භික්ෂූන්වහන්සේලා, අපේ රටේ ජාතියේ මුරදේවතාවුන්වහන්සේලා විදිහටයි සැලකෙන්නේ.රටට ජාතියට තර්ජනයක් එල්ල වුණු සෑම අවස්ථාවකම වගේ ඒ තර්ජනයට මූණ දෙන්න අභීතව උන්වහන්සේලා පෙරට වඩිනවා.ඉතිහාසය පුරාවටම දුර ඈත අතීතයෙ ඉන්දියාවෙනුත්, මෑත අතීතයේ යුරෝපා ජාතීනුත් අපේ රට ආක්‍රමණය කරපු සෑම අවස්ථාවකම අපේ සංස්කෘතික වටිනාකම් රැකගන්න මුල් වෙන්නේ උන්වහන්සේලා. ඒ වගේම රටට අවැඩදායක පාලකයන්ට විරුද්ධව කටයුතු කිරීමට මූලිකත්වය ගන්නෙත් උන්වහන්සේලා. ඒ නිසාම ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න භික්ෂූන්වහන්සේලාගේ දායකත්වය අතිවිශාලයි. එහෙම ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න දායක වුණු සුවිශේෂී භික්ෂූන්වහන්සේලා කීපනමක් ගැනයි මේ සටහන.
1. කුපික්කල මහාතිස්ස තෙරණුවෝ
ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න දායක වුණු මුල්ම භික්ෂු මැදිහත්වීම විදිහට සලකන්න පුළුවන් මැදිහත් වීම සිද්ධ වෙන්නේ වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ. සොළී ආක්‍රමණය නිසා පලායන වළගම්බා රජ්ජුරුවන්ට පිහිට වෙන්නේ කුපික්කල මහා තිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ තමන්වහන්සේට ලැබෙන පිණ්ඩපාතයෙන් මුළු රජ පවුලම පෝෂණය කරනවා. ආක්‍රමණිකයන්ගේ චරපුරුෂයෝ නිසා රජතුමා අනාරක්ෂිත වෙද්දි උන්වහන්සේ රජතුමාව ආරක්ෂා කිරීමේ වගකීම “තනසිව” කියන ප්‍රාදේශීය පාලකයාට පවරනවා. ඉක්මන් කේන්තිකාරයෙක් වුණු වළගම්බා රජ්ජුරුවෝ සුළු ආරවුලක් නිසා තනසිවව මරා දමනවා. මේ අවස්ථාවේදිත් රජතුමාව ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්නේ කුපික්කල හාමුදුරුවෝ. සතුරු ආක්‍රමණ පරදවලා ආපහු අනුරාධපුරේ රජ වෙන වළගම්බා රජතුමාට තමන්ගේ දුෂ්කර අවස්ථාවේදී පිහිට වුණු කුපික්කල මහා තිස්ස හාමුදුරුවන්ව අමතක වෙන්නේ නෑ. තමන් පලා යන අවස්ථාවේ තමන්ට සරදම් කරපු ගිරි නිඝණ්ඨයගේ ආරාමය තිබ්බ ස්ථානය විනාශ කරලා ඒ භූමියේ “අභයගිරිය” කියලා අලුත් විහාරයක් හදනවා. ඒ විහාරය පූජා කරන්නේ කුපික්කල හාමුදුරුවන්ට (මේ විහාර පූජාවත් එක්ක ශාසනික අර්බුදයක් ඇති වෙනවා, ඒක වෙනම ම කතාවක්)
2. මහානාම හාමුදුරුවෝ
මහානාම හාමුදුරුවන් මැදිහත් වෙන්නේ අපේ රටේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී. ඒ කාලේ වෙද්දි අනුරාධපුරයේ රජ කරපු “මිත්සෙන්” කියන දුර්වල පාලකයව මරලා පණ්ඩු කියන ද්‍රවිඩ ආක්‍රමණිකයා රජවෙලා. මහානාම හාමුදුරුවොත් ගිහි කාලේ මෞර්ය රාජවංශයට අයිති හිමිනමක්. උන්වහන්සේගේ සහෝදරියගේ පුතා “ධාතුසේන” මේ වෙනකොට උන්වහන්සේ ගාව පැවිදි වෙලා. ඔය අතරතුරදි පණ්ඩු නියෝගයක් දෙනවා මෞර්ය රාජවංශිකයන්ව මරා දාන්න. මේ වෙනකොට දෙනමම වැඩ ඉන්නේ දික්සඳ පිරිවෙණේ. මහනාම හාමුදුරුවෝ තීරණය කරනවා සාමණේර නමගේ ආරක්ෂාව උදෙසා පලායන්න. එහෙම යද්දි කලින් දවසේ ඇති වුණු වැස්සක් නිසා කලා ඔයේ සැඩ පහර වැඩිවෙලා. මේ නිසා එගොඩට පිහිනීම ප්‍රමාද වෙනවා. ඒ අවස්ථාවෙදි මහානාම හාමුදුරුවෝ සාමණේර නම අමතලා කියනවා “අද මේ ඔය අපේ ගමනට හරස්වුණා වගේම මතු දවසක මේ ඔයේ ගමනට බාධා කරන මහා වැවක් හදන්න” කියලා. ආරක්ෂිත ස්ථානයකට ගිහින් සිවුරු හරින ධාතුසේන කුමාරයා සේනා රැස් කරන්න පටන් ගන්නවා. පණ්ඩුගෙන් පස්සේ රජකමට පත්වුණු ද්‍රවිඩයන් කීප දෙනෙක් එක්ක සටන් කරන ධාතුසේන කුමාරයා අවසානයේදී අනුරාධපුරයේ රජ වෙනවා. ගුරු හාමුදුරුවෝ දුන්න උපදෙස් මතක තියාගෙන ඉඳන් කලා ඔය හරස් කරලා කලා වැව නිර්මාණය කරනවා. මහානාම හාමුදුරුවෝ ඔන්න ඔය විදිහට අපේ රටට රජ කෙනෙක් නැති වෙච්ච අවස්ථාවක රජකෙනෙක් නිර්මාණය කරනවා. උන්වහන්සේම තමයි මහාවංශයත් රචනා කරන්නේ.
3. වීදාගම මහා මෛත්‍රීය මාහිමි
ලංකා ඉතිහාසයේ අවසාන ස්වර්ණමය යුගය ආරම්භ කරන්න මැදිහත් වෙන්නේ වීදාගම මහා මෛත්‍රීය හාමුදුරුවෝ. මේ කාලේ වෙද්දි ලංකාව අවුල් ජාලාවක්. යාපනේ රජකරපු ආර්යචක්‍රවර්තී ඒ කාලේ අගනුවර වුණු ගම්පොළටත් තර්ජනය කරන තරම් බලවත් වෙලා හිටියේ. උඩරට ස්වාධීන රාජ්‍යයක් වෙලා. ඒ අස්සේ චීනෙන් ආපු “චෙන්හෝ” කියන සෙනවියා ඒ කාලේ බලවත් තත්ත්වෙක හිටියේ. අලකේශ්වර පවුල (සමහර මතවලට අනුව ලංකාවේ රජපවුල) චීනයට පැහැර ගෙනයනවා. මේ කාලෙදි රාජකීය උරුමයක් තියෙන ජයමාලේ කියන ප්‍රභූවරයා මියයෑම නිසා ඔහුගේ බිසවත්, ළදරු කුමාරයත් අසරණ තත්ත්වයකට පත් වෙනවා. වීදාගම හාමුදුරුවෝ මේ කුමාරයව මහණ කරගෙන රජකම සඳහා පුරුදු පුහුණු කරනවා. බිසවගේ ආරක්ෂාවත් තමන්ගේ දායක පවුලකට බාර කරනව. නිසි වයසෙදි මේ කුමාරයා සිවුර අත් ඇරලා, එවකට රජකම පැහැරගෙන හිටිය තවත් අලකේශ්වර කෙනෙක්ව මරලා “හයවෙනි පරාක්‍රමබාහු” නමින් ජයවර්ධනපුර කෝට්ටේ රජ වෙනවා. එතුමා තමයි අවසාන වරට අපේ රට එක්සේසත් කරන්නේ.
4. වැලිවිටියේ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
ලංකාවේ බුද්ධ ශාසනය මේ වෙනකන් රැකිලා තියනවා නම් ඒකට වැඩිම දායකත්වයක් දුන්න හාමුදුරුවෝ තමයි සරණංකර සංඝරාජ හාමුදුරුවෝ. උන්වහන්සේ පරසතුරු ආක්‍රමණ නිසා පිරිහීමට ලක්වෙලා තිබ්බ බුද්ධ ශාසනය රැකගන්න විශාල මෙහෙයක් කළා. එත් සමහර මූලාශ්‍ර අනුව අවසාන සිංහල රජතුමා වුණු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සේ නායක්කාර් වංශිකයෙකු වුණු ‘විජය රාජසිංහ’ ව සිංහාසනයේ තියන්න මැදිහත් වෙන්නේ උන්වහන්සේ. ඒ වගේම කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා බලයෙන් පහ කරන්න කරපු අසාර්ථක කුමන්ත්‍රණයක් දැනගෙනත් වැළැක්වුවේ නෑ කියන චෝදනාවත් උන්වහන්සේට එල්ල වෙනවා. මේ සිදුවීම් ගැන වැඩි විස්තර කොටගම වාචීස්සර හාමුදුරුවන්ගේ “සරණංකර සංඝරාජ සමය” පොතේ තියෙනවා.
5. මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ
මේ නම මෑත ඉතිහාසයේ කුප්‍රකට නමක්. 1956 එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් කැලණි රජ මහා විහාරයේ විහාරාධිපති විදිහට වැඩ හිටපු මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ දක්වනවා. පස්සේ කාලෙක විවිධ හේතුන් නිසා අගමැතිවරයා සහ බුද්ධරක්ඛිත අතර ගැටුම් ඇතිවෙනවා. බුද්ධරක්ඛිත එක්ක අසම්මත ඇසුරක් තිබ්බ බණ්ඩාරනායක රජයේම ඇමතිවරියක් වුණු විමලා විජේවර්ධනත් මේ ගැටුම්වලට පෝර දානවා. මේ මතභේද කොච්චර දුර දිග යනවද කියනවානම් බුද්ධරක්ඛිත තීරණය කරනවා, බණ්ඩාරනායක අගමැතිවරයාව ඝාතනය කරන්න. ඒකට තල්දූවේ සෝමාරාම කියන තවත් හාමුදුරුනමක් පාවිච්චි කරනවා. බණ්ඩාරනායක ඝාතනයත් එක්ක ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස්වෙනවා. තල්දූවේ සෝමාරාමට මරණ දණ්ඩනය හිමි වෙනවා. බුද්ධරක්ඛිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියදී මිය යනවා.
6. හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ
1956 සිදු වූ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ දේශපාලන ජයග්‍රහණයට පාර කපපු ස්වාමීන්වහන්සේ තමයි හේනපිටගෙදර හාමුදුරුවෝ. බුද්ධාගමට ප්‍රමුඛතාවයක් දෙනවා කියලා ඩී. එස් සේනානායක මහතා උන්වහන්සේව මුල් කාලයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ කර ගන්නවා. නමුත් ඒ පොරොන්දුව කඩ කිරීම නිසා උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂය ගැනත්, ඩී. එස් සේනානායක ගැනත් කල කිරෙනවා. 1956 වෙද්දි උන්වහන්සේ ගම් දනව් පුරා වැඩම කරමින් ජනතාව සංවිධානය කරනවා. ඒකේ ප්‍රතිඵලය 1956 දී ලැබෙනවා. බණ්ඩාරනායක ඝාතනයත් එක්ක උන්වහන්සේගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන එන මන් නැතුව හිටිය අවස්ථාවක උන්වහන්සේ සිරිමාවෝ මැතිනියට බල කරනවා පක්ෂ නායකත්වය බාර ගන්න කියලා. 1966 දී උන්වහන්සේව එක්සත් ජාතික පක්ෂය මගින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධය කියලා අත්අඩංගුවටත් ගන්නවා. අවසාන කාලයේදී නම් උන්වහන්සේ දේශපාලනයෙන් බැහැර වෙලා, සර්වෝදය ආයතනයේ සමාජසේවා කටයුතුවලට දායක වෙනවා.
7. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ
සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය නායකයෙක් දිවුරුම් දීපු ගමන් දළදා මාළිගාව වන්දනා කිරීමට යනවා. 1994 දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්ත චන්ද්‍රිකා මැතිනිය දිවුරුම් දීමෙන් පස්සේ යන්නේ කෝට්ටේ නාග විහාරයට. ඒ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේව බැහැ දකින්න. ඒ සිදුවීමෙන්ම උන්වහන්සේ 1994 ජයග්‍රහණය වෙනුවෙන් කොතරම් කැප වුණාද කියලා හිතාගන්න පුළුවන්නේ. 1977 ඉඳන් 1994 දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂයේ අත්තනෝමතික වැඩවලට එරෙහිව උන්වහන්සේ වැඩ කළා. සමහර අවස්ථාවල මැර ප්‍රහාරවලටත් ලක් වුණා. චන්ද්‍රිකා රජයත් නියම පීල්ලේ යන්නේ නැති අවස්‍ථාවලදී උන්වහන්සේ තමන්ගේ විරෝධය දැක්වුවා. මහින්ද රාජපක්ෂ රජයටත් මුල් කාලයේ සහයෝගය දැක්වුවත් සරත් ෆොන්සේකා සිරගත කිරීම වගේ සිදුවීම්වලදි ඊට එරෙහිව උන්වහන්සේ තමන්ගේ හඬ අවදි කළා. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමේ සටනේ මූලික භූමිකාවක් උන්වහන්සේ ඉටු කළා. ඒ රජයත් ජනවරමට විරුද්ධ දේ කරද්දි උන්වහන්සේ සිය දැඩි විරෝධය පළ කළා.ඒ කටයුතුවල යෙදී සිටියදීම උන්වහන්සේ අපවත් වුණා.
මේ භික්ෂූන්වහන්සේලාගේ දේශපාලන භූමිකාව ගැන ඔබේ අදහස් මොනවද? කමෙන්ට් එකකින් අපිට කියන්න.ඒ වගේම මේ ලිපිය උනන්දුවක් දක්වන අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා
Leave a Reply