විභාග මානසිකත්වය නිසා අද කාලෙ පොඩ්ඩොන්ට මඟ ඇරෙන සුන්දර ළමා කාලය

ඔන්න පහුගිය දවස්වල ශිෂ්‍යත්ව ප්‍රතිඵල උණුහුමත් එක්ක දෙමව්පියොයි, පොඩ්ඩොයි වෙනස්ම ලෝකෙක ඉන්න කාලයක්නෙ මේක. බලාපොරොත්තු උන ප්‍රතිඵල ගත්තු පොඩ්ඩොන්ට ගජ වාසී වගේම අනික් පොඩ්ඩොන්ට ටිකක් බැනුම් වැඩි කාලයක්. කොහොම උ​නත් අපි කතා කරන්න යන්නෙ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන නම් නෙමෙයි. මේ ශිෂ්‍යත්වේ වගේ විභාග නිසා අද කාලෙ ළමයින්ට අහිමි වෙලා තියෙන අපි ඒ කාලෙ ගෙවපු සුන්දර ළමා කාලයේ මතක ටිකක් ගැන. මේකට විශේෂයෙන්ම බිලි වෙලා තියෙන්නේ 2000 න් පස්සේ ඉපදුණු අපේ ළමා පරම්පරාව. ඒ ළමයින්ගෙ ජිවිත යහපත් කරන්න කියල හිතාගෙන දෙමවුපියන් විභාග තරගයට දුවන දිවිල්ලෙන් ඒ ජීවිත ඇත්තටම යහපත් වෙලා තියෙනවද කියන කාරණාවත් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. ඒ වගේම මේ විභාග තරමටම මේ ළමා කාලය ඒ දරුවන්ට අහිමිවීමට නවීන තාක්​ෂණයත් වග කියන්නම ඕන. තාක්ෂ​ණය ළමයි භාවිත කරන්න ඕන තමයි. ඒත් දෙමවුපියෝ උනත් ඒ ගැන වගකීමෙන් වැඩ කරන්නත් ඕනෙ. 

 

 

1. සෙල්ලම් ගෙවල්

දැන් ඉන්න ළමයි දැකලවත් නැති හරි සුන්දර වැඩක් තමයි මේක. හුඟක්ම ප්‍රසිද්ධ නම් ඉතින් ගෑණු ළමයි අතරෙ තමයි. හැබැයි අයියල, නංගිල දෙගොල්ලොම ඉන්න පවුල් වල හැමෝම මේ සෙල්ලම කරල ඇති කියන එකනම් ටක්කෙටම විශ්වාසයි. අම්මල තාත්තලාගෙත් උදව් අරන් කෝටු හිටවලා, සාරි වටකරල, බිමට පරණ පැදුරු කෑලි එලල, කාමර වෙන් කරල හදපු ලස්සන සෙල්ලම් ගේක අම්ම, තාත්ත චරිත බෙදාගෙන විඳපු ඒ සතුට කම්පියුටර් ගේම්ස් වලනම් නැහැ ඔන්න. ඒ වගේම ඒවාටම විශේෂ වෙච්ච මුදල් නෝට්ටු එහෙමත් තිබුණා. 

 

 

2. සරුංගල් කාලේ

මේන්න කොල්ලොන්ගෙ සෙල්ලමක්. ජූලි මාසෙ පටන් ගන්නව කියන්නෙ ඉතින් ගමේ කොල්ලො කුරුට්ටොන්ට මහා වැඩ ගොඩයි. ඒ කාලෙට වෙලේ නියරවල් දිගට සරුංගල් පස්සෙ දුවන රංචු රංචු ඕනතරම්. සරුංගල් කාලේ පටන් ගන්නත් කලින්ම කොහෙන්හරි ඕන කරන දේවල් ටික හොයාගෙන හොඳ සරුංගලයක් හදාගන්නවා තරම් සතුටක් ඒ කාලෙට කොල්ලෝ කුරුට්ටන්ට නැති තරම්. අදනම් අම්ම තාත්තත් එක්ක කලාතුරකින් කඩෙන් ගත්තු සරුංගල් කෑල්ලක් උස්සන් එන පොඩ්ඩෙක් ඇරුණම අර වගේ දර්ශනයක්නම් දකින්නම නැති තරම්. 

 

 

3. විනෝදාංශ

අම්මේ ඉස්සර කාලෙ අපිට තිබ්බ වැඩ. හැම ළමයෙක්ටම අනිවාර්‍යෙන්ම තිබ්බ මොකක්ම හරි විනෝදාංශයක්. වැඩිපුරම ඔය එක එක සුකුරුත්තන් ජාති එකතු කරල ගොඩ ගහගන්න එක තමයි විනෝදාංශ කියල කලේ ඉතින්. දේශීය, විදේශීය මුද්දර, කුරුළු පිහාටු, සිප්පි කටු, පස්සෙ පස්සෙ කාලෙදි බුක් මාර්ක්ස් වගේ. අදකාලෙ පොඩ්ඩොන්ට මේ දේවල් අමුතුයි වගේ පේන තරමටම කාලෙ වෙනස් වෙලා.

 

 

4. වෙලේ, ඇලේ සෙල්ලම්

ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් අම්මගෙ රසම රස බත් පිඟානට වග කියන ළමයි ටික ඊළඟ තප්පරේම හොයාගන්න නැහැ ඉතින්. කට්ටියම වෙලේ, ඇලේ සෙල්ලම. මඩේ එරි එරි දුවන්න, ඇලේ බන්ට් එකේ නාන්න, මාළු අල්ලන්න වගේ වැඩ කෝටියයි. ඒ කාලෙ ළමයි පරිසරය එක්ක මේ තරම්ම එකතු වෙලා හිටියෙත් ඒකමයි. විභාග පැත්තකින් තිබ්බත් අදනම් කාටවත්ම යන්න බැරි තරමට වෙලේ, ඇලේ පරිසරය විනාශ වෙලා කෘමිනාශක නිසාම. අහලවත් නැති ලෙඩ වල අවදානම් ගන්න ඕන නැති නිසා කවුරුත්ම යන්නෙ නැති තරම්.

 

 

5. වෙල් එළියේ එල්ලෙ, ක්‍රිකට්

කුඹුරේ ගොයම් කපපු කාලෙට ගමේ කොල්ලො, කෙල්ලොන්ට රජ මඟුල් ඉතින්. එතන කියාපු තැන පිට්ටනියක් වගේ සෙල්ලම් කරන්න. හැම හවසකම පොඩ්ඩො ගොඩාක් වටවෙලා ක්‍රිකට් මැච් එකක්, එල්ලෙ මැච් එකක් ගහනව දකින එක වරදින්නෙම නෑ. දැන් කාලෙ කුඹුරුත් නැහැ, පොඩ්ඩොත් නැහැ, සෙල්ලමුත් නැහැ ඉතින් හුඟාක් ගම් වල.

 

 

6. වෙසක්, පොසොන්

වෙසක්, පොසොන් කාලෙ එනව කියන්නේ තවත් එක භීෂණයක් තමයි පොඩ්ඩොන්ට. වෙසක් කූඩු හදන එකෙන් තමයි ඔන්න වැඩේ පටන් ගන්නෙ. හැබැයි දැන් වගේ කඩෙන් බට ගෙනල්ලා, කඩෙන් කූඩු හදන් ඇවිල්ලා, සැරසිලි කොල කඩෙන් ගෙනැල්ලා නම් නෙමෙයි. ගමේ වටයක් ගිහින් තමයි හොඳ බට කෑල්ලක් හොයාගන්න ඕන. රබර් කැලේකට පැනල ඔට්ටපාලු ටිකක් එකතු කරගෙන තමයි කූඩු බඳින්නෙ. කැටයම් කපන්නෙත් ගෙදරමයි. ඔහොම මොන සෙල්ලම දාල හරි අල්ලපු ගෙදරට වඩා ලස්සන කූඩුවක් කොහොමහරි තමන්ගෙ ගෙදර එල්ලනවාමයි හැමෝම.

ඔන්න ඊළඟට පෝය දවසට වෙසක් බලන්න යන්න එපැයි. ඒකටත් පොඩ්ඩො සෙට් පිටින් තමයි පාරට බහින්නෙ. දැන් තරම් පරිසරය අනාරක්ෂිත නැති නිසා දෙමව්පියො උනත් උවමනාවට වඩා බයක් උණේ නැහැ. බයිසිකල් වලින්, පයින් රංචු පිටින් කෑ ගගහ වෙසක් බලපු ඒ අතීතය අද කාලෙ පොඩ්ඩොන්ටනම් හිතාගන්නවත් බැහැ.

 

 

7. දන්සල්, මල් බයිසිකල්

ගමේ පන්සලේ ඕනෙම පින්කමක් නම් ගමේ පොඩ්ඩො ටිකත් නොවැරදීම එතන තමයි. පෝයට කල්ලියක්ම එකතු වෙලා ගම වටේම ඇවිදල මල් ගස් ටික ඔක්කෝම සුද්ද කරල, කැන්ද කො​ළ ගොටු වලට දෙන මල් දන්සලක් පන්සලක් ගාව වරදින්නේම නැහැ. දැන් පොඩ්ඩොන්ට පෝයටත් ටියුශන් ක්ලාස් නෙ ඉතින්.

අනික් එක තමයි ගමේ කඨින පෙරහැර. එදාට ඉස්සරහින්ම යන මල් බයිසිකල් කියන්නෙ ගමේම කොලු ගැටව් ටික තමයි. ඒකට සූදානම් වෙන්නෙත් කාලෙක ඉඳන්. ගස්ලබු ගැටේකට ලස්සනට සව් කොල වලින් සරසපු ඉරටු ගහල ලස්සනම මල් බයිසිකලේ හදාගන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. හැබැයි අද කාලෙ වගේ අම්මල තාත්තල මේකට අත ගහන්නේම නැහැ. දැන්නම් අම්මල හදල දෙන, නැත්තම් කාට හරි කිය​ල හදවල දෙන මල් බයිසිකලයක් දවාලෙ පෙරහැරක අරන් යන පොඩ්ඩො තමයි වැඩිපුරම දකින්න ඉන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *