දරුවා නුහුරට යෑම පාලනය කරගැනීමට ගත හැකි පියවර

දරුවෙකු නුහුරට, ඒ කියන්නේ අයහපත් හැසිරීම් වලට ගියාම දරුවා තුළින් පෙන්වන්නේ මිනිසාගේ පරණ ඥාතීන්ගේ ගතිගුණ. ඔවුන් එවිට කලහකාරී වෙනවා, සද්දේ වැඩි කරනවා, දෙමාපියන් හෝ භාරකාරයින් අකමැති දේවල්ම කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදි ඒ වෙලාවට විතරක්ම අපිට දරුවා ගොඩදාන්න බැහැ. ඉතින් දරුවන් රැකබලා ගැනීමේදී ඒ විදිහේ නරක හැසිරීම් වලින් දරුවා ගලවගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් දේවල් කිහිපයක් අපි බලමු.

 

1. විනාශය යථා තත්ත්වයට පත් කරගන්නට දරුවාගේ සහාය ලබාගැනීම

දරුවන් හානි කරන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ දේපල ආදිය. අනෙක තමයි අපේ සම්බන්ධතා වලට. මේ දෙකේදිම යම් හානියක් වෙනවා. උදාහරණ විදිහට දරුවෙක් ඥාති ගෙදරක ගිහින් යම් කලබගෑනියක් කළාම අපිට ඒක පිළිසකර කරගන්න නැවත ඒ අය එක්ක ගනුදෙනු කරන මට්ටමට හදාගන්න වෙනවා. ඒ තැන්වලදි දරුවා නැවත කලබල කරයි කියලා නැවත ඔහුව එක්කරං යන්නේ නැතුව ඉන්න හොඳ නැහැ. දරුවා විසින් සිදු කරන ලද බිඳ දැමීම්, කඩා දැමීම් හෝ නිවස හැඩි කිරීම් වගේ දේවල් වලදි ඒවා නැවත සකස් කරගන්න දරුවාගේ උදව් ගන්න පුළුවන් නම්, එවිට දරුවා කරපු දේවල බරපතලකම දරුවාටම තේරෙන්න ගන්නවා.

 

 

2. දරුවාගේ පරිසරය සැකසීම

දරුවා කැමති දේවල් තියෙනවා ඒ වගේම ඔහු අකමැති දේවල් තියෙනවා. යම් වැරදි දෙයක් සිදුවූ පසු ඒ සම්බන්ධව තිබෙන වැරදි පසුබිමත් අපි අධ්‍යයනය කරන්නට ඕනි. ටිකක් වැඩුණු දරුවෙක් නම් ඔහු ඇසුරු කරන වැඩිහිටියන් සහ මිතුරන්ගෙන් ඔහුගේ හැසිරීමට රුකුල් ලැබෙනවා. දරුවා දිගින් දිගටම පාසැල් වැඩ මගහැරීම්, වීඩියෝ ක්‍රීඩා වලට යොමු වීම්, පාසැලෙන් පැනීම් වැනි දේවල නිරත වෙනවා නම් දරුවා ඇසුරු කරන අය ගැන සොයාබලා ඒ පරිසරය මාරු කරන්නට පුළුවන් නම් හොඳයි.

 

 

3. සීමා මායිම් ගැන කරුණාවන්තව කියා දීම

ඥාති කෙනෙක්ගේ නිවසට ගිය විට, යම් තැනකට පිටින් කන්න ගිය විට ආදී අවස්ථාවලදී දරුවන් කලබල කරන අවස්ථා තියෙනවා. හැම දරුවම නොවුණත් කඩයකට ගිය තැන් පටන් යම් යම් දේ ඇරන් ඉල්ලන දරුවන් ඉන්නවා. ඒ වගේ වෙලාවට සාම්ප්‍රදායික දෙමාපියන් විදිහට තරහ අරගෙන දරුවාට බැනීම හෝ ගැසීමට යෑම තේරුමක් නැහැ. මන්ද ඇතැම් විට අපි කරන දඬුවම් ඒ පුංචි සිත් වලට අපි හිතන විදිහට දැනෙන්නේ නැහැ. කුඩා ළමයි ඉන් පසු ඒ අවස්ථා ගැන අනවශ්‍ය ලෙස බියට පත් වෙනවා. ඒ නිසා බස් රියක යන ආකාරය, කඩයකට ගොස් බඩු ගන්න විට, තැනකට ගොස් කනකොට හැසිරෙන්න ඕනි හොඳ විදිහ ගැන දරුවා දැනුවත් කර තැබීම හොඳයි.

 

 

4. දරුවාට ආදර්ශමත් වීම

සෑම කුඩා දේකටම ඉක්මනින් තරහ ගන්නා දෙමාපියන් ඉන්නවා. හොඳින් බැලුවොත් ඔවුන්ගේ දරුවන්ටත් ඒ ගතිගුණ ලාවට එනවා. ඉතින් අපි දරුවාට යමක් කරන්න කියා වචනයෙන් පමණක් උපදෙස් දෙනවාට වඩා ඔවුන්ට ඒ ගැන ආදර්ශ ලබාදීම වැදගත්. වැඩක් කරන විට වටේටම බඩු බාහිරාදිය තියාගෙන, හැම දේම අවුල් කරගෙන වැඩ කරන පුරුද්ද දෙමාපියන්ට තිබෙනවා නම් දරුවා යම් වැඩක්, ක්‍රියාකාරකමක් කරද්දි ඔහුත් ඒ විදිහටම හැසිරෙන්න තිබෙන ඉඩ වැඩියි. යම් කෙනෙක් සහ දේවල් ගැන නිර්දය ලෙස නරක වදන් පාවිච්චි කර විවේචනය කරනවා නම් දරුවාද ඒ වචන ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න උත්සාහ කරනවා.

 

 

5. හොඳින් හැසිරෙන අවස්ථා දිරිමත් කිරීම

දරුවා නිවසින් එළියට ගිය විට වධ දෙනවානම්, නිතර අඬලා, කෑ ගහලා විවිධ සෙල්ලම් කරනවා නම්, ඒ නිසා දරුවා නිවෙස තුළම කොටුකර දැමීම හොඳ නැහැ. ආකාර කිහිපයකට උත්සාහ කරලා එක් දිනක් හෝ දරුවාගේ කලබල ගතිය අඩු නම් එදාට ඔහු එදා හොඳට හැසිරුණු බව කියා ප්‍රශංසා කිරීම කළ යුතු වෙනවා. දරුවා පාසැල් වැඩට එතරම් අකමැති වුවත් එක් දිනක් හෝ ඔහු ලොකු උනන්දුවකින් පාසැල් වැඩ කටයුතු කරනවා නම්, එදාට ඔහු සතුටු වෙන කෑමක් බීමක් වගේ දෙයක් ගෙනැවිත් දී ඔහුව දිරිමත් කරන්න පුළුවන් නම් හොඳයි. වැරදි අවස්ථාවලදී යම් යම් සීමාකිරීම් වගේම හොඳ අවස්ථාවලදී නිසි දිරිමත් කිරීමුත් දරුවාට වැදගත්.

 

 

6. වැරැද්ද වීරකමක් බවට පත් නොකිරීම

දරුවෙකු තවත් දරුවෙකුට පහර දෙන්නට පෙළඹීම ටිකක් සීරියස් දෙයක්. ඒ වගේම ක්‍රීඩා කටයුතු ආදිය කරද්දි නිතරම ජයග්‍රහණයම අපේක්ෂා කරමින් පරාජයට අකමැතිව නොයෙක් කලහ කිරීමත් අවුලක්. ඉතින් මේ වගේ අවස්ථාවලදි ඒවා සාමාන්‍යකරණය කරලා ‘මෙයා එහෙම තමයි. මෙයා තව අයට ගහනවා’ කියා එය සාමාන්‍යකරණය කරන එක නොකළ යුතු දෙයක්. ඒ හරහා දරුවා නැවත නැවත වැඩිහිටියන්ගේ පැසසුම් ලබාගන්න ඒ වැරදි චර්යාවේ නිරත වෙන්නට ඉඩ තියෙනවා.

 

7. දරුවන්ට බොරු කියන්නට එපා

යම් අවස්ථාවලදී දෙමාපියන් දරුවන්ට බොරු කියා ඔවුන් අස්වැසීමට ක්‍රියා කරනවා. එතකොට යම් දරුණු හැසිරීමකදි දරුවා අනෙක් පැත්තටම ගිය වෙලාවක පවා දෙමාපියන්ගේ වචන වලට තියෙන විශ්වාසය අඩු වෙනවා.  සමහර දෙමවුපියන් දරුවන්ට යම් යම් දේ ගෙනත් දෙනවා කියල බොරු පොරොන්දු ලබා දෙනවා. තමන් විසින් කරනවා කියන දේවල් කරන්නේ නැහැ. ඉතින් එතකොට දරුවා දන්නවා වචන කියන්නේ ඇත්ත දේවල් නෙමෙයි කියලා. අපිට කරන්න අමාරු දේවල් තියෙනව නම් කෙලින්ම ඒ ගැන කිව්වාම දරුවා ඒ දේවල් වලට අකමැත්තෙන් හරි හුරුවෙනවා.

 

කොවිඩ් එක්ක ආපු දීර්ඝ නිවෙස්ගත වීම එක්ක දෙමාපියන්ටත් දරුවන්ට වගේම දැඩි මානසික පිඩනයක් තියෙනවා. ගෙදරටම කොටු වෙලා නිසා ඉස්සර වගේ ඉඳලා හිටලා ලස්සන තැනක රවුමක් දාලා එන්නවත් නිදහසක් නැහැ. ඉතින් ඒ නිසාම ගෙවල් තුළ යම් උණුසුම් තත්ත්වයන් දරුවන් එක්ක ඇති වෙනවා. ඒත් දරුවන්ගේ තත්ත්වයත් වැඩිහිටියන් අවබෝධ කරගන්නට ඕනි. ඔවුනුත් කොවිඩ් වලට පෙර බොහොම සක්‍රීය පිරිසක්. ඉතින් මේ එක්ක දරුවන් පාලනය ගැන වෙනම පැත්තකින් හිතන්න ඔයාලට අවස්ථාවක් ලැබෙන්න ඇති කියා අපි හිතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *