ස්ත්‍රීවාදයත් එක්කම කිච කරන ඊනියා ස්ත්‍රීවාදී මොට්ට අදහස් කීපයක්!

දැන් ඔය ස්ත්‍රීවාදය කිව්වහම එක පාරටම මීටර් නැති අයට වුණත්, ෆෙමිනිස්ම් කිව්වහම ඔළුවට එනවනේ මොකද්ද කියලා. සරලවම කිව්වොත්, ස්ත්‍රීවාදය කියන්නේ, ස්ත්‍රී වේවා පුරුෂ වේවා මොන ලිංගික සමාජභාවයට අයිති කෙනෙක්ට වුණත් සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් සමානාත්මතාවයක් සහ සමාන ප්‍රවේශයක් තියෙන්න අවශ්‍යයි කියන මතවාදයත් එක්ක නිර්මාණය වුණු, සංවර්ධනය වෙන සංකල්පයක්. මේක මේ බටහිර රටවලට විතරක් අදාළ හෝ බටහිර රටවල් වලට සීමා වුණු දෙයක් නෙවෙයි, අද වෙනකොට මුළු ලෝකේ හැම රටකම පැතිරිලා තියෙන, වැඩි වැඩියෙන් සාකච්ඡාවට බඳුන් විය යුතු, ක්‍රියාත්මක විය යුතු දෙයක්. එතනදී ගොඩක් වෙලාවට සමහරු හිතනවනේ ස්ත්‍රීවාදය කියන්නේ ඔය රැඩිකල් ගෑණුන්ගේ අමුතු සීන් එකක්, අමුතු ස්ටයිල් එකක් කියලා. ආන්න ඒ අදහසත් වැරදියි. ඇත්තටම අපි අද දකින ලෝකයටත් වැඩියෙන් වඩාත් යහපත් ලෝකයක් අනාගතයේ දකින්න නම්, මේ ස්ත්‍රීවාදයේ එන සංකල්ප ක්‍රියාත්මක වීම ඉතාම වැදගත්. ඇත්තටම මෙහෙම සරලව කිව්වට, ස්ත්‍රීවාදය කියන්නේ සංකීර්ණව පැතිරිලා තියෙන දාර්ශනිකයි කියන්නත් පුළුවන් අදහස් සමුදායක්.

 

හැබැයි එහෙම කිව්වට, සමහර ඔය ස්ත්‍රීවාදය ගැන මෙලෝහසරක් දන්නෙ නැතුව ස්ත්‍රීවාදිනියන් වුණු මැන්ටල් ඩයල් එහෙමත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඇත්තටම ඒ අය හින්දා වෙන්නේ ස්ත්‍රීවාදය ගැන නොදන්න මිනිස්සුන්ටත් ඒ ගැන පිළිකුළක් ඇති වෙන එක සහ, ස්ත්‍රී සහ පුරුෂ කොටස් අතර බෙදීම් තවතවත් තීව්‍ර වෙන එක විතරයි. ආන්න ඒ නිසා, අපි දැනගෙන ඉන්න ඕන මේ වගේ මොට්‍ට මෝල් ස්ත්‍රීවාදිනියෝ නොවෙන ස්ත්‍රීවාදිනියෝ සහ ස්ත්‍රීවාදියෝ වපුරන මැටි අදහස් සහ ඒවල තියෙන හරසුන් ස්වභාවය ගැන. ආන්න එතකොට අපිට ඇත්ත ස්ත්‍රීවාදයේ තියෙන අදහස් සහ සංකල්ප පෙරාගෙන වෙන් කරගන්නත්, ඒවා ක්‍රියාත්මක කරන්නත් පුළුවන්!

 

1. පිරිමි ඔක්කොම ඌරෝ!

මේක ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑ. සමහර ස්ත්‍රීවාදිනියෝ කියාගන්න අය ඉන්නවා, පිරිමි එක්ක පුදුමාකාර වෛරයකින් ඉන්නේ.ආයෙ පිරිමි සංහතියම මහ ජරා ජාතියක්, මට පිරිමි එකෙක්වත් දෑහකට පෙන්නන්න බෑ, මේ ලෝකේ තියෙන තරම් දහදුරා වැඩ, දහජරා වැඩ කරන්නේ පිරිමි තමයිය කියන අදහසේ ඉන්න අය තමයි මේ. ඇත්තටම ඒක එහෙමද? නෑ. ඒකත් මොට්ට ඒකාකෘතික කිරීමක් විතරයි. නරක පිරිමි ඉන්නවා, හොඳ පිරිමි ඉන්නවා. නරක ගැහැණු ඉන්නවා, හොඳ ගැහැණු ඉන්නවා. ඇත්තටම ගොඩක් වෙලාවට ගැහැණු වුනත්, පිරිමි වුණත් සියේට සීයක් හොඳ හෝ නරක කියලා මනින්න බැරි තරමට හොඳ නරක ගතිගුණ මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. මේක තමයි ලෝක සොබාවය සහ මිනිස්සුන්ගේ සොබාවය. ආන්න ඒක තේරුම් ගන්න ඕන මේ වගේ අය මුලින්ම.

 

2. පිරිමින්ට වඩා ගැහැණු තමයි උසස්!

තවත් ඔය ෆෙමිනිස්ට් කියලා කියාගෙන ඉන්න සමහරු පෙන්නන්න උත්සාහ කරන දෙයක් තමයි පිරිමින්ට වඩා ගැහැණු හැමඅතින්ම උසස් කියන එක. දැන් ඔය ඉස්සර සමහර සංස්කෘතීන් වල, සමහර රටවල, සමහර යුග වල තිබුණු අදහසක්, හැඟීමක් තමයි ගැහැණුන්ට වඩා පිරිමි උසස් කියන එක. ඇත්තටම “ගැහැණුන්ගෙ නුවණ හැඳි මිටේ” වගේ කියමන් පවා හැදෙන්නේ ඔය ගැහැණුන්ට වඩා පිරිමින් උසස් කියලා හිතපු එකත් එක්ක. හැබැයි දැන් වෙනකොට ලෝකේ ඒ වගේ තේරුමක් නැති විකාර අදහස් බැහැර කරලා තමයි ඉස්සරහට යන්නේ. එහෙම තියෙනකොට ඒකේ අනික් පැත්ත, ඒ කියන්නේ පිරිමින්ට වඩා ගැහැණු උසස් කියන අදහස කරපින්නගෙන යන එකම කොයි තරම් හණමිටි අදහසක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්ත කතාව, කෙනෙක්ට උසස් හෝ පහත් වෙන්න ස්ත්‍රී පුරුෂ භේදයක් අදාළ නැහැ. පිරිමි සහ ගැහැණු වෙනස්. දෙගොල්ලන්ටම එකිනෙකාට ආවේණීක ප්‍රබලතා සහ දුබලතා තියෙනවා. හැබැයි ඒ එකක්වත් උස් පහත් වීමකට අදාළ නෑ!

 

3. ගෑණු කොහොම හිටියත් කමක් නෑ, හැබැයි අර බඩ තඩි පිරිමියා නං ඊයා!

සමහර ෆෙමිනිස්ට් කියලා කියාගන්න අය ඉන්නවා, ඒ අය කියනවා ඔය ගැහැණු ලස්සන වෙන්න ඕන, ගැහැණුන්ගේ ඇඟ හැඩ වෙන්න ඕන, ගැහැණු කකුල් වල එහෙම රෝම අයින් කරලා ලස්සනට තියාගෙන ඉන්න ඕන වගේ අදහස්, ගැහැණියව ලිංගික භාණ්ඩයක් විදියට තියාගන්නම හදපු කතන්දර, එහෙම එව්වා තවදුරටත් අදාළ විය යුතු නැහැයි කියලා. ඒක බොරු නෙවෙයි. ගැහැණිය ලස්සන වෙන්න ඕන වගේ කතන්දරම ඇත්තටම පෙනුම අනුව ගැහැණියගේ වටිනාකම තීරණය කරන්න හදපු කතන්දර. එතකොට ගැහැණියක් නම් ඇඟ හැඩට තියෙන්න ඕන වගේ එව්වත් ඇත්තටම බොඩි ෂේමින් තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, එහෙම ටෝක්ස් දෙන මේ ඊනියා ෆෙමිනිස්ට්ලම, කළු පිරිමියෙක්ව දැක්කොත් “ඊයා හැටි විතරක්” කියනවා. “කඳ බඩ මහත පිරිමියෙක් දැක්කොත් “හැටි විතරක්” කියලා පිළිකුලෙන් බලනවා. ඕක ෆෙමිනිස්ම් නෙවෙයි, ඕක කුහක කම. ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්.

 

මිනිස්සුන්ගේ පෙනුම ඕනම විදියකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම කෙනෙක්‍ටම අවශ්‍ය වෙන්නේ හොඳ ශරීර සුවතාවයක්. එතනින් එහාට කකුල් වල රෝම අයින් කරනවද, ස්ලිම් වෙනවද වගේ එව්වා පුද්ගලානුබද්ධ දේවල්. ඒ කියන්නේ පර්සනල් දේවල්. කෙනෙක්ගේ පෙනුම ගැන තව කෙනෙක්ට තීරණ දෙන්නත් බෑ වගේම, ඒක තව කෙනෙක්ට අදාළත් නෑ. හැබයි ඒවලට ගෑණු පිරිමිකම් අදාළත් නෑ.

 

4. මං ගෑණියෙක් නිසා මට තැන දෙන්න ඕන

මේකත් ඔය ගොඩක් වෙලාවට හරි පාරවල් වලින් නැතුව, පැරෂුට් වලින් එහෙම කොහේට හරි ගොඩබැහැපු ගැහැණු කියන කතාවක්. ඒ තමයි, තමන් කාන්තාවක් නිසා තමන්ට තැනක් දෙන්න ඕන කියන එක. හරි, අපි ගමු මොකක් හරි ආයතනයක්. මුලින්ම එතන තියෙන්න ඕන ගැහැණුන්ට වුණත් පිරිමින්ට වුණත් සමානව රැකියා අවස්ථා සඳහා, සමානව උසස් වීම් සඳහා, සමානව වෘත්තිය දියුණුව සඳහා ඉඩ ලැබෙන යාන්ත්‍රණයක්. ඒ වගේම, ගෙවීම් සහ පහසුකම්, එතකොට වරප්‍රසාද පවා ගැහැණු පිරිමි භේදයක් නැතුව ලැබෙන්න ඕන. එතනදී ගැහැණු පිරිමි අයගේ වෙනස නිසා යම් යම් වැඩි දේවල් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, රෑ වැඩ කරනකොට කාන්තාවකට අටෙන් පස්සේ ට්‍රාන්ස්පෝට් ලැබෙනකොට, පිරිමියෙක්ට ට්‍රාන්ස්පෝට් ලැබෙන්නේ දහයෙන් පස්සේ වෙන්න පුළුවන්. ඒවාත් වෙනම කතා කරන්න ඕන කාරණා. හැබැයි ඔය කොයික වුණත්, කිසිම කෙනෙක්ට තමන් ගැහැණියක් නිසා වැඩි වරප්‍රසාදයක්, උසස්වීම් සඳහා වැඩි අවස්ථාවක් ලැබිය යුතු නෑ. ඒවා ලැබෙන්න ඕන තනිකරම සුදුසුකම් මත. හැබැයි ඒ සුදුසුකම් ලබාගන්න අවස්ථාවත් ගැහැණු පිරිමි භේදයක් නැතිව හැමෝටම තියෙන්න ඕන.

 

5. මගේ අදහස් ඔයාලා විවේචනය කරන්නෙ මං ගෑණු නිසා නේද?

දැන් ඔය විවිධාකාරයේ මතිමතාන්තර ගැටුම් මේ සමාජේ තියෙනවනේ. විශේෂයෙන්ම සයිබර් අවකාශය අපේ ජීවිත වලට සෑහෙන්න සමීප වෙලා නිසා, සයිබර් අවකාශය ඔස්සේත් ගොඩක් අදහස්, විවේචන, ප්‍රතිවිවේචන අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වලදී සමහර කාන්තාවෝ ඉන්නවා, එයාලා ගැහැණු නිසා මොන අදහස කිව්වත් අනික් අය ඒකට ඉඩ දෙන්න ඕන කියලා හිතන. ඒ කියන්නේ, තමන් කියන ඕනම පදනමක් නැති, තේරුමක් නැති, විවේචනයට බඳුන් කළ හැකි අදහසක්, වෙනත් අය -අපි කියමු පිරිමියෙක් කියලා- විවේචනය කළහම, අදින කාඩ් එක තමයි, එහෙම තමන්ගේ අදහස් විවේචනය කරන්නේ තමන් ගැහැණියක් නිසායි කියන එක. එහෙම එකක් නෑ. හැමෝටම අදහස් දක්වන්න, අදහස් විවේචනය කරන්න, ඒ විවේචනයන්ට ප්‍රතිවිවේචන එල්ල කරන්න ඉඩ තියෙන්න ඕන. එතකොට, හැමෝටම ඒ අදහස් විවේචන හැමදේකදීම ගැහැණු හෝ පිරිමි කියන එක අදාළ කරගන්නෙ නැතුව ඉන්න ඉඩක් තියෙන්න ඕන.

