෙත් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් තමයි.
2000 වසරේදී පවත්වපු වෙන්දේසියකදී ගාෆීල්ඩ් සෝබර්ස්ගේ පිති දෙකක්ම ඉහළ මිලකට වෙන්දේසි වෙනවා. මේ පිති දෙකම සෝබර්ස්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී දක්ෂකම් දෙකකට උපකාරී වුණු පිති දෙකක්. ඉන් එකක් 1968 වර්ෂයේදී එංගලන්ත ප්‍රාන්ත තරඟයකදී පිට පිට හයේ පහර හයක් ගහන්න සෝබර්ස්ට උදවු වෙනවා. ඒ පිත්ත බ්‍රිතාන්‍ය පවුම් 54,000කට අධික මුදලකට වෙන්දේසි වෙනවා. අනිත් පිත්ත වුණේ 1958දී එවකට ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය වුණු ලකුණු 365 ගහන්න සෝබර්ස් භාවිතා කරපු පිත්තයි. ඒ පිත්ත වෙන්දේසි වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 47,000කට.
5. ඩොන් බ්‍රැඩ්මන්ගේ තොප්පිය
ක්‍රිකට් වංශකතාවේ කියවෙන ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක් වන ඩොන් බ්‍රැඩ්මන් කියන්නේ අසාමාන්‍ය පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත්ත ක්‍රීඩකයෙක්. 1948 දී තමන්ගේ අවසාන ටෙස්ට් තරඟයේ අවසාන ඉනිමේදී ලකුණු 4ක් රැස් කරගත්තානම් බ්‍රැඩ්මන්ගේ ලකුණු සාමාන්‍යය 100ක් හැටියට සටහන් වෙන්න තිබ්බා. නමුත් අවාසනාවකට ඔහු ඒ ඉනිමේදී ලකුණු නොලබා දැවී යනවා. කොහොම නමුත් ඒ තරඟයේ පළමු ඉනිමේ ඔහු විශිෂ්ට ලකුණු 173ක් නොදැවී ලබාගන්නවා. බ්‍රැඩ්මන් තමන්ගේ ඒ අවසන් ටෙස්ට් තරඟයට පැළඳි හිස් වැසුම 2008 වසරේදී බ්‍රිතාන්‍ය පවුම් 294,000කට වෙන්දේසි වෙනවා. ඕස්ට්‍රේලියාවේ Who wants to be a Millionaire තරඟය ජයග්‍රහණය කළ ටිම් සෙරිසියර් විසිනුයි ඒ කැප් එක මිලදී ගන්නේ.
6. සැමුවෙල් බ්‍රිචර්ගේ ලකුණු සටහන් පොත්
ක්‍රිකට් ලෝකයේ කොයිතරම් ක්‍රීඩා සමාජ බිහිවුණත්, ඒවා අතරිනුත් ඉහළින්ම වැජඹෙන කීර්තිමත්ම ක්‍රීඩා සමාජය තමයි එංගලන්තයේ මැර්ලිබෝන් ක්‍රිකට් සමාජය. MCC කියන නමින් තමයි මේක වැඩිදෙනෙක් අතර ප්‍රචලිත. මේ ක්‍රිකට් සමාජයේ ආරම්භය 1787 තරම් ඈත අතීතයකට විහිදෙනවා. සැමුවෙල් බ්‍රිචර් කියන්නේ මේ ක්‍රිකට් සමාජයේ ආරම්භක සමයේ සිටි ලකුණු සටහන් පොත් තබන්නෙක්. 1790 ගණන්වල සිට 1805 දක්වා පවත්වපු සෑම ප්‍රධාන ක්‍රිකට් තරඟයකම ලකුණු සටහන් එකතුවක් සැමුවෙල් බ්‍රිචර් විසින් පවත්වාගෙන ගිහින් තියනවා. 2005 වසරේදී මේ ලකුණු සටහන් පොත් එකතුව බ්‍රිතාන්‍ය පවුම් 324,000ක මුදලකට අලෙවි වෙලා තියනවා.
7. ෂේන් වෝර්න්ගේ තොප්පිය
2020 අවුරුද්ද ලෝකයටම අශුභදායී අවුරුද්දක් වුණා. ඕස්ට්‍රේලියාවට අවුරුද්ද ඇරඹුනේම ස්වභාවික ව්‍යවසනයක් වුණු ලැවු ගිණිත් එක්ක. මේ මගින් විපතට පත්වූවන් සඳහා අරමුදල් එක්රැස් කරන්න උදවුවක් හැටියට ශේන් වෝන්ගේ බැගී ග්‍රීන් ටෙස්ට් කැප් එක වෙන්දේසි කරන්න ඉදිරිපත් වුණා. එහිදී ඩොන් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් තොප්පිය කලකට කලින් වෙන්දේසි වුණු මුදල වගේ දෙගුණයකටත් වඩා වටිනාකමකින් වෝර්න්ගේ තොප්පියට ඉල්ලුමක් හිමි වුණා. ඒ බ්‍රිතාන්‍ය පවුම් 691,000ක විතර මුදලක්. මේක ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක පමණ වටිනාකමක්. ෂේන් වෝර්න් ටෙස්ට් ක්‍රීඩා කරද්දී මේ සාම්ප්‍රදායික බැගී ග්‍රීන් කැප් එක පළඳින්න එච්චර කැමැත්තක් දක්වලා නැහැ. ඔහු ඒ වෙනුවට රවුම් තොප්පියක් තමයි පැළඳුවේ. කොහොම නමුත් මේ තොප්පියට ලැබුණු නොමසුරු වටිනාකම වෝර්න්ව පුදුමයටත්, සතුටටත් පත් කරන්න සමත් වෙලා තියනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රකට බැංකුවක් වන කොම්බෑන්ක් විසින් තමයි වෝන්ගේ හිස් වැසුමට මේ අතිවිශාල මුදල ලබා දෙන්නේ.
Leave a Reply