ක්‍රිකට් ලෝකය හොල්ලන පන්දු 7ක් ගැන කතාවක්

පන්දු යවන්නා පන්දුව එවලා පිතිකරුවා ඒකට පිත්තෙන් ගහනවට වඩා වැඩි දෙයක් ක්‍රිකට් තරඟයකදී පන්දු යවන්නාත් පිතිකරුවාත් අතර සිද්ධ වෙනවා. මේක එක්තරා ආකාරයක මානසික සටනක්, ඒ වගේම ප්‍රයෝගයන් අතර හැප්පීමක්. ඉතින් දවසින් දවස ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි ජනප්‍රියතාවය හිමිකරගන්න පිතිකරුවන්ට එරෙහිව ඉතාම භයානක අවි නිපදවන්න පන්දු යවන්නනුත් පෙළඹෙනවා. ඒ සමහරක් පන්දු යැවීමට හුරුවීමම ඉතාම අසීරුයි.

අපි මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකය හොල්ලපු සහ අදටත් හොල්ලන භයානකම පන්දු 7ක් ගැන තොරතුරුයි.

 

1. දූස්රා

Image Source – wikihow.org

දූස්රා පන්දුව කියන්නේ සාමාන්‍ය පිට දඟ පන්දුව වගේ පෙනෙන, ඒත් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට දඟ කැවෙන පන්දුවක්. පිට දඟ පන්දුවේ විදිහටම ඇඟිලි කරකවලා එවන ගමන් කරන පොඩි වෙනස්කමක් නිසා තමයි දූස්රාව අනිත් පැත්තට කැපෙන්නෙ. මේ පන්දුව මුලින්ම ලෝකෙට හඳුන්වා දෙන්නේ හිටපු පකිස්ථානු දඟපන්දු යවන්නෙක් වුණු සක්ලේන් මුෂ්ටාක් විසිනුයි. ඕස්ට්‍රේලියාවත් එක්ක ක්‍රීඩා කරපු තරඟයකදි සක්ලේන් මේ පන්දුව දාල කැන්ගරුවන්ව කොර කරලා තියනව. ඒ නිසා කඩුළු රැකපු මොයින් ඛාන් දූස්රා එක දාන්න කිය කිය සක්ලේන්ට නිතර කියලා තියනවා. පස්සේ මේක ස්ටම්ප් මයික් එක හරහා අහගෙන හිටපු විස්තර විචාරක ටෝනි ග්‍රේග් තමයි මේ පන්දුව දූස්රා නමින් ජනප්‍රිය කරන්නෙ. දූස්රා කියන වචනයේ තේරුම තමයි අනිත් එක/දෙවැනි එක කියන එක.

 

2. ගූග්ලි

Image Source – youtube.com

පා දඟ පන්දු යවන්නෙක් සතු භයානකම අවියක් තමයි ගූග්ලි පන්දුව. මේකත් එක්තරා විදිහකට පිට දඟ පන්දු යවන්නෙක්ගේ දූස්රාවට සමානයි. සාමාන්‍ය පා දඟ පන්දුව යවන විදිහටම සුළු වෙනස්කමක් ඇතුව දාන මේ පන්දුව දඟ කැවෙන්නේ අනිත් පැත්තටයි. බොහෝ විට පන්දුව එළියට කැපෙයි කියලා පිතිකරුවා රැවටිලා කඩුල්ල මුවා කළ වරදට හසුකරවන්න සමත් වෙන පන්දුවක් මේක. මේ පන්දුව හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්. ඔහු නමින් බර්නාඩ් බොසන්කෙට්. 1900 දි විතර තමයි ඔහු විසින් මේ පන්දුව සොයාගෙන තියෙන්නෙ.

 

3. ෆ්ලිපර්

Image Source – cricket.rushisbiz.com

පා දඟ පන්දු යවන්නෙක් සතු තවත් භයානක අවියක් වන ෆ්ලිපර් පන්දුව ගැනයි මේ කියන්නෙ. ප්‍රගුණ කරන්න තරමක් අපහසු පන්දුවක් වන මේ පන්දුවේදී පන්දු යවන්නා විසින් පන්දුවට බැක් ස්පින් එකක් යොදවනවා. ඒ හින්දා මේ පන්දුව තණතිල්ලේ පතිත වුණාට පස්සේ වැඩි වේගයකින් ඉතාම පහළින් තමයි ගමන් කරන්නේ. ඒ නිසාම පිතිකරුවාව අසරණ කරන්න සමත්වෙන පන්දුවක් මේක. 1920 – 30 ගණන් වලදී ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරපු ක්ලැරී ග්‍රිමට් තමයි මේ පන්දුව හොයාගන්න මූලික මෙහෙවරක් කරල තියනවයි කියන්නෙ.

 

4. යෝකර්

Image Source – twitter.com

අපේ ලසිත් මාලිංගගේත් ප්‍රියතම පන්දුවක් වන යෝකර් පන්දුව කියන්නේ වේග පන්දු යවන්නෙක් විසින් යවනු ලබන මනස්කාන්තම පන්දුවක්. ඒ වගේම ක්‍රීඩාවේ ජවය මනාවට ඉස්මතු කරලා පෙන්වන පන්දුවක්. පිතිකරුවාගේ කකුල් අසලටම පතිත වෙන මේ පන්දුවේ ආරම්භය එංගලන්තයේ යෝර්ක්ෂයර් වලදී සිද්ධ වුණා කියලා තමයි සමහරු කියන්නේ. ඒ නිසාම මේ පන්දුවට යෝකර් නම් වැටුණා කියලා කියනවා. 1870 ගණන් වල හිටපු එංගලන්ත වේගපන්දු යවන්නෙක් වුණු ටොම් එමට්ව තමයි මේ පන්දුවේ නිර්මාතෘවරයා හැටියට වැඩි දෙනෙක් සළකන්නෙ. හැබැයි එහෙම වුණාට ටොම් එමට් සහ යෝර්ක්ෂයර් කතාව පිළි නොගන්න ක්‍රිකට් ඉතිහාසඥයො පිරිසකුත් ඉන්න බව නොකියම බැහැ.

 

5. රිවර්ස් ස්විංග්

Image Source – blog.playo.co

පන්දුවක් රිවර්ස් ස්විංග් වීමකට ලක්වෙනවා කියන්නේ ඉතින් පිතිකරුවට දෙයියන් බුදුන් සිහිකරගෙන පන්දුවට පහර දෙන්න වෙන තත්ත්වයක් ඒක. රිවර්ස් ස්විංග් එක දාන්න නම් පන්දුව යම් පමණකට පරණ වෙන්න ඕන. පන්දුවේ එක පැත්තක දිස්නය පවත්වාගෙන යන ගමන් අනිත් පැත්ත පරණ වීමට හැරීමෙන් තමයි රිවර්ස් ස්විංග් එක දාන්න හැකියාව ලැබෙන්නෙ. රිවර්ස් ස්විංග් එකේදි සාමාන්‍යයෙන් යවන ඉන්ස්විංගර් පන්දුවක් අවුට් ස්විංගර් එකක් හැටියටත්, අවුට් ස්විංගර් එකක් ඉන් ස්විංගර් එකක් හැටියටත් තමයි වැටෙන්නෙ. මේ භයානක පන්දුව ලෝකෙට හඳුන්වා දෙන්නෙ පකිස්ථානුවන් තමයි. සර්ෆ්රාස් නවාස් තමයි මේ පන්දුව මුලින්ම දැම්මා කියල කියන්නෙ.

 

6. කැරම් බෝල්

Image Source – au.sports.yahoo.com

කැරම් පන්දුවේ ඉතිහාසය 1940 ගණන් තරම් දුර ඈතකට යනවා වුණත් මේ පන්දුව ජනප්‍රිය වෙලා කරළියට එන්නේ 2000 වර්ෂයත් පහු වුණාට පස්සෙයි. කැරම් ක්‍රීඩාවේදී ඩිස්ක් එක යොමු කරනවාට සමාන ඉරියව්වකින් තමයි කැරම් පන්දුවේදි පන්දුව මුදා හැරෙන්නේ. අනිත් පන්දු වලදි වගේ නෙමෙයි කැරම් පන්දුවෙදි දඟ කැවෙන නියත දිශාවක් නැහැ. පන්දුව අල්ලාගන්නා ආනතිය අනුව තමයි මේ පන්දුවේ දඟකැවීම තීරණය වෙන්නේ. ඒ නිසා වමට, දකුණට වගේම කෙළින්ම ගමන් කරන විදිහටත් කැරම් පන්දුව යවන්න පුළුවන්. මේ පන්දුව ජනප්‍රිය කරවීමේ මූලික ගෞරවය හිමිවෙන්නේ අපේ අජන්ත මෙන්ඩිස්ට තමයි. ඊට අමතරව ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්විනුත් කැරම් පන්දුවෙන් හොඳට වැඩ ගන්න ක්‍රීඩකයෙක්.

 

7. තීස්රා

Image Source – dailymotion.com

තීස්රා කියන්නේ දූස්රා වගේම පිතිකරුවන්ව මුලාවේ හෙලන පන්දුවක්. තීස්රා කියන එකේ උර්දු තේරුම වෙන්නෙ තුන් වැන්න කියන එක. ඒ කියන්නෙ සාමාන්‍ය පිට දඟ පන්දුවත්, දූස්රාවත් හැරුණහම අනිත් පන්දුව වගේ තේරුමක්. දූස්රාවෙයි තීස්රාවෙයි වෙනස තියෙන්නෙ දඟකැවෙන ප්‍රමාණයෙයි. තීස්රා පන්දුවෙදි පන්දුව කැරකි කැරකී එද්දි ලොකු දඟකැවීමක් සිද්ධ වේවිය කියලා පිතිකරුවාට හිතෙනවා. ඒත් පන්දුව දඟකැවෙන්නේ ඉතාම අඩුවෙනුයි. මේ නිසා පිතිකරුවා රැවටීමට ලක්වෙලා දැවී යන්න හේතු වෙනවා. තීස්රාවත් දිගු අතීතයක් සහිත පන්දුවක් වුණත්, මේ නමින් ඒක ජනප්‍රිය වන්නේ සක්ලේන් මුෂ්ටාක්  ඒ පන්දුව යවන්නට පටන් ගැනීමත් එක්කයි. ඒ නිසාම දූස්රාවෙ වගේම තීස්රාවෙත් සොයාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ සක්ලේන් මුෂ්ටාක්ටයි.

Cover Image Source – spin-bowling.boards.net/ facebook.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *