පහුගිය උත්සව සමයේ කාඩ් ඔෆර්ස් වලින් පත්තර පිටු වැහිලා තිබුනා. කාඩ් ඔෆ්ර්ස් ගැන ගොඩක් මීඩියා වලින් අපිව දැනුවත් කළා. කාඩ් නැති අය කාඩ් නැති එක ගැන විස්සෝප වුනා. සමහරු කාඩ් ගත්තා. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ හොඳට කල්පනාවෙන් වියදම් කරන කෙනෙක්ට හොඳ අවස්ථාවක්. ඒත් අපි ආයෙම නිවිහැනහිල්ලේ කල්පනා කරල බැලුවොත් අපිට එහෙම අපේ ගනුදෙනු හරියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද? ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් කියන්නේ හැම විටම වාසනාව ගේන දෙයක්ද කියලා අපි කතා කරමු.
1. කාඩ් ෆී
කාඩ් කියන්නේ නිකම්ම ලැබෙන දෙයක් නෙමෙයි. විවිධාකාර කාඩ් වලට අදාළ අයකිරීම් තියෙනවා. කාඩ් වල අවුරුදු පතා ගෙවන්න ඕනි මිලක් තියෙනවා. ඒ වගේම කාඩ් හරහා ගනුදෙනු කරද්දි ඒ ගනුදෙනුවට අදාළ යම්කිසි මාජින් එකක් ඇඩ්වෙනවා. ලංකාවෙදි නම් සමහර ක්‍රෙඩිට් කාඩ් වලට 3%ක් සමහර ඒවට 2%ක් ආදී වශයෙන් මාජින් එකක් ඇඩ් වෙනවා. සමහර ස්ටෝරු වලින් බඩු ගනිද්දි කාඩ් වලින් පේ වෙනවා නම් 3%ක් ඇඩ් වෙනවා කියලා කෙලින්ම කියනවා. එතකොට අපි කාඩ් එකෙන් ගෙවලා 3%ක් ගෙවනවාද නැතිනම් කෙලින් සල්ලි කොළ වලින්ම ගෙවලා ගන්නවාද කියලා තීරණය කරන්න ඕනි.
2. වෙලාවට නොගෙවීම
කාඩ් එකකින් යමක් මිලදී ගෙන හෝ යම් ගෙවීමක් කරලා මාසයක් විතර ඇතුළත ඒ මුදල කාඩ් එකට බැර කරනවා නම් කිසි අවුලක් නැහැ. කිසිම පොලියක් කාඩ් එකෙන් අය වෙන් නැහැ. ඒත් සමහර වෙලාවට අපිට එන්න තියෙන ගාණක් නොලැබීම, වෙලාවට සැලරි නොැවැටීම ආදී හේතු නිසා අපිට ඒ අදාළ දවසට ගෙවන්න බැරිවෙන්න පුළුවන්. එතකොට කාඩ් එකෙන් විශාල පොලී මුදලක් අපේ මුදලට එකතු කරනවා. දිගින් දිගට මාස ගණන් නොගෙවා හිටියොත් තව ලොකු ලොකු පොලී එකතු වෙනවා.
3. ඔෆර්ස් මේනියාව
සේල් වලින් මිලදී ගන්න හැම බඩුවක්ම අපිට වැදගත්ද? මේක ටිකක් විවාදාපන්න කාරණාවක්. ඇත්තටම වෙළඳ ආයතනවල ඉක්මනින් විකිණෙන්නෙ නැති අයිතම ආදිය සේල් දානවා. ඇතැම්විට අපි සේල් එකෙන් ලාබෙට කියලා උස්සන් ආවාට අපිට ඒ භාණ්ඩ උවමනා වෙන්නෙත් නැති තරම්. ඉන් පස්සේ ගෙදර ඔහේ ගොඩ ගහල තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලත් ඒ වගේ වෙනවා. සමහර බඩු ක්ලියර් කරගන්න ඕනි වුනාම ස්ටෝර් වලින් ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් දෙනවා. අපිත් ලාබ නිසා ගෙනියනවා. ඒත් ඇත්තටම ඒ බඩු අපිට ඕනිම ඒවාද? ඒක නැවත සිතා බලන්න වටින දෙයක්.
4. කෑෂ් ඇඩ්වාන්ස් ගැනීම
අපිට හදිසි මුදල් අවශ්‍යතාවයක් උනාම සාමාන්‍යයෙන් අපි ළඟ සල්ලි නැත්නම් අපි කාගෙන් හරි ඉල්ලා ගන්නවා. ඒ ඉල්ලගන්නේ ගිනිපොලී කාරයෙක්ගෙන් නෙමෙයි නම් අපිට පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒත් දැන්මේ කාඩ් ආවත් හරි කාඩ් පාවිච්චි කරන අය හදිසියක් වෙලාවට කාඩ් එකෙන් සල්ලි ගන්නවා. කාඩ් එකෙන් කරන කෙලින්ම ගෙවීම් ආදිය නැතුව කෑෂ් අදිනවා කියන්නේ ලොකු පොලියක් ඇඩ් වෙනවා. රුපියල් පන්දාහක් කාඩ් එකෙන් ගත්තත් රුපියල් පන්සීයකටත් වඩා අමතර ගාස්තු සහ පොලී ගෙවන්නට සිදු වෙනවා සමහර කාඩ් වල.
5. ඔන්ලයින් සොරුන්ට අසුවීම
අපිට පිටරට ඔන්ලයින් ස්ටෝරුවකින් බඩු ගන්න ලේසිම ක්‍රමය තමයි ක්‍රෙඩිට් කාඩ්. මේ අන්තර්ජාලය තුළ විවිධාකාර ක්‍රමවල හොරු ඉන්නවා. සමහර වෙලාවට අපිට නයිජීරියාව වගේ රටකින් ලොකු ඔෆර් එකක් ඇවිත්. ඒක ඩොලර් බර ගාණක්. ඒක ක්ලියර් කරගන්න අපෙන් ඩොලර් දෙතුන් සීයක් ඉල්ලනවා. තවත් වෙලාවක අසභ්‍ය අඩවි වලට යන අයට එහෙම විවිධ තෙල් බේත් ජාති එහෙම විකුණන්න තියෙනවා ඒ තැන්වල. ඒ වගේ අන්තර්ජාලය තුළ තියෙන නොයෙකුත් වෙබ් අඩවි වල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කාඩ් තොරතුරු දෙන එක කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ සැකකටයුතු ගෙවීමක් වැරදීමකින් හරි වුනානම් බැංකුව දැනුවත් කරලා කාඩ් එක තාවකාලිකව හෝ බ්ලොක් කරන එක කෝකටත් හොඳයි.
6. ගමේ පොළ සහ සුපිරි වෙළඳ සැල
සුපිරි වෙළඳ සැල් වල ලොකු ඔෆර්ස් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවද්දි තවත් අඩු වෙනවා. ඒත් ඒවා දිහා හොඳට බැලුවොත් ඒ ඔෆර්ස් දෙන්නේ තෝරාගත් අයිතම කිහිපයකට විතරයි. ඒත් අපේ ගමේ හෝ ටවුමෙ තියෙන සති පොළට හෝ දිනපතා හවස පොළට ගියොත් එතැන තියෙන ගොඩක් බඩු බාහිරාදිය සුපිරි වෙළඳසැලට වඩා ලාබයි. ලංකාවේ තවම ගොඩක් සිල්ලර කඩවල, එළවලු කඩවල සහ තොග කඩවල කාඩ් පේමන්ට් නැහැ. ඒ නිසා තොගේට ගෙදර දොර බඩු බාහිරාදිය ගන්නවා නම් තවමත් ලංකාවේ වඩාත් ලාබදායී වෙන්නේ පැරණි මාදිලියෙ කඩවල් සෙට් එකම තමයි. කොටින්ම කොළඹ පිටකොටුවේ තියෙන තොග වෙළඳාම් පොළවලට පවා තවමත් කාඩ් ගෙවීම් ක්‍රම ඇවිල්ලා නැහැ.
7. කාඩ් ගොඩයි… කෝකද හොඳ?
ඉස්සර සේල් කියලා බෝඩ් එකක් තිබුනාම එතැනට යන හැමෝටම සේල් එකේ බඩු ලාබෙට ගන්න පුළුවන්. ඒත් දැන් මේ කාඩ් ඔෆර්ස් තියෙද්දි ඒ ඩිස්කවුන්ට් එක ගන්න නම් අපි ගාව ඒ බැංකුවේ අදාළ කාඩ් එක තියෙන්නට ඕනි. මේ විදියට විවිධ ඔෆර්ස් ලබාගන්න ඕනි නිසා සමහරු කාඩ් හත අට අරගෙන තියාගෙන ඉන්නවා. මේ කාඩ් කාඩ් වල රහස් කේත අපිට වෙන වෙනම මතක තියාගන්නත් වෙනවා. කාඩ් ටික පර්ස් එකේ දාගෙන යන්නත් වෙනවා. ඉතින් කාඩ් වලින් ලේසියි කිව්වට ඔෆර්ස් දෙන කාඩ් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා කාඩ් හත අටක් සාක්කුවේ දාගන්න වෙන එකට වඩා සල්ලි කොළ තැන තැන ගෙනියන එක ලේසි වෙන වෙලාවලුත් තියෙනවා.
කාඩ් ගෙවීම් කරද්දි අපේ හැම ගෙවීමක්ම සටහන් වෙනවා. අපේ ගෙවීම් විස්තර අපිට බලාගන්න හැකි වෙනවා. පහසු ගෙවීම් ක්‍රමවලට බඩු ගන්න හැකි වෙනවා. අපිට බැංකු ණය ආදිය ලබාගන්නකොට පහසුවක් වෙනවා. පිටරට බඩු ඇනවුම් කරන්න පුළුවන් වෙනවා. වෙන රටවලදිත් ගෙවීම් කරන්න පුළුවන් වෙනවා. සල්ලි ගොඩක් ගෙනියනවට වඩා පහසුවක් වෙනවා. මේ ආදී වශයෙන් වාසි ගොඩක් කාඩ් වල තියෙනවා. ඒත් ක්‍රෙඩිට් කාඩ් වුනත් හරි විදියට පාවිච්චි නොකළොත් ඔබ ක්‍රෙඩිට් කාඩ් එකට ණය වුණු පොෂ් ණයකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් ඕනිම ටූල් එකකට බොහෝවිට මේ කතාව ඇත්ත වෙනවා. හරියට යූස් කළේ නැතොත් අවුල් වෙනවා. කාඩ් වුනත් බිල් ගැන අවධානයෙන් ඉඳලා, ක්‍රෙඩිට් ලිමිට් ගැන අපේ ආදායම ගැන බලලා වියදම් කරන්න ඕනි. එතකොට තමයි කාඩ් එක අපිට වදයක් ඇනයක් නොවී පාවිච්චි කරන්න ලැබෙන්නේ.
Leave a Reply