මෑතකදී ඇමරිකාවේ ඇති වූ ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ නම් වූ විරෝධතා නිසා ඇතැම් පිළිම වලට තර්ජන ඇති වුණා. ආදි කාලයේ අප්‍රිකාවෙන් රැගෙන ආ වහළුන්ගෙන් ඇමරිකානු කළු ජාතිකයින් පැවත එන බව ප්‍රසිද්ධ මතයක්. ඉතින් ඒ නිසා මේ කළු උද්ඝෝෂණ ව්‍යාප්තිය එක්ක එවකට වහල් වෙළඳාම ජයටම කරගෙන ගිය පැරණි ව්‍යාපාරිකයින්ගේ ප්‍රතිමා වලටත් නරක කලදවසක් උදා වුණා. ලන්ඩන් වල එහෙම වහල් වෙළෙන්දෙකුගේ පිළිමයක් රජය විසින්ම එම ස්ථානයෙන් අයින් කරලා තිබුණා. ඉතින් මේ විදිහට විවිධ සුළු සුළු කතිකාවත් නිර්මාණය වුණු පිළිම ගැන අපි අද ටිකක් කතාකරමු.
1. බාමියන් බුදු රූ
2001 වර්ෂයේදී බාමියන් බුදු පිළිම තලේබාන්වරුන් විසින් බිමට සමතලා කරනු ලැබුවා. ඒ බුදුපිළිම වලට මුළු ලෝකයේම අවධානය යොමු වුණා. අද වනවිට ඇෆ්ඝනිස්ථානය මුස්ලිම් රටක්. ඒත් මේ පිළිම ඉදිකළ මීට වසර 1500කට එපිට කාලයේදී නැගෙනහිර සහ බටහිර ආසියාව යා කළ එකම ආගම බෞද්ධාගම වුණා. ගාන්ධාර ආභාෂය ගත් මේ බාමියන් ප්‍රතිමා පිහිටි ගලේම නිම වුණා. එකක් මීටර 55කුත් අනෙක මීටර 38කුත් වන මේ බාමියන් ප්‍රතිමා ඉස්ලාම් ආගමිකයින් විසින් මෙයට පෙරද විවිධ අවස්ථාවල කඩා බිඳ දැමීමට උත්සාහ කර තිබුණා. ඒත් අතින් පයින් කඩාදැමීමට අපහසු මේ සුවිශාල පිළිම 2001 දී තලේබාන්වරුන්ගේ ඛේදජනක පිපිරීම් වලට ලක් වී සුනු විසුණු වී ගියා.
2. කොලොම්බස් ප්‍රතිමා
1492 දී ඇමරිකාව කොලොම්බස් සොයාගත් බවට ප්‍රකට මතයක් තියෙනවා. එත් කොලොම්බස් කියන්නේ හොඳ කැරැට්ටුවක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ ස්වදේශිකයින්ගේ දිනයත්, කොලොම්බස් දිනයම වෙනවා. ඇත්ත කොලොම්බස් ස්වදේශිකයින්ට විවිධ රටවලදී හිරිහැර කළ කෲරතර යාත්‍රිකයෙක් වුණා. ඒ නිසාම කොලොම්බස් ගේ බොස්ටන්, මැසචුසෙට්, රිච්මන්ඩ් වර්ජිනියා වගේ ප්‍රාන්ත වල තියෙන ප්‍රතිමා වලට විටින් විට කරදර වලට මුහුණ දෙන්නට සිදු වුණා. මෑන්හැටන් වල තියෙන කොලොම්බස්ගේ ප්‍රතිමාවේ දෑත් වල රතු පැහැය ආලේප කරන්නත් විරෝධතාකරුවන් වරක් උත්සාහ කරලා තිබුණා. ඒ වගේම බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඇතැම් කොලොම්බස් ප්‍රතිමා බිමට සමතලා කරන්නත් උත්සාහ කරලා තිබුණා.
3. ජෝසප් ස්ටාලින්
ස්ටාලින්ගේ කාලයේ ලෙනින්ගේ ප්‍රතිරූපයට හානි කිරීම සූක්ෂමව සිදු වුණා. ඒ වගේම සමාජවාදී ක්‍රමය ගෙනගිය ස්ටාලින්ට පසුකාලීනව අත්වූයේ හොඳ නමක් නෙමෙයි. සෝවියට් රටවල තිබූ මේ ස්ටාලින් ප්‍රතිමා අද වනවිට මහජනතාවගේ ගරුත්වයෙන් ඈත් වූ සාමාන්‍ය ස්මාරක වෙලා තියෙනවා. ඒවා කරා ඇදෙන තරුණ තරුණියෝ ස්ටාලින්ගේ කර මත අත තබා සෙල්ෆි ලබාගන්නටද කටයුතු කරනවා.
4. සෙනගාලයේ අප්‍රිකානු ස්මාරකය
සමාජවාදී ඒකාධිපති රටවල විශාල ස්මාරක තැනීමේ ලොකු උණක් ඒ ඒකාධිපතියන්ට තියෙනවා. දැනට ලෝකේ එවැනි සමාජවාදී නාමයෙන් ඒකාධිපති පාලනයක් තියෙන උතුරු කොරියාවේද ඒ ආකාරයෙන් ඔවුන්ගේ කලින් සිටි නායකයින්ගේ සුවිශාල ප්‍රතිමා නිමවා තියෙනවා. සෙනගාලයේ දකාර් වල ලෝකඩයෙන් නිම වූ සුවිශාල ස්මාරකයක් තියෙනවා. 2010 වර්ෂයේ නිම වූ ඒ පිළිමය මගින් අප්‍රිකානු නිදහස නිරූපණය වෙනවා. අධික මිලක් වැයකොට නිමවුණු ඒ ප්‍රතිමාව සෙනගාලයේ ජනතාව ඉතාම අඩු ජීවන මට්ටමක සිටියදී ඒ ගැන නොතකා ලෝකෙට පරකාසේ පෙන්වීමට නිමවූවක් ලෙස විචාරකයින් විසින් හඳුන්වනු ලබනවා.
5. සිසිල් රෝඩ්ස් ගේ ප්‍රතිමා
වර්ණභේදවාදයට ප්‍රායෝගික විසඳුමක් දුන් මැන්ඩෙලාගේ ප්‍රතිමාවක් ලංකාවේද ඉදිකරන්නට පසුගිය දින වල කතා වුණා. මේ කියන්නේ එහි අනෙක් පස සිදුවීමක්. සිසිල් රෝඩ්ස් කියන්නේ දකුණු අප්‍රිකාවේ 19 වන සියවසේ සිටි ඉසුරුමත් දේශපාලකයෙක්. ඔහු ගේ ප්‍රතිමා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ගලවා ඉවත් කෙරුණේ ඔහුගේ සුදු වර්ගවාදී අදහස් වලට විරෝධතාවයක් වශයෙන්. ඉතින් ඉන් පසුව කේප් ටවුන් සරසවියේත් එළියේ තිබුණ සිසිල් රෝඩ්ස්ගේ ප්‍රතිමා ගලවා ඉවත් කෙරුණා. ඉතාම මෑතකදී ලන්ඩනයේදී ද වහල් මෙහෙයට සහාය දැක්වූ ව්‍යාපාරිකයකුගේ ප්‍රතිමාවක් ගලවා ඉවත් කෙරුණා.
6. සෑම් නුජෝමා
සෑම් නුජෝමා කියන්නේ අප්‍රිකාවේ නැම්බියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙක්. නැම්බියාවේ නිදහස් සටනට උරදුන් සෑම් ගේ ප්‍රතිමාව එරට ඉදිවීම ලොකු අවුලක් නෙමෙයි. ඒත් මේ ප්‍රතිමාව නිර්මාණය වෙලා තියෙන්නේ උතුරු කොරියානු දායකත්වයෙන්. උතුරු කොරියාවට සම්බාධක තියෙද්දිත් ඔවුන් අප්‍රිකාවේ විවිධ නගර වල සුවිශාල ස්මාරක ඉදිකරන්නට දායක වුණා. ඒ මගින් විශාල මුදලක්ද උතුරු කොරියාව උපයා ගත් බව සඳහන්. ඒ සඳහා ජීවමාන උදාහරණයක් ලෙස මේ සෑම් නුජෝමාගේ වින්ඩ්හොක් හි ප්‍රතිමාව දැක්වෙනවා.
7. සර්දාර් පටේල් පිළිමය – ඉන්දියාව
ලෝකයේ උසම පුද්ගල පිළිමය තවදුරටත් බුදු පිළිමයක් හෝ වෙනත් ආගමික පිළිමයක් නෙමෙයි. දැනට ඇති උසම ප්‍රතිමාව අඩි 597ක් උස ඉන්දියාවේ සර්දාර් පටේල් ප්‍රතිමාව හෙවත් නිදහසේ ප්‍රතිමාව වෙනවා. සර්දාර් පටේල් ඉන්දියාවේ නිදහස උදෙසා සැබැවින්ම කැප වූ දක්ෂ නායෙකයෙක් වුණා. ඒත් මේ සර්දාර්ගේ පිළිමය හදන්න ගිය වියදම ගැන නම් ඇතැම් ඉන්දියානු මාධ්‍ය එතරම් හොඳ කියලා තිබුණේ නැහැ. මාස 33ක් තිස්සේ ඉදිවෙලා, 2018 වර්ෂයේදී මේ නිදහසේ ප්‍රතිමාව විවෘත කෙරුණා. මේ සඳහා ගිය වියදම ඩොලර් මිලියන 460කට වැඩි වන අතර මේ පිළිමය නරේන්ද්‍ර මෝඩි රජයේ සුවිශාල කාර්යයක් වුණා.
පිළිම, ස්මාරක කියන්නේ නගරයක තිබෙන ආකර්ෂණීය සළකුණු වෙනවා. ලංකාවේ වුණත් ඊ. ඒ. ගුණසිංහ මහත්මයාගේ පිටකොටුවේ පිළිමය, නෙළුම් කුළුණ වගේ නිර්මාණ මිනිසුන් එදිනෙදා දකින වැදගත් නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. ඉතින් විවිධ හේතු නිසා පිළිම ගලවා දැමීමට හෝ ඉවත් කිරීමට උත්සාහ කිරීම ඇතැමුන් එතරම් කැමති නැහැ. කලකදී යම් අපකීර්තිමත් සිද්ධියක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් නිර්මාණය කළ ස්මාරක තියෙනවා. ඒවා ඉවත්කිරීමෙන් ඒ හා සබැඳි ඉතිහාසය වෙනස් කරන්නට බලපෑම් කරනවා කියලත් පිරිසක් චෝදනා කරනවා.
Leave a Reply