දැන් ඔය පුටු තියෙනවනේ. ඕනම ගෙදරක පුටුවක් තියෙනවා. පුටුවක් බැරිනම් ඉඳගන්න බංකුවක් හරි තියෙනවා. අපි ගෙවල් වලට, ඔෆිස් වලට පුටු මිලදී ගන්නවා. හැබැයි අපි කොයිවෙලාවක හරි හිතලා තියෙනවද මේ එක් එක් පුටු එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා? නැහැ නේද? ආන්න ඒ නිසා අපි හිතුවා ඔය පොදුවේ දන්න කියන පුටු වර්ග වලට අමතරව නොදන්න කියන පුටු වර්ග ගැනත් පොඩ්ඩක් කතා කරන්න. එතකොට පුටුවක් ගන්න ගියහම “අර ඇන්දක් තියෙන පුටු තියෙනවද?” කියලා අහන්න ඕන වෙන්නෙ නෑ.
දැන් දන්න කියන පුටු ජාති මොනවද? ඒවා ගැනත් අපි කතා කරනවා.
1. සෝෆා, ඔෆිස් චෙයාර්, ආම් චෙයාර්
මෙව්වා දන්න පුටු ජාති වලින් කීපයක්නේ. සෝෆා කිව්වහම නොදන්න කෙනෙක් නෑ. සුවපහසුව දෙන්නෙක්ට හෝ වැඩි පිරිසකට වාඩි වෙන්න පුළුවන් විදියේ දිගක් තියෙන, අත් සහ පිටුපසක් තියෙන ඒවා තමයි සෝෆා. සෝෆා සෙට් එකේ තනි කෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් පුටුවක් දෙකක් එහෙමත් එන්න පුළුවන්. එතකොට සමහරු මේකට couch/කවුච් කියලත් කියනවා. ඔව් ඔව්. කවිච්චි මතක් වෙනවා තමයි. හැබැයි කවුච් එකයි සෝෆා එකයි ටිකක් වෙනස්.
ඔෆිස් චෙයාර් කියන්නේ මේසයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්, ඔෆිස් වල දකින්න ලැබෙන විදියේ පුටුවක්. ඒ නිසාම මේකට ඩෙස්ක් චෙයාර් කියලත් කියනවා. සාමාන්‍යයෙන් මේ ඔෆිස් චෙයාර් කැරකෙන පුටු තමයි. එතකොට උස වෙනස් කරන්නත් ගොඩක් වෙලාවට පුළුවන්.
ආම්චෙයාර් කියන්නේ අත් දෙක තියාගන්න පහසු වෙන්න ඇන්දක් තියෙන තරමක් විශාල ප්‍රමාණයේ පුටුවකට. සමහර වෙලාවට අපි දකිනවා පස්ස හිරකරගන්නත් අමාරු සයිස් එකේ ආම්චෙයාර්ස්. හැබැයි සාමාන්‍යයෙන් ආම්චෙයාර් එකක් සුවපහසුව වාඩි වෙන්න පුළුවන් සයිස් එකකින් තමයි එන්නේ.
2. ඩෙවන්පෝට්
මෙහෙමත් ජාතියක් තියෙනවා. තමයි. මේක එක්තරා විදියක සෝෆා වර්ගයක්. ඇත්තටම මේ නම ඇවිත් තියෙන්නේ මේ ජාතියේ සෝෆා නිෂ්පාදනය කරපු සමාගමේ නමින්. ඩෙවන්පෝට් එකක විශේෂත්වය වෙන්නේ, ඒක ඇඳක් විදියට පාවිච්චි කරන්න පුළුවන් වීම. සමහරු මේකට ස්ලීපර්-සෝෆා කියලත් කියනවා. ඒ නම වඩාත් ගැලපෙනවා කියලත් අපිට හිතෙනවා. ඇයි? දැන් වෙනකොට ඩෙවන්පෝට් විතරක් නෙවෙයිනේ මේවා නිෂ්පාදනය කරන්නේ, ඒකයි. කොහොම වුනත් ඩෙවන්පෝට් එකක් නැතිනම් ස්ලීපර් සෝෆා එකක් විශේෂයෙන්ම වාඩි වෙන්න/වැතිරෙන්න තියෙන අවකාශය වඩාත් වැඩියෙන් තමයි හදලා තියෙන්නේ. ඒකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
3. කැන්ටිලිවර් චෙයාර්
සාමාන්‍යයෙන් අපි දන්නේ පුටුවකට කකුල් හතරයි කියලනේ. හැබැයි එහෙමම වෙන්න ඕනෙද? නෑ. එහෙම නැති එව්වත් තියෙනවා. හොඳම උදාහරණයක් තමයි කැන්ටිලිවර් චෙයාර්. සාමාන්‍යයෙන් මේ කැන්ටිලිවර් පුටුවක් දැක්ක ගමන් ටිකක් ඇඟ බර තියෙන මනුස්සයෙක්ට වාඩිවෙන්න බය හිතෙන්න පුළුවන්. ඇයි, මේක නිකම් තනි වානේ කම්බි දෙකකින් විතරක් බිමට හිටින වානේ රාමුවට සෙට් වෙලා තියෙන, පිටුපස්සෙන් කිසිම සම්බන්ධතාවයක් නැති, ආධාරකයක් නැති එකක්නේ. හැබැයි එහෙම බයවෙන්න දෙයක් නෑ. කැන්ටිලිවර් පුටුව පිටිපස්සෙන් බිමට නැවෙන්නෙ නෑ. ඒක ඊට වඩා ඉතාම ශක්තිමත්. කැන්ටිලිවර් එකේත් අත් තියන්න ඇඳි දෙකක් සහ පිටුපස ආධාරකයක් සාමාන්‍යයෙන් තියෙනවා.
4. වින්ග් චෙයාර්
මේකත් ඇත්තටම අර ආම්චෙයාර් වර්ගයට සමාන එකක්. බොහොම සුවපහසුව වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ගොඩක් වෙලාවට කුෂන් කරපු පුටුවක්. අත් තියාගන්නත් පුටුවෙන්ම එන ඇඳි දෙකක් තියෙනවා. පිටුපස්සට හේත්තු වෙන්නත් සෑහෙන්න උස් පිටුපසක් තියෙනවා. ඒ වගේම, පිටුපසින් ඉස්සරහට ආපු තටු දෙකක් වගේ කොටස් දෙකකුත් තියෙනවා. ඒ තටු දෙක උඩ ඉඳන් පහළට ඇවිත් පුටුවේ ඇඳි දෙකටම සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔය පුටුවේ ඔය විදියේ තටු දෙකක් තියෙන්නෙ මක්කටෙයි? කතාවේ කියවෙන විදියට ඔය තටු තියෙන්නේ කාමරේ දොර හෝ ජනෙක් ඇරියහම පිටතින් එන සීතල සුළං පාරවල් වලින් වාඩිවෙලා ඉන්න කෙනාව ආරක්ෂා කරන්නලු. එතකොට පුටුව කාමරේ ඕන තැනක ඕන විදියකට තියලා හරියන්නෙත් නෑ කියන එක තේරෙනවනේ. අපිට නම් ඉතින් සාමාන්‍යයෙන් ඔහොම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නැති වුණත්, පුටු ඩිසයින් එකක් විදියට ගත්තත් වින්ග් චෙයාර් එකක් හරි ලස්සනයි.
5. ඩෙක් චෙයාර්
දැකලා තියෙනවද අකුලන්න පුළුවන්, වාඩි වෙන/වැතිරෙන කොටස ගොඩක් වෙලාවට ඝන රෙද්දකින් නිර්මාණය කරපු පුටු ජාතියක්? ඔය හොටෙල් වල බීච් එක අයිනේ, පූල් අයිනේ එහෙම ගොඩක් වෙලාවට මේ පුටු දකින්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් නම් අකුලන පුටු කියලා ලංකාවේ කිව්වට, ඇත්තටම මේකේ නම ඩෙක් චෙයාර්. විශේෂයෙන්ම ඔය පික්නික් යන්න, සංචාරය කරනකොට අරගෙන යන්න, කෑම්පින් කරනකොට අරගෙන යන්න එහෙමත් මෙව්වා සුදුසුයි. මොකද, අකුලලා පොඩි ඉඩක ගබඩා කරන්න පුළුවන් නිසා. මේ පුටුවක වාඩි වෙන්න බෑ, ඇලවෙනවා මිසක්. සාමාන්‍යයෙන් මේ පුටුවේ වැතිරෙන කොටස නිර්මාණය කරලා තියෙන්නේ කැන්වස් වලින්. හැබැයි කලාතුරකින් දකින්න පුළුවන් ලී වලින්ම ඒ කොටස නිර්මාණය කරපු ඩෙක් චෙයාර්ස් එහෙමත්.
6. ගාර්ඩ්න් චෙයාර්
ඔව් ඉතින්, නමේම තියෙනවනේ මොකට පාවිච්චි කරන පුටුද කියලා. මේ පුටු හදලා තියෙන්නේ ගේ ඇතුලේ තියන්න නෙවෙයි. ගෙයින් එළියේ තියන්න. සාමාන්‍යයෙන් ලී වලින්, වානේ වලින් එහෙම හදන ගාර්ඩ්න් චෙයාර් එකක කුෂන් අනං මනං නෑ. මොකද, මේ විදියේ පුටුවක් හදන්න වෙන්නේ අව්වට වැස්සට ඔරොත්තු දෙන විදියට. මේවා ගොඩක් වෙලාවට අත් තියාගන්න ඇඳි දෙකක් එක්ක එන පුටු. ගොඩක් ගාර්ඩ්න් චෙයාර්ස් එක්කෝ වානේ වලින්ම නැතිනම් ලී වලින්ම නිර්මාණය වුණු දැල් හෝ ඉරි ඩිසයින් එකක් එක්ක දකින්න පුළුවන්. ගාර්ඩ්න් චෙයාර්ස් ගැන විශේෂයෙන්ම දැනගන්න ඕන හේතුවක් තියෙනවා. සමහරු නොදැන මේ පුටු ගෙවල් ඇතුලේත් තියලා තියන නිසා. ඒක ගැලපෙන්නේ නෑ.
7. ලැඩර්බැක් චෙයාර්
මේකත් ඉතින් නමින්ම අපිට ගෙස් කරන්න පුළුවන්. ඉණිමගක් වගේ පිටුපස කොටසක් තියෙන පුටු? ඔව්, ආසන්න වශයෙන් හරි. දැකලා තියෙනවද ලී වලින් ගොඩක් වෙලාවට නිර්මාණය වුණු, පිටුපස ලී රාමුවක් මැදට ගහලා තියෙන ලී පටි තුනකින් වගේ හදපු පිටුපස හේත්තු වෙන කොටසක් තියෙන පුටු? ආන්න එව්වා තමයි ලැඩර්බැක් පුටු. මේ ලැඩර්බැක් නැතිනම් ස්ලැට්බැක් පුටු නැතිනම් ෆිඩ්ල් බැක් පුටු වල අත් තියන්න ඇඳි එන්නෙ නෑ. පිටුපස හේත්තු වෙන කොටස උසයි. හැබැයි ඉතින් දීර්ඝ වෙලාවක් එක දිගට ඉඳගෙන ඉන්න පුළුවන් විදියේ සුවපහසුවක් නම් නෑ. මුල් කාලයේදී නම් මේ ලැඩර්බැක් පුටු වල වාඩිවෙන කොටස නිර්මාණය වෙලා තියෙන්නේ වේවැල් වර්ග වලින්. ඒක සාමාන්‍ය ලී නිමාවකට වඩා සුවපහසුයි.
8. වින්ඩ්සර් චෙයාර්
මේකත් ගොඩක්ම වෙලාවට ලී වලින් හැදුණු පුටුවක්. හැබැයි සාමාන්‍යයෙන් අපි දකින ලී පුටු වලට වඩා මේක බොහොම සුවපහසුයි. මේකට හේතුව එකක් වින්ඩ්සර් පුටුවේ වාඩිවෙන කොටස ප්‍රමාණවත් විදියේ ඉඩකින්, තනි ලීයකින් හදලා, පසුපසට බෑවුම් වෙන විදියට තියෙන නිසා. ඒ ව්ගේම හේත්තු වෙන පිටුපස කොටසත් ඇඟේ හැඩේට වඩාත් උචිත විදියට රවුම් කරලා තියෙන නිසා. මේ වින්ඩ්සර් පුටු වලත් අත් තියාගන්න ඇඳි දෙකක් තියෙනවා. එතකොට වින්ඩ්සර් පුටු වල කකුල් සාමාන්‍ය පුටුවල වගේ තනි කෙලින් පහළට නොගිහින්, පොඩි ඇලේකට තමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා ඩිසයින් එකක් විදියට ගත්තත් වින්ඩ්සර් පුටුවක විශේෂත්වයක් තියෙනවා.
Leave a Reply