 

6. පිරිමි තමයි ධනවත්ම වෙලා ඉන්නේ

“දැන් බලන්න, මේ ලෝකේ වැඩියෙන්ම ධනවත් අය ගත්තොත්, ඒ ගොඩේ ඉන්න හැමෝම පිරිමි නෙවෙයිද, ගැහැණු කී දෙනෙක් ඔය ලැයිස්තුවේ ඉන්නවද? ඒකෙන්ම පේනවා, මේ ලෝකේ ධනය සහ සම්පත් අත්පත් කරගැනීමේ විෂමතාවයක් තියෙන බව”, මෙන්න මෙහෙම එක ෆෙමිනිස්ට් කෙනෙක් කියනවා ඇහුණා. ඇත්තටම මේ කතාව භාගයක් නිවැරදියි, භාගයක් වැරදියි. ඇත්තටම ලෝකේ ධනවත්ම මිනිස්සුන්ගේ ලැයිස්තුවක් ගත්තොත්, ඒකේ කාන්තාවන්ට වඩා සෑහෙන්න වැඩි පිරිමි තමයි. ඒක හරි. හැබැයි එතන ගැටළුව තියෙන්නේ ගැහැණු පිරිමි භේදය අනුව ධනය සහ සම්පත් බෙදීයෑම නෙවෙයි. ඊට වඩා සංකීර්ණ කතාවක් එතන තියෙනවා. ඒකේ එක කරුණක් තමයි ලෝකේ මිනිස්සු අතර පොදුවේ ධනය සහ සම්පත් බෙදී යෑමේ විෂමතාවය. දෙවෙනි කරුණ ඇත්තටම ස්ත්‍රීවාදයට සම්බන්ධයි. ඒ තමයි, යුග ගාණක් තිස්සේ කාන්තාවට වෘත්තිය ලෝකය ඇතුළේ තැනක් නොලැබීම සහ, ඒ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තත්, තාමත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ප්‍රමාණවත් කාලයක් ගතවෙලා නොතිබීම. ඇත්තටම සමසාධාරණ ලෝකයක නම්, ලෝකේ ධනවත්ම මිනිස්සු ගත්තත්, ඒ අතරේ කාන්තා පිරිමි දෙගොල්ලන්ගේම නියෝජනය සමසමව තියෙන්න ඕන තමයි. අපි ප්‍රාර්ථනා කරමු කවදහරි ඒක එහෙම වෙයි කියලා!

 

7. මම ලෙස්බියන්, ඒ නිසා මම ෆෙමිනිස්ට්!

මේක ඉතින් සමහර ෆෙමිනිස්ට් කියාගන්න, හැබැයි ෆෙමිනිස්ම් ගැන නොදන්න මෝඩ ගැහැණු කරන වැරැද්දක් විතරක් නෙවෙයි, ෆෙමිනිස්ම් ගැන මෙලෝ ලබුගෙඩියක් නොදන්න මෝඩ පිරිමිත් කරන වැරැද්දක්. ඒ තමයි, ස්ත්‍රීවාදිනියක් නම් අනිවාර්යයෙන්ම පිරිමි එක්ක සෙක්ස් කරන්න ආස නැති ගැහැණු එක්ක විතරක් සෙක්ස් කරන්න ආස ලෙස්බියන් කෙනෙක් කියලා හිතන එක. ඒ වගේම සමහරු, ලෙස්බියන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ස්ත්‍රීවාදිනියක් වෙන්න ඇති කියලත් හිතනවා. එහෙම එකක් නෑ. ස්ත්‍රීවාදය කියන්නේ දාර්ශනික මතවාද සමූහයක්. ලෙස්බියන් ද නැද්ද කියන්නේ කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවයක්. ඒ දෙක එකට සම්බන්ධ නෑ. සම්බන්ධ කරන්නත් බෑ. සමහර වෙලාවට, ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්ට, ප්‍රසිද්ධියේම තමන් සමරිසි ලිංගික නැඹුරුතාවයක් තියෙන කෙනෙක් කියලා සමාජය ඉදිරියේ පිළිගන්න ශක්තිය තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ලිංගික නැඹුරුතාවය සහ දරණ මතවාදය එකිනෙකට අදාළ වෙන්නෙ නෑ.

 

මෙතනදී අපි සරලවම තව එක කාරණාවක් කියන්න ඕන. ස්ත්‍රීවාදය කියන්නේ එකක්, හැබැයි පුරුෂ ද්වේෂය කියන්නේ තව දෙයක්. උඩ කියපු මැටි කතන්දර ගොඩක් එව්වා එන්නේ සමහරුන්ට තියෙන පුරුෂ ද්වේෂයත් එක්ක. හැබැයි ඉතින් මෙහෙමයි. කෙනෙක්ට පිරිමි ගැන ද්වේෂයක් වුණත් නිකම්ම ඇතිවෙන්න නැහැනේ. ඒකට කවුරුහරි පිරිමියෙක්ගේ හරි ගෑණියෙක්ගේ හරි ක්‍රියාකලාපයම හේතුවෙන්නත් පුළුවන්. එහෙම නැතිනම්, පොඩි කාලේ ඉඳලම ඔළුවට වැටුණු වැරදි අදහස් හේතු වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා, අපි ඒ අය ගැනත් අනුකම්පා කරන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *