හුඟක් අයට උදේ නැගිටිනවා කියන්නේ සසර කළකිරෙන අත්දැකීමක්. කොච්චර නිදාගත්තත් උදේට ඇඳෙන් ඔලුව උස්සන්න තරම්වත් ජවයක් ඇඟට, හිතට එන්නෙ නෑ. ඉතින් අපි හිතුවා ඒ විදිහේ උදේ නැගිටින්න කම්මැලි අයට උදේට අවුලක් නැතුව අවදි වෙන්නටත්, උදේ වැඩ කටයුතු ලේසියෙන් කලමනාකරණය කරගන්නටත් උදවු වෙන උපදෙස් ටිකක් දෙන්න…
1. මුලින්ම පැය 7-8කවත් නින්දක් ලබන්න

Image Source – usatoday.com
උදේට නැගිටින්න අමාරු වෙන ප්‍රධානම හේතුවක් වෙන්නෙ රෑ වෙනකල් ඇහැරලා ඉන්න එකනෙ. සාමාන්‍යයෙන් පැය 7-8කවත් නින්දක් අත්‍යවශ්‍යයි නිරෝගී සිරුරක් පවත්වගෙන යන්න නම්. ගොඩ දෙනා කරන්නෙ රෑ වෙනකල් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. නැත්තන් ෆිල්ම් එකක් බලලා මහ පාන්දර තමා නින්දට යන්නෙ. අනේ ඉතින් එතකොට උදේට නැගිටින්නෙ කොහොමද? මේකට කරන්න ඕනෙ ඉතින් දවසෙ වැඩ ප්ලෑන් කරගන්නකොට නිදාගන්න පැය ගාණ හරියටම අරගෙන නිදාගන්න එක. ඒ වගේම හැමදාම එකම ටයිම් එකකට නිදාගන්න පුරුදු වෙන්න. ඒක ගොඩක් වැදගත් කාරණාවක්. එතකොට ඔයාටත් උදේට කලින්ම නැගිටින්න පුරුදු වෙයි.
2. පහුවදාට ඕනෙ සියල්ලම ලෑස්ති කරලා තියාගන්න

Image Source – pinterest.com
ඔෆිස් යන කෙනෙක් නම් සතියේ දින කියන්නෙ ගොඩක් කාර්යබහුල දවස් නේ. කාන්තාවන් ගැන නම් කියලා වැඩක් නෑ. ඒ තරම් වැඩ කන්දරාවක් කරන ගමන් ඔෆිසුත් යන්න වෙනවනේ. එහෙම කෙනෙක් නම් කරන්න ඕනෙ උදේට උයන පිහන දේවල් කලින් ලෑස්ති කරලා තියන එක. පොල් කලින් ගාලා ෆ්‍රීසර් එකේ තියාගෙන හරි පොල් කිරි මිරිකලා ෆ්‍රිජ් එකේ දාගන්න හරි පුළුවන්. ඒ වගේම උදේට කාර්‍යබහුල කෙනෙක්ට සතියටම එකපාර එළවලු ගෙනාවම ඒවා එවෙලෙම සෝදලා, කපලා, වෙනම පොලිතීන් බෑග් වල දාලා එයා ටයිට් කරලා ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. ඒකෙන් උයන්න යන කාලය ගොඩාක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම පහුවදාට අඳින ඇඳුම් කල් තියා එලියට අරන් මැදලා වෙනම හැන්ගර්ස් වල දාලා තියාගන්න එකත් උදේට ගොඩක් පහසු වෙනවා.
3. උදේට මුහුණදීමට සිදුවන දේ / කළයුතු වැඩ සිතින් මවාගන්න

Image Source – wikihow.com
උදේට කරන්න තියෙන වැඩ, ඒ කියන්නෙ ඔෆිස් යනවනම් එහෙ වැඩ, ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර මොන මොන වැඩද පිළිවෙලට කරන්නෙ කියලා පොඩි ප්ලෑන් එකක් හිතෙන් හදාගෙන නින්දට යන්න. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා මඟහැරගන්නෙ නැතුව හැමදෙයක්ම කරගන්න ඒක පහසුවක් වෙයි. ඒ වගේම ඒවා මඟහැරෙයි කියලා බයක් තියනවනම් පොඩි කොළයක නෝට් කරගෙන නිතර පේන තැනක අලෝගන්න. ඒ කියන්නෙ ෆ්‍රිජ් එකේ දොරේ, අල්මාරියෙ දොරේ වගේ. එතකොට රැකියාවට යන්න කළබලේ ලෑස්ති උනත් හැමදෙයක්ම මග නොහැරී පිළිවෙලක් ඇතුව කරගන්න පුළුවන්.
4. එලාම් එක ඔන් කරලා තියාගන්න

Image Source – telenews.pk
උදේට නැගිටින්න අපහසු අය එලාම් එක ස්නූස් ටයිම් 4කට විතර තියාගෙන නිදාගන්න යන්න. උදේ වැඩ ටිකට වෙලාව තියෙන විදිය බලලා එලාම් එක සෙට් කරලා නින්දට යන්න. මේකෙදි ඔයා නැගිටින්න ඕනෙ වෙලාවටම එලාම් එක සෙට් නොකර ඊට විනාඩි 5-10ක් කලින් තියලා නිදාගන්න.
5. රෑට සැහැල්ලු ආහාරයක් ගන්න

Image Source – monpetitfour.com
මේකත් උදේට අපහසුවකින් තොරව නැගිටින්න හොඳම පුරුද්දක්. රෑට බර අහාරයක් නොගන්න එක. ඒ වගේම පුළුවන් තරම් රාත්‍රී කෑම අඩුවෙන් ගන්නවනම් ඒක ඇඟටත් හොඳයි. මිනිසා කෑමෙන් පමණක්ම ජීවත් නොවේ කියන්නා වගේ හොඳ මානසික මට්ටමක් පවත්වගෙන යන්නත් සමතුලිත ආහාර රටාවක් ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම කැෆේන් අඩංගු පාන වර්ග, කෝපි, කිරි කෝපි, අධික සැර බෙහෙත් වගේ දේවල් රෑට පාවිච්චි නොකර ඉන්නවනම් ගොඩක් හොඳයි.
6. උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් පානය කරන්න

Image Source – alifeofproductivity.com
නිරෝගී දිවිපෙවෙතක් ගතකරන්න උදේට හොඳ වතුර වීදුරුවක් බොන්න කියනවනෙ. ඒක සහතික ඇත්ත. ඒ වගේම උදේම නැගිටලා තේ එක වෙනුවට රණවරා මල් කෝප්පයක්, කොත්තමල්ලි කෝප්පයක්, කොළ කැඳ එකක් වගේ බොන්න තියනවනම් කොච්චර දෙයක්ද?
7. නිදාගන්න කලින් නිහඬ භාවනාවක යෙදෙන්න

Image Source – spiritualityhealth.com
කරන්න පුළුවන්නම් මේක ගොඩක් හොඳ දෙයක්. දවස ඇතුළත වෙච්චි දේවල් සිහිපත් කරලා ඉදිරි දින සාර්ථකව ගත කරන්න මනස සැහැල්ලු කරන්න විනාඩි කිහිපයක්වත් ගත කරන්න පුළුවන් නම් ඒක ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නැගිට්ට ගමනුත් කෙටි භාවනාවක යෙදෙන්න පුළුවන් නම් දවසම අර්ථවත්ව ගෙවා දමන්න පුළුවනි.
Leave a Reply