යාලුවෙක් තරහ වුනාද? ආයෙමත් යාලු කරගන්න ඕනද? ඒක කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් නියම යාලුවෝ බිතුසිතුවම් රූ මෙන් පිටු නොපා යතී කියලනේ කියන්නේ. ඒ කියන්නේ නියම යාලුකම් ආයෙ ගලේ කොටපු ඉරි වගේ සදාකාලිකයිලු. හැබැයි මේකෙන් කියන්නේ එහෙම බොක්කේ ෆිට් එකෙන් ඉන්න යාලුවෙක් වුනත් කවදාවත් තරහා වෙන්නෙ නැහැයි කියලා නෙවෙයි. සමහර වෙලාවට එහෙම යාලුවෙක් වුනත් තරහ වෙන සීරියස් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ යාලුවා නැතුව ඉන්න බැහැයි කියලා හිතෙන තරම් එයා සමීප නම්, ඒ නිසාම එයාව අපිට ආයෙමත් යාලු කරගන්න ඕන නම් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ආන්න ඒ දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. 

 

1. ඇයි තරහ වුනේ? ඇත්තටම ආයේ යාලු වෙන්න ඕනද?

මේක තමයි ප්‍රධානතම කාරණාව. තරහ වෙන්න හේතුව සමහර වෙලාවට අතිශයින්ම අසාධාරණ එකක් වෙන්න පුළුවන්. විභාගෙදී අපි කොපි කරන්න දුන්නෙ නැහැ කියලා යාලුවා තරහ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ණයක් ඉල්ලපු වෙලාවක අපිට දෙන්න බැරි වුනා කියලා යාලුවා තරහ වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපිට කොපි කරන්න ඉල්ලන වෙලේ එතන විභාග ශාලාධිපති හිටපු නිසා අහක බලන් ඉන්න සිද්ධ වුනා වෙන්න පුළුවන්. ණයක් ඉල්ලුවහම දෙන්න අපේ අතේ සල්ලි නොතිබුණා වෙන්න පුළුවන්. තත්ත්වය කෝක වුනත් ඇයි තරහ වුනේ කියන එක ගැන අපි හිතලා බලන්න ඕන.

 

ඉන් පස්සේ අවංකවම හිතන්න ඕන අපිට ආයෙමත් යාලු වෙන්න ඕනද කියලා. මොකද සමහර වෙලාවට අපිට කොයි තරම් වෙන් වෙලා ඉන්න අමාරු වුනත්, එයා ඇත්ත යාලුවෙක්, ආයෙමත් යාලුවෙන්න වටින යාලුවෙක් නොවෙන්න පුළුවන්. ආන්න ඒකත් සැලකිල්ලට ගන්න ඕන.

 

2. උපකල්පන එපා

අපිට ගොඩක් වෙලාවට උපකල්පන නිසා වරදින්න පුළුවන්. මේ යාලුවගේ ප්‍රශ්නේදීත් ඒක වෙන්න පුළුවන්. මොකද, අපි  උපකල්පනය කළොත් මෙන්න මෙහෙම වෙන්න ඇති, ඒ නිසා යාලුවා තරහ වෙන්න ඇති කියලා, ඒ උපකල්පනය වැරදි වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඇත්තටම යාලුවගේ පැත්තේ ස්ටෝරිය අහලා දැනගන්න කල් කිසිම දෙයක් උපකල්පනය කරන්න යන්න හොඳ නෑ.

 

3. සමාව ගන්න වෙයි, සමාව දෙන්න වෙයි

ගොඩක් දෙනෙක්ට ඔය සමාව ගන්නවා කියන එක හරිම අමාරු දෙයක්. මොකද, තමන්ට වැරදුණා කියලා, තමන් අතින් වැරැද්දක් වුනා කියලා පිළිගන්න එක තමයි සමාව ගන්නවා කියන්නේ. හැබැයි ඉතින් යාලුවාව ආයෙමත් ඕන නම්, තමන් අතින් වැරැද්දක් වුනා කියලා පැහැදිලි වුනොත් සමාව ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි. අනෙක් අතට සමහර වෙලාවට යාලුවාට තේරෙන්න පුළුවන් වැරැද්ද වුනේ තමන් අතින් කියලා. එතකොට එයා සමාව ඉල්ලුවොත් ඒකත් කාරුණිකව භාරගන්න අපි සූදානම් වෙන්න ඕන. මෙන්න මේ දෙකටම සූදානම් නම් තමයි අපිට යාලුවා එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ.

 

4. යාලුවාට කතා කරලා බලමු

මෙතනදී අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය තමයි කෙලින්ම කතාකරන එක. එක්කෝ යාලුවාට කෝල් එකක් දෙන්න පුළුවන්. වඩාත් හොඳයි මුණගැහිලාම කතා කරන්න පුළුවන් නම්. හැබැයි එතන තවත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අපි කියමු යාලුවා අපිත් එක්ක කතා කිරීම හෝ මුණගැහීම පවා ප්‍රතික්ෂේප කරනවා කියලා. අන්න එතකොට අපිට එක්කෝ ලියුමක් ලියන්න පුළුවන්. ඊමේල් එකක් දාන්න පුළුවන්. මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඒ එකක්වත් බැරි නම් තුන්වෙනියෙක්, ඒ කියන්නේ දෙන්නගේම යාලුවෙක්ව මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොම වුනත් මේ පියවර අනිවාර්යයි. යාලුවාට කතා කරන එක.

 

5. මොනවද කියන්නේ? මොනවද කතා කරන්නේ?

හරි. අපි කොහොම හරි දුරකථන මාර්ගයෙන් හරි මුණගැහිලා හරි යාලුවා එක්ක කතා කරන්න මාර්ගය හොයාගත්තා. දැන් ඇත්තටම මොනවද කියන්නේ? කථාව අපිට මොකක් හරි ආගිය කතාවකින්, කාලගුණයෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලා වටේ යන එක ඒ තරම් හොඳ නැහැ. කෙලින්ම කතාවට බහින්න. මෙතනදී තමන්ගේ හෘදයාංගම බව සහ අවංකත්වය අතිශයින්ම වැදගත්. යාලුවාට කෙලින්ම කියන්න ඇයි එයාව ආයෙමත් අපේ ජීවිතේට ඕන කියලා. යාලුවාට කියන්න එයාව කොයි තරම් වටිනවද කියලා. යාලුවට කියන්න ආයෙමත් යාලුකම තියාගන්න ඕන කියලා. ඒ වගේම අවංකවම සිද්ධ වුණු දේ මොකද්ද කියන එක ගැන කතා කරන්න. අවංකවම තමන්ගේ පැත්තේ කතාව කියන්න. ඒ වගේම යාලුවගේ පැත්තේ කතාවට ඇහුම්කන් දෙන්න.

 

6. එකඟතාවයකට එන්න පුළුවන් නම් හරි අපි යාලුයි!

මෙහෙම අවංකව සහ කෙලින් කතාබහ කරනකොට ගොඩක් වෙලාවට දෙන්නටම තේරෙයි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. එතකොට කෙනෙක්ගේ අතේ වැරැද්ද තියෙනවා නම් ඒ කෙනාට සමාව ඉල්ලන්න පුළුවන්. ආයෙමත් ඒ වගේ දෙයක් නොවෙන්න වග බලාගමු කියලා කියන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට වැරැද්ද යාලුවා අතේ නම්, එයා සමාව නොගන්නත් පුළුවන්. කමක් නෑ. අපි ඒකට මේ මොහොතේ එයාට වාසිය දෙමු. අපි යාලු කම පටන් ගමු. හැබැයි යාලුකම නැති වෙන්න හේතු වුණු කාරණාව සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කරන්න වෙනවා. “අපි ඒක අමතක කරමු” කියලා යාලුකම පටන් ගන්න එපා. ඒක ආයෙමත් වෙනත් තැනකින් මතුවෙන්න පුළුවන් එහෙම අමතක කරන්න ගියොත්.

 

7. මොනවද කොන්දේසි?

සමහර වෙලාවට මෙහෙම යාලුකම ආයෙමත් පවත්වගෙන යන්න තීරණය කළත්, ඉස්සර තිබුණු විදියටම ආයෙමත් යාලුකම කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. දෙන්නටම ඒක පොඩ්ඩක් අමුතුයි වගේ දැනෙන්න පුළුවන්. කමක් නෑ. ඒකට කාලයක් දෙන්න. රඟපාන්න යන්න එපා. තමන්ට දැනෙන දේට අවංකව හැසිරෙන්න. එතකොට කාලයක් ගතවෙනකොට යාලුකම ආයෙමත් තිබුණු තත්ත්වයටම පත් වෙයි.

 

අපි කියමු යාලුකම නැතිවුනේ අපේ වැරැද්දකින් කියලා. එතකොට යාලුවා අපිට සමාව දුන්නත්, එයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න බලයි. හේතුව, අපි ආයෙමත් ඒ වැරැද්දම කරයිද කියන සැකය නිසා. ඒක ගණන් ගන්න එපා. හෙමිහිට ආයෙමත් යාලුකම සහ විශ්වාසය වැඩෙන්න ඉඩ දෙන්න.

 

හැබැයි යාලුවා ආයෙමත් යාලුකම පවත්වා ගෙන යෑම සඳහා අසාධාරණ විදියට කොන්දේසි දානවා කියමු. ආන්න එහෙමනම් එක මොහොතකදී තේරුම් ගන්න වෙනවා, මේ යාලුකමෙන් ඇති වැඩක් නැහැ කියලා. ආන්න එහෙමනම් කණගාටුවෙන් වුනත් ඒ යාලුකම අත්හරින්න වෙනවා. ඒකත් මතක තියාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *