ලංකාව මුහුණ දුන් ක්‍රිකට් අවසාන තරඟ

දකුණු ආසියානු කලාපයට ක්‍රිකට් කියන්නේ දකුණු ඇමරිකා කලාපයට පාපන්දු වගේ ඇඟේ තියෙන ක්‍රීඩාවක්. වැඩිපුර සිරුරේ දක්ෂතා වලට වඩා වෙනස් ගේම් එකක් වෙන ක්‍රිකට් දකුණු ආසියානු ජනයා අතර වේගයෙන් ජනප්‍රිය වුණා. දැනටත් ක්‍රිකට් ගහන රටවල් ප්‍රමාණය අතළොස්සක් වුවත් ඉන්දියාව, පාකිස්තානය හෝ බංග්ලාදේශය ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟයක් අඩුම වශයෙන් බිලියනයකට වඩා වැඩි ජනකායක් රූපවාහිනී සහ අන්තර්ජාලය හරහා නරඹනවා ඇති. ඉතින් ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් විදිහට අත් පත් කරගත් තැන සුළුපටු නැහැ. අපි ඒ ගැන ටිකක් බලමු. 

 

1. රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් 

මීට වසර විසි පහකට පෙර ජයසූරිය, ලාරා, තෙන්දුල්කාර්, ජොන්ටි රෝඩ්ස් කියන්නේ ක්‍රිකට් පිටියේ නිතර නම කියවෙන විශිෂ්ට චරිත වුණා. ඒ හැම කෙනෙක්ම දකින්නට ලැබුණු රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් තරඟ වලදි ඩිල්ෂාන් සහ තරංග හැම තරඟයෙම වගේ දක්ෂතා පෙන්නලා අපට ජය ලබාදෙන්න දායක වුණා. අවසාන තරඟය තිබුණේ 2021 මාර්තු 21 වැනිදා. අපේ බෝලින් සුපිරි වුණත් ඉන්දියාව අපෙන් ලකුණු 184ක් ඩැහැ ගත්තා. ඒ හඹායෑමේදී ජයසූරිය අගනා ලකුණු 43ක් ලබාගත්තේ කලකට පසු දැක්ක ලස්සන හයේ පහරකුත් එක්ක. ඒ තරඟයේදී ඩිල්ෂාන් සහ තරංග යන මින් ඉහත තරඟවලදි සාර්ථක වුණු පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක වුනා. ඒත් චින්තක ජයසිංහ සහ කෞෂල්‍ය වීරරත්නගේ අවසාන මොහොතේ දැක්වූ දක්ෂතා නිසා ලකුණු 167ක් ලංකාවට ලැබුණා. තරඟය පරාජය වුණත් කලකට පසු ලංකා නම ඉදිරියේ තියුණු අවසන් මහා තරඟයක් දකින්නට ලැබුණා. 

 

2. 1996 අවසන් මහා තරඟය 

1996ට පෙර ලංකාව ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයටවත් ගියේ නැති කණ්ඩායමක්. දකුණු ආසියාවේ පැවැත්වුණු එම ලෝක කුසලාන තරඟාවලියෙදි බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ලංකාවේ තිබෙන තරඟ දෙකට සහභාගි වුණේ නැහැ. මොකද එවකට ලංකාවෙ තිබුණ ආරක්ෂක තත්ත්වය ගැන ඔවුන් සෑහීමකට පත්වුණේ නැහැ. ඒත් අනෙක් තරඟ සියල්ලෙන්ම අපරාජිත විදිහට ජයගත් ලංකාව ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරඟයට මූණ දුන්නා. එහිදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මාක් ටේලර් ලකුණු 74ක් සහ රිකී පොන්ටින් ලකුණු 45ක් ලබාගත්තා. ඒ වගේම තරඟ අවසාන කිරීමේ එවකට සූරයා වුණු මයිකල් බෙවන් ලකුණු 36ක් පසුපෙළට එකතු කළා. ඒත් ඕවර 50ට ඔසී අයට එකතු වුණේ ලකුණු 241ක් පමණයි. එම ලකුණු හඹායන ලංකාවට පළමු විකට් දෙකම මුල් ඕවර වලදි අහිමි වුණා. ඒත් අරවින්ද ද සිල්වා නොමැකෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලංකාවට 1996 ලෝක කුසලානය ගෙන ආවා. එය මුලු ලෝකයේම ඇස මේ කුඩා දිවයිනට එල්ල කළ අමරණීය ජයග්‍රහණයක් වුණා. 

 

 

3. 2007 ලෝක කුසලාන අවසාන තරඟය

 

එක්දින තරඟ ඉතිහාසයේ 1996ට පසු ඔස්ට්‍රේලියාව පිට පිට තුන් වතාවක් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළා. 1996 කණ්ඩායමටත් ක්‍රීඩා කළ රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් ඒ පිට පිට ජයගත් ලෝක කුසලාන තුන ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝකයේ ඉහළටම ඔසවා තැබුවා. බාබඩෝස් වල පැවති මේ ක්‍රිකට් අවසාන තරඟය අයහපත් කාලගුණය නිසා ඕවර 36කට සීමා වුණා. ඒ ඕවර තිස් හයට ඇඩම් ගිල්ක්‍රිස්ට් ලබාගත් වේගවත් ලකුණු 149 ඔස්ත්‍රේලියාවට තරඟය හැරවුනා. දෙවනියට පන්දුවට පහර දුන් ලංකා පිලේ ජයසූරිය සහ සංගා ලකුණු 104ක මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියත් එයින් පසු ඔවුන් දැවී යෑමත් සමග ලකුණු හඹා යාම අපහසු වුණා. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා වුණා. 

 

4. 2009 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟය

එංගලන්තයේ පැවැත්වූ දෙවැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සුදුසුකම් ලැබුවා. නමුත් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අසීරු ඉලක්කයක් පාකිස්ථානය වෙත යොමු කරන්නට ලැබෙන්නේ නැහැ. ලංකා ඉනිම ලකුණු 138කට සීමා වෙනවා. වරක් ලකුණු 70ට කඩුලු 6ක් දැවී අසරණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ගෞරවාන්විත තත්ත්වයක් ලබා දෙන්න සංගා සහ මැතිවුස් අවසානයේ සමත් වනවා. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 64ක් ලබාගන්නටත්, මැතිව්ස් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නටත් සමත් වෙනවා. නමුත් පාකිස්ථාන පිළ කඩුළු 2ක් පමණක් දැවී පහසුවෙන් මේ ඉලක්කය හඹා යනවා. 

 

5. 2011 අවසන් තරඟය 

ලංකාවේ දේශපාලනයේද විටින් විට නම කියවුණු 2011දී මුම්බයි හි පැවති ලෝක කුසලාන අවසන් තරඟය තවමත් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නාර්ථයක් එක් කරන තරඟයක්. ඉන්දියාව ජයගත් ඒ තරඟයේදී මහේල ශතකයක් වාර්තා කරමින් මුලින් පහරදුන් ලංකා ලකුණු පුවරුව ඉදිරියේ ලකුණු 275ක දැවැන්ත ඉලක්කයක් සටහන් කරන්න දායක වුණා. එහිදී පන්දු නවයකදී ලකුණු විසි දෙකක් ලබාගත් තිසර පෙරේරාගේ වර්ණවත් ඉනිම ලංකාවේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළා. ඉන්දියාව වෙනුවෙන් පිටියට පිවිසි එම් එස් දෝනි සහ යුවරාජ් එකතු වී එම ලකුණු ප්‍රමාණය වේගවත්ව හඹා ගියා. එම තරඟයේදී ගෞතම් ගම්භීර් ලකුණු 97ක දායකත්වයක් ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා. ලංකාව පරාජයට පත්වූ මෙම තරඟය ගැන අදටත් සැකමුසුව අදහස් පළකරන ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ඉන්නවා 

 

6. 2012 විස්සයි විස්ස අවසන් තරඟය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලංකාවේ ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණු මේ තරඟයෙන් ලද පරාජයත් අපේ ක්‍රිකට් ලෝලීන්ට දරාගන්නට අසීරු එකක් වුණා. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් කොදෙවුවන් පන්දු වාර 20 තුළදී ලබාගන්නේ ලකුණු 137ක් පමණයි. එහිදී මාලන් සැමුවෙල්ස් අගනා ලකුණු 78ක් ලබාගන්නට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්‌ඩායම පහසුවෙන් මේ ඉලක්කය හඹා යාවි යැයි ක්‍රීඩාලෝලීන් ඉමහත් බලාපොරොත්‍තු සහිතව සිටියත් අවසානයේ අපේ පිළේ සියළු දෙනා ලකුණු 101කට දැවී ගියේ ලාංකික ක්‍රිකට් ලෝලීන්ව කම්පනයට පත් කරමින්. 

 

7. 2014 විස්සයි විස්ස අවසන් තරඟය

2012 දී පරාජයට පත් වුවත්, 2014 දී ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ඉන්දියාව පරදා බංග්ලාදේශයේ ධකා වලදී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත්තා. ඒ තරඟයේදී ඉන්දියාව ඕවර විස්සට රැස් කරන්නේ ලකුණු 130ක් පමණයි. ඒ ලකුණු 130ට විරාත් කෝලිගේ ලකුණු 77ක් ඇතුළත්. එහිදී ලංකා පිලේ ලසිත් මාලිංග, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ඇන්ජලෝ සහ නුවන් කුලසේකර ඕවර 4 බැගින් යැව්වත් ඒ කිසිවෙකු දැඩි ප්‍රහාරයකට ලක් වුණේ නැහැ. ලකුණු හඹාගිය ලංකා කණ්ඩායමේ සංගක්කාර පන්දු 35කදි ලකුණු 52ක් ලබාගත්තා. නැවතත් සක්‍රීය වුනු තිසර පෙරේරා එහිදී ලකුණු 23ක් පන්දු 18කදී ලබාගත්තේ වර්ණවත් 6 පහර තුනක්ද ඇතුළත්ව. පන්දු වාර 18කදී ලබාගත් ඒ ජයග්‍රහණය සමග ලංකා ක්‍රිකට් වලට අවසන් තරඟ සිහින බොඳ වී ගියා. කෙසේ නමුත් 2007 – 2014 කාලසීමාව තුළ ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් වල වගේම අවසන් තරඟ වලත් ඉහළ මට්ටමේ නිතර දුටු ප්‍රබල කණ්ඩායමක් වුණා. 

 

බෝනස් :

 

1996 සෙමි ෆයිනල් 

මේක අවසන් මහා තරඟයක් නෙමෙයි. එහෙත් ලංකාවද සම්බන්ධ වුණු ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ තරඟයක් වුණා. කල්කටා ඊඩ්න් ගාඩ්න් වල තිබුණ ඒ තරඟයේදි රුමේෂ් කළුවිතාරණ සහ සනත් මුල් ඕවරේදිම දැවී ගියා. ඉන්පසු මහානාම සහ අරවින්ද පිටියට පැමිණ ලකුණු අතරට පිවිස, ශ්‍රී ලංකා ලකුණු පුවුරුව 251ක් දක්වා ඉහළ නංවන්න සමත් වුණා. ඉලක්කයට හඹා යෑමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ඉනිමට තෙන්දුල්කාර් ලකුණු 65කින් දායක වුණත්, අනෙක් පිතිකරුවන්ගේ ඉක්මන් දැවී යෑම් නිසා මැදපෙළ වැනසී ගියා. ඒ තරඟයේදී ඉන්දියාව ලකුණු 120ට කඩුලු 8ක් තිබියදී ඉන්දීය ප්‍රේක්ෂකයින්ගෙන් ලංකා පන්දු රකින්නන්ට බෝතල් ප්‍රහාර එල්ල වුණා. ඒ වනවිට පිතිකරණයේ යෙදෙමින් සිටි විනෝද් කම්බ්ලි පිටියෙන් ඉවත් වුණේ අඬන මූණකින්. ඉන් පසු තරඟය නවත්වා ලංකාවට ජය හිමිකර දෙන්න තරඟ තීරක ක්ලයිව් ලොයිඩ් ක්‍රියා කළා. එහිදී එක් ප්‍රේක්ෂකයෙක් ලංකාවෙන් සමාව ඉල්ලා ප්‍රදර්ශනය කළ බැනරය කලක් යනතුරු ජාත්‍යන්තර මාධ්‍යවල අවධාය දිනා ගත්තා.  

 

ක්‍රීඩාවකට පුළුවන් රටක් ලෝකෙට ගෙනියන්න. ඉන්දියානුවන් ඇතැම් විට ලංකාව රවුම්ද කොටුද කියලා දන්නේ නැතත් ඔවුන් ලංකාවේ ක්‍රීඩකයින් හොඳින් හඳුනනවා. ඔවුන්ගේ පහරවල් ගැන දන්නවා. මෑතදී දුටු දැනට අවුරුදු 51ක් වන සනත්ගේ ඇතැම් පහරවල් ගැන අදහස් දක්වපු ඉන්දීය විස්තර විචාරකයෝ කිව්වේ “මීට වසර 25කට පෙර සනත්ගේ මේ පහරවල් වල ප්‍රතිඵල මේ දැනට වඩා බොහෝ වෙනස් වෙන්නට තිබුණා” කියලායි. ඒ කියන්නේ ඔවුන්ට තවමත් සනත් අවුරුදු 25කට පෙර වෙන්කටේශ් ප්‍රසාද්ලට නෙලපු හැටි මතකයි. ඉතින් අපේ ක්‍රිකට්වල දැනට යම් පසුබෑමක් තිබුණත් ඒ දේවල් හදාගෙන නැවතත් ලංකාව අඩු වශයෙන් සෙමි ෆයිනල් වත් යන කාලයක් උදා වේවා කියලා ලයිෆි සෙට් එක හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *