අපෙන් සමුගෙන ගිය නර්තන ලොවේ රජවරු

නර්තනය කියන්නෙ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ අපේ සංස්කෘතිය හා බැඳිච්ච දෙයක්. පාරම්පරික නර්තන ශිල්පීන් රාශියක් එම ශිල්පය ආරක්ෂා කර ගනිමින් මතු පරම්පරාවලට මේ උතුම් දායාදය ලබා දීමට කටයුතු කළා. මෑත කාලයේදී ලංකාවේ නර්තන සම්ප්‍රදාය ජාත්‍යන්තරයට ගෙනියන්න දායක වෙච්ච නර්තන ශිල්පීන් කීප දෙනෙක් ගැන කතා කරන්න අපි අද හිතුවා. මේ සියලු දෙනාම අද වෙනකොට ජීවිතයෙන් සමු අරන් ගිහින් තියෙන අය.

 

1. පණීභාරත 

දළදා මාලිගාවේ නින්දගමක් වූ අල්ගම ගමේ පැරණි නර්තන ගුරු කුලයකින් පැවත එන පවුලක දෙවැනි දරුවා විදිහට ඉපදුණු පණීභාරත මහත්මයාට දෙමව්පියන් විසින් ලබාදුන් නම වුණේ පාණිස්. මේ කාලෙදි එතුමාට කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මහතා මුණ ගැහෙනවා. එතුමාගේ ආධාර උපකාර යටතේ ශාන්ති නිකේතනයට ගොස් ඉන්දීය නර්තන සම්ප්‍රදායන් හදාරන පාණිස් නැවත ලංකාවට එන්නේ පණීභාරත බවට පත්වෙලා. එතැන් පටන් නර්තනය පිළිබඳව ලංකාවේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට එතුමා තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කළා. මේ නිසාම එතුමා ජන්ම ලාභය ලැබූ පෙබරවාරි 24 දින රජය මගින් ලංකාවේ ජාතික නර්තන දිනය ලෙස නම් කරනු ලැබ තිබෙනවා.

 

2. චිත්‍රසේන 

චිත්‍රසේන මහතාගේ මුල් නම මොරිස් ඩයස්. ලංකාවේ දේශීය නර්තන සම්ප්‍රදාය සහ බටහිර බැලේ නාට්‍ය සම්ප්‍රදාය එකට මුසු කරන්න චිත්‍රසේන මහත්මයා සමත් වුණා. එතුමා සහ එතුමාගේ බිරිය වුණු වජිරා චිත්‍රසේන මහත්මිය එකතුවෙලා කරපු විශිෂ්ටතම මුද්‍රානාට්‍ය විදිහට නල දමයන්ති සහ කරදිය මුද්රා නාට්‍ය සැලකෙනවා. ඔවුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු කොල්ලුපිටිය කලායතනය මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවන් මුණගැසෙන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණා. වෙනත් රටවල මෙවැනි කලායතන රජයේ  මැදිහත්වීමෙන් ආරක්ෂා වෙද්දි චිත්‍රසේන කලායතනය අභිරහස් ගින්නකින් විනාශයට පත් වුණා. චිත්‍රසේන මහත්මයා අපෙන් සමුගෙන ගියත් එතුමාගේ බිරිඳ වුණු වුණු වජිරා චිත්‍රසේ​න මහත්මිය සහ දරුවන් තවමත් චිත්‍රසේන මහතාගේ උරුමය ඉදිරියට ගෙනියනවා.

 

3. වසන්ත කුමාර 

වෑවගේ ඇල්ෆ්‍රඩ්ගේ ඩෙෆ් නාමයෙන් කොළඹ ඉහළ පෙළේ පවුලක උපත ලබපු වසන්ත කුමාරගේ හිත කුඩා කාලයේ ඉඳන් ඇදිලා ගියේ නර්තනය දිහාවට. මේ නිසාම ඔහු ලංකාවේ නර්තන සම්ප්‍රදාය හදාරලා නතර වෙන්නේ ශාන්ති නිකේතනයෙන්. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කරපු මනෝහාරී ඔපෙරාව වේදිකාව මත ජීවමාන කරන්නේ වසන්ත කුමාර විසින්. එතැන් පටන් ඔපෙරා ගණනාවකට ඔහු තමන්ගේ දායකත්වය ලබා දුන්නා. පෙර අපර දෙදිග නර්තන වින්‍යාසයන් සමඟ අපේ නර්තනය මුසු කරමින් ඔහු හිරෝෂිමා, කුඹුරු පනත වැනි නව අත්දැකීම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න කටයුතු කළා.

 

4. ශ්‍රී ජයනා

ශ්‍රී ජයනා මහත්මයාත් පණීභාරත වගේම ශ්‍රී දළදා මාලිගාවේ පාරම්පරික නිලතල දරපු පරම්පරාවකින් පැවත ගෙන එන කෙනෙක්. එතුමාගේ පියාට ඕනේ කරලා තිබිලා තියෙන්නේ ජයනාව ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට පත් කරන්න. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තත් ජයනා අවසානයේදී නැවතුනේ දක්ෂ නැට්ටුවෙක් වෙලා. ජෝර්ජ් කීට්, හැරල්ඩ් පීරිස්, ලයනල් වෙන්ට්ඩ් වගේ කලාකාමී දානපතියන් කිහිප දෙනෙක්ගේ ආධාරයෙන් බොම්බායේ නර්තන කණ්ඩායමකට බැඳෙන ජයනා, ජවහර්ලාල් නේරු පඬිතුමා ඉදිරියේ එතුමාගේ “Discovery of India” කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු මුද්‍රා නාට්‍යයක​ට නර්තනයෙන් එක් වුණා. මුද්‍රා නාට්‍ය නරඹා අවසානයේ දී නේරු තුමා ජයනාව ‘ශ්‍රී ජයනා’ ලෙස අභිෂේක කරවනු ලැබුවා. වසර කීපයක් ඉන්දියාවේ සිසුන් ට නර්තනය පිළිබඳව ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ජයනා නැවතත් ලංකාවට පැමිණ සිය මරණ මංචකය දක්වා ලංකාවේ නැටුම් කලාව දියුණු කිරීමට කටයුතු කළා.

 

5. නිත්තවෙල ගුණයා 

මුද්දර එකතු කරන අයට එක් දහස් නවසිය පනස් ගණන්වල නිකුත් වුනු මුද්දර කිහිපයක උඩරට නැට්ටුවෙක්ගේ විවිධ ඉරියව් නිරූපණය වන ආකාරය මතක ඇති. මේ නැට්ටුවා තමයි නිත්තවල ගුණයා. මෙතුමාත් නර්තනයට උපන් හපන්කම් දක්වන දළදා පෙරහරේ නර්තනයේ යෙදෙන නිත්තවෙල පරම්පරාවෙන් පැවත ගෙන එන අයෙක්. විශේෂත්වය වෙන්නේ වෙනත්  ශිල්පීන් වගේ විදේශ රටක අධ්‍යාපනය එතුමා කිසි දවසක ලබල නැති එක. සියයට සියයක් දේශීය නර්තන සම්ප්‍රදාය අරගෙන විවිධ රටවල සංචාරය කරපු නිත්තවෙල ගුණයා ලංකාවට ගෙනාපු කීර්තිය අතිමහත්. නමුත් ලංකාවෙ නම් එතුමාට ලැබිය යුතු ගෞරවය ලැබුණාද කියන එක ප්‍රශ්නයක් .තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේ දී එතුමාට ගත කරන්න වෙලා තියෙන්නේ ගොවියෙක් විදිහට. ඒ වගේම ඛේදවාචකය වෙන්නේ එතුමා මිය යන්නේ කුප්පි ලාම්පුවක් ඇඟට පෙරලිලා ඇතිවුණු තුවාල නිසා වීම.

 

6. සයිමන් මාලගම්මන 

අන්තර්ජාලය තුළ සහ ෆේස් බුක් තුළ වැරදි මතයක් සංසරණය වෙමින් පවතිනවා, රුපියල් 50 නෝට්ටුවේ ඉන්නෙ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ කියලා. නමුත් ඒ මතය වැරදියි. මේ රූපයේ ඉන්නෙ සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේ. ලංකාවෙ වෙස් නැට්ටුවන් අතරින් අති විශිෂ්ටතමයා විදිහට සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේව සලකනවා. දෙදහ වසරේ නිකුත් වුණු මුද්දර කීපයකත් සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේව නිරූපණය වුණා.

 

7. පියසාර ශිල්පාධිපති 

චිත්‍රසේ​න මහත්මයාගේ ශිෂ්‍යයෙක් විදිහට කරළියට එන පියසාර ශිල්පාධිපති නර්තන ශිල්පියෙකුට වඩා වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ විශිෂ්ට බෙර වාදන ශිල්පියෙක් විදියට. ලංකාවේ බෙර වාදන ශිල්පය ප්‍රසංග කලාවක් විදිහට සංවර්ධනය කිරීමේ ගෞරවය පියසාර ශිල්පාධිපති මහත්මයාට හිමි වෙනවා. ඒ වගේම ලංකාවේ බෙරවලට ගැවුල නමින් අලුත්ම විදිහේ බෙරයක් නිර්මාණය කොට දායාද කිරීමේ ගෞරවයත් පියසාර ශිල්පාධිපති මහත්මයාට ලැබෙනවා. විශ්වවිද්‍යාල කිහිපයකම ජේෂ්ඨ නර්තන උපදේශකයෙකු විදිහට කටයුතු කරපු පියසාර ශිල්පාධිපති මහත්මයා​ට ජීවිතයේ අවසාන කාලය තුළදී නර්තනයෙන්  සමුගන්න සිදුවුණේ ශාරීරික ආබාධයක් නිසා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *