දැන් කාලේ මුළු රටම තියෙන්නේ බොහොම අර්බුදකාරී තත්වයක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි හැමෝටම ඒක දැනෙනවා. එතනදී විශේෂයෙන්ම බලශක්ති අර්බුදය මේ වෙනකොට රටටම දැනිලා තියෙන්නේ. හරි, දැන් ඔය ප්‍රශ්නේ එක්ක කරන්ට් නෑ. ඒ වගේම කරන්ට් බිල සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරන්න නියමිතයි. අපිට එහෙම තත්වයක් යටතේ ගෙදර කරන්ට් බිල අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? ඒ කියන්නේ නිස්කාරණේ දාලා තියෙන ලයිට් ඕෆ් කරලා දානවා ඇරෙන්න, කරන්ට් බිල අඩු කරගන්න වෙන කරන්න පුලුවන් දේවල් නැද්ද? තියෙනවා. අපි නොහිතන ක්‍රම වලින් කරන්ට් බිල අඩු කරගන්න පුලුවන්. ඒකෙන් අපේ විදුලි පරිභෝජනය කළමනාකරණය වෙලා බිලත් අඩු වෙනවා, ඒ වගේම රටටත් බලශක්ති ඉතුරුවක් වෙනවා. ආන්න ඒ නිසා, අපි බලමු එහෙම කරන්ට් බිල අඩු කරගන්න කරන්න පුලුවන් නොවරදින ට්‍රික්ස් මොනවද කියලා!
01. පීක් ඇන්ඩ් ඕෆ් පීක්
දැන් ඔය අපිට ෆෝන් කෝල්ස් වලදී, එතකොට ඉන්ටර්නෙට් පාවිච්චියේදී එහෙම කොටස් දෙකකට කඩලනෙ දෙන්නේ. පීක් සහ ඕෆ් පීක්. එතනින් පීක් කියන්නේ හැමෝම පාවිච්චි කරන, ඉල්ලුම වැඩිම වෙලාව. ගොඩක් වෙලාවට පීක් කියලා හැඳින්වෙන්නේ දවසේ දවල් කාලය. එතකොට ඕෆ් පීක් කියන්නේ මිනිස්සු වැඩි දෙනෙක් පාවිච්චි නොකරන ඉල්ලුම අඩු වෙලාව. ගොඩක් වෙලාවට හැමෝම නින්දට වැටෙන මැදියම් රාත්‍රිය. කරන්ට් බිලටත් එහෙම එකක් තියෙනවා. අන්න ඒ නිසා මේ පීක් සහ ඕෆ් පීක් පැය ගාණ මොනවද කියලා තේරුම් අරගෙන, ඒ අනුව රෙදි සේදීම, වතුර මෝටරේ ගැසීම වගේ තමන්ට කරන්ට් එක ගොඩක් යන වැඩ යොදාගන්න එක ඇත්තටම තමන්ටත් ඉතුරුවක්, ග්‍රිඩ් එකටත් ඉතුරුවක්.
02. ප්ලග් ගලවමුද?
මේක ඉතින් කිසිම ශ්‍රී ලාංකිකයෙක් සීරියස් ගන්න දෙයක්ද කියලා සැකයි. දැන් අපි ගෙදරක් ගත්තොත් පාවිච්චි කරන විදුලි උපකරණ කොයි තරම් තියෙනවද? ඒවැයින් කීයක් නම් ස්ථිරවම විදුලියට සම්බන්ධ කරලද තියෙන්නේ? මේ කියන්නේ ඔන් එකේ තියනවා කියන එක නෙවෙයි. විදුලි උපකරණය ඕෆ් කරලා තියෙන්නේ. හැබැයි ප්ලග් එකෙන් විදුලි කෙවෙනියට සම්බන්ධ කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය දිනපතා පාවිච්චි වෙන ටීවී කම්පියුටර් වගේ එව්වා නං සදාකාලිකවම කරන්ට් එකට ගහලා! මෙතන ප්‍රශ්නේ මේකයි. මෙහෙම ගහලා තියෙනකොටත් යම් කිසි බලශක්තියක් නාස්ති වෙනවා. ඇයි? නිකමට හිතන්න, ටීවී එක ඕෆ් කරලා වුණත් කරන්ට් එකට ගහලා තියෙනකොට ඒකේ රතු පොඩි ලයිට් එකක් පත්තු වෙනවා නේද? අද කාලේ තියෙන ගොඩක් විදුලි උපාංග වල ස්ටෑන්ඩ් බයි මෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඕෆ් කරලා තිබ්බත් ඕන වෙලාවක පට ගාලා ඔන් වෙන්න ලෑස්ති පිට තියෙන්නේ. අන්න ඒකටත් ඉතාම සුළු හෝ විදුලියක් වැය වෙනවා. අන්න ඒ නිසා හොඳම දේ තමයි, මොකක් හරි පාවිච්චි කරන්නෙ නැති නම් කෙලින්ම ප්ලග් පොයින්ට් එකේ තියෙන ස්විච් එකෙන් ඕෆ් කරලා තියන එක. එතකොට මාසෙකට වඩා කාලයක් ඔන් නොකරපු මොකක් හරි උපාංගයක් තියෙනවා නම් කෙලින්ම ප්ලග් එකෙන්ම ගලවලා තියන එක.
03. ඒසී මේන්ටෙනන්ස්
මේක ඉතින් අදාළ වෙන්නේ ගෙදර ඒසී එකක් එහෙම තියන අයට තමයි. සමහර වෙලාවට මේ කතාව ඔය එයාර් කූලර් වගේ එව්වටත් අදාළයි. දැන් ඕවා ඇතුළේ ඉතාම ඉක්මනට දූවිලි බැඳෙනවනේ. නිකමට ඒසී එකක් එහෙම මාස කීපෙක පාවිච්චියකින් පස්සේ ගලවලා බැලුවොත් පෙනෙයි මේ කියන කතාව කොයි තරම් ඇත්තද කියලා. අන්න ඒ නිසා, ඒසී හෝ එයාර් කූලර් හෝ වැඩ කරන එක දැනෙන තරමට අඩු වෙනකල් අවුරුදු ගණන් ඔහේ දුවනවට වඩා, මාස කීපෙකට වරක් සුද්ධ කරලා එයාර් කන්ඩිෂන් ෆිල්ටර් එක මාරු කරන්න පුලුවන් නම්, ඒකෙන් සිස්ටම් එක කුණු දූවිලි වලින් අවහිර වෙලා අමාරුවෙන් දුවන තත්වය නැතිවෙනවා. අන්න එතකොට ඒකෙන් ඇදගන්න කරන්ට් එකත් ප්රශස්ත මට්ටමක තියෙනවා.
04. හරියට රෙදි හෝදමු
දැන් වොෂින් මැෂින් පාවිච්චි කරන අය දන්නවනේ එක් එක් වොෂින් මැෂින් එන්නේ එක වරකට හෝදන්න පුලුවන් රෙදි ලෝඩ් එක මෙච්චරයි කියන උපදෙස් පිට කියලා. එතකොට ඊට වඩා රෙදි දාන එක මැෂිමට අවුල්. ඒක හරි. හැබැයි ගොඩක් අය ඉන්නවා, ඇත්තටම වොෂින් මැෂින් එකට කරදරයක් නැතුව හෝදන්න පුලුවන් ප්‍රමාණෙට වඩා ඉතාම අඩුවෙන් රෙදි දාලා හෝදන. සමහරු නම් හදිසියට ඇඳුම් දෙක තුන විතරක් වොෂින් මැෂින් එකට දාලා හෝදගන්න අවස්ථාත් තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙන්න සාපේක්ෂව වැඩි බලශක්තියක් ඇද ගන්නවා. එතකොට එක පාර රෙදි දෙකක් හේදුවත්, එක පාර රෙදි විස්සක් හේදුවත් වොෂින් මැෂින් එකට ඕන ඒ අවම බලශක්තිය අඩු වෙන්නෙ නෑ. එතකොට රෙදි දෙක තුන වොෂින් මැෂින් එකේ දාලා හෝදන එක කොයි තරම් බලශක්ති නාස්තියක් ද? හදිසියට එකක් හෝදගන්න නම් තියෙන්නෙ ඒක අතේ හෝදලා වැලේ දාලා වේලගන්න. වොෂින් මැෂින් එකේ උපරිම හෝදන්න පුලුවන් ප්‍රමාණයට කිළිටු රෙදි එකතුවුණහම විතරක් වොෂින් මැෂින් එකේ රෙදි හෝදලා වේලගන්න.
05. එල් ඊ ඩී
නිවසේ අනවශ්‍ය විදුලි පහන්, ඒ කියන්නේ ලයිට්ස් අනවශ්‍ය වෙලාවට ඕෆ් කරලා තියන්න කියන එක මොන පොඩි දරුවත් දන්න දෙයක්නේ. හැබැයි අර පරණ ටන්ග්ස්ටන් බල්බ් දාලා තියෙන එකෙන් සෑහෙන්න ශක්ති නාස්තියක් සිද්ධ වෙනවා එහෙම අවශ්‍ය වෙලාවට විතරක් බල්බ් දාලා තිබ්බත්. ඊට වඩා කාර්යක්ෂමයි සී එෆ් එල් කියන බල්බ් ජාතිය. ඇත්තටම ගොඩක් අය දාලා ඇත්තෙත් සී එෆ් එල් තමයි. හැබැයි ඊටත් වඩා කාර්යක්ෂම අළුත්ම බල්බ් සාමාජිකයා තමයි එල් ඊ ඩී බල්බ්. ඉස්සර එල් ඊ ඩී බල්බ් යක්ෂ ගණන් වුණාට, දැන් වෙනකොට ඒ ගණන් හොඳටම අඩු වෙලා. ඒත් තාමත් ටන්ග්ස්ටන් බල්බ් එකකට වඩා ගණන් අඩුයි. එහෙම ගාණෙන් පොඩ්ඩක් වැඩි වුණත්, දීර්ඝ කාලීනව එල් ඊ ඩී බල්බ් වලින් විදුලි බිල අඩු කරගන්න ලබා දෙන දායකත්වය හිතාගන්න බැරි තරමයි. ඒ විතරක් ද, එල් ඊ ඩී බල්බ් වල ආයුකාලයත් ටන්ග්ස්ටන් බල්බ් හෝ සී එෆ් එල් බල්බ් එක්ක සසඳලා බලනකොට අතිශයින්ම වැඩියි. ආන්න ඒ නිසා, ගෙදර ලයිට් ඔක්කොම එල් ඊ ඩී බල්බ් වලට මාරු කරන එකෙන් හිතන්න බැරි තරම් කරන්ට් බිලේ ඉතුරුවක් දැකගන්න පුලුවන් වෙයි.
06. වතුර කේතලේ
දැන් අපිට තේ එකක් බොන්න ඕන වුණහම අපි මොකද කරන්නේ? ගොඩක් වෙලාවට අපි වතුර කේතලේ රත් වෙන්න කරන්ට් එකට ගහලා, වතුර උණු වුණහම තේ හදාගන්නවා. එහෙම නේද. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ අපි එක්කෙනෙක්ට තේ හදන්න වුණත් කේතලේ වතුර කට ගාවටම පුරවලා ඊට පස්සේ ඕන වතුර ටික විතරක් අරගෙන තේ හදාගන්නවා. අර ඉතුරු වතුර ටික කේතලේම සීතල වෙලා යනවා. ඊට පස්සේ හවසට ආයෙ තේ බොන්න ඕන වුණොත් ආයෙ අර කේතලේම ඒ තියෙන වතුර ටිකම කම්මැලි කමට රත් වෙන්න ගහනවා. ඒක අපරාදයක් කියන්නේ ඇයි? විදුලි කේතලේක වතුර අඩුවෙන් තියෙනකොට ඒ වතුර ටික නටන්න යන වෙලාවට වඩා සෑහෙන වැඩි වෙලාවක් යනවා කේතලේ වතුර පුරවලා තියෙනකොට ඒක රත් වෙන්න. ඉතින් අපි ඒ රත් වුණු වතුර පස්සේ බොන්න ගන්න වෙන එකකට දාගන්නවා වගේ ප්‍රයෝජනයකුත් නැති නම්, අපිට අවශ්‍ය ප්‍රමාණෙට විතරක් කේතලේට වතුර ගහන්න. එක තේ එකක් බොන්න පොඩ්ඩක් වතුර ගැහුවා කියලා කේතලේ පිච්චෙන්නෙ නෑ. පට ගාලා වතුර නටනවා. එච්චරයි.
07. වතුර නාස්තිය ගැන බලන්න
සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ගොඩක් පැතිවල වතුර හිඟයක් කියලා දෙයක් ඇත්තෙම නැති තරම්. අපිට වතුර තියෙනවා. ඉතින් ඒ නිසාම දෙයියනේ කියලා වතුර නාස්තියත් සිද්ධ වෙනවා. නිකමට හිතන්න. අපි කී දෙනෙක් නම් අත් හෝදන්න ටැප් එක ගාවට ගියාට පස්සේ, වතුර ඇරලා අත් හෝදලා, සබන් ගානකනුත් ටැප් එක ඔහේ ඇරලා තියෙනවද? එතන තත්පර දහයක් හරි වතුර අපතේ යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඔය එක දෙයක් විතරයි. දැන් වතුර එහෙම නාස්ති වුණ කියලා කොහොමද කරන්ට් බිල වැඩි වෙන්නේ? වතුර නාස්ති වෙනවා කියන්නේ, වඩා ඉක්මනට ටැංකියට වතුර පිරෙන මෝටරේ ගහන්න වෙනවා. එහෙම මෝටරේ නිතර නිතර ගහනකොට කොහොමද කරන්ට් බිල වැඩිවෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. වතුර මෝටරේට මාර විදියට කරන්ට් එක යනවා.
Leave a Reply