මීට මාසයකට විතර කලින් මුළු ලංකාවම කම්පනයට පත් කළ ආරංචියක් ලැබුණා. ඒ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවන්ගේ අපවත් වීම. නිකාය භේදයකින් තොරව ලංකාවේ සියළුම භික්ෂූන් වහන්සේලාගේ ගෞරවාදරයට උන්වහන්සේ පාත්රව හිටියා. ඒ වගේම කැළණිය කේන්ද්‍ර කරගෙන වැඩ වාසය කළත් මුළු රටේම මිනිස්සු ආගමික භේදයකින් තොරව උන්වහන්සේට ගෞරව කළා. ලංකාවේ ප්‍රධානතම ඓතිහාසික විද්‍යායතනයක ප්‍රධානියා වුණත් කිසිසේත්ම උන් වහන්සේ උඩඟු වුණේ නැහැ. සැබැවින්ම උන්වහන්සේ පොඩි දරුවෙක් වගේ නිහතමානී ගුණයෙන් යුක්ත වුණා. අපි අද ඔබට කියන්න යන්නේ උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ කතා කීපයක්.
1. පැවිදි වීමට හිතේ තිබුණු කැමැත්ත
ගිහි කල නාරම්මල වැලමිටියාව ප්‍රදේශය වාසය කළ උන්වහන්සේ කුඩා කාලයේ ඉඳන්ම පැවිදිවීම සඳහා ආශාවක් දක්වලා තියනවා. දවසක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ කුඩා දරුවා මිදුලේ ඉන්නවා දැකලා පන්සලට එන්න කියලා කියලා තියනවා. එදා පන්සලට ගියාම දරුවාට කන්න දීලා ගෙදරට ඇරලවන්න කියලා පන්සලේ මුරට හිටපු කෙනාට කියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේ පළවෙනි වතාවට පන්සලේ කෑම කාලා තියෙන්නේ. ඒ වගේම ලොකු හාමුදුරුවෝ ලබන සතියෙත් පන්සලට එන්න කියලා මේ දරුවාට කියලා තියෙනවා.
2. යක්කඩුවේ හාමුදුරුවන්ගේ ඉල්ලීම
යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ දවසක් විද්‍යාලංකාර පිරිවෙනේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය කොස් ගස් වගයක් හොයන්න මේ පන්සලට ඇවිල්ලා තියෙනවා. පන්සලේදී මේ දරුවාව දැකල ලොකු හාමුදුරුවන්ගෙන් මේ දරුවව මහණ කරන්න ඉල්ලලා තියනවා. ලොකු හාමුදුරුවෝ තමන් වහන්සේගේ ගෝලයෙක් විදිහටම දරුවා පැවිදි කරන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වත්, යක්කඩුවේ හාමුදුරුවෝ දිගින් දිගටම මේ දරුවා විද්‍යාලංකාරයේ පැවිදි කරන්න කියලා ඉල්ලීම් කරනවා. අවසානයේදී ලොකු හාමුදුරුවෝ සහ කුසලධම්ම හාමුදුරුවන්ගේ ගෙදර අය එයට එකඟ වෙනවා. ඔන්න ඔය විදියට තමයි වැලිමිටියාවේ උපත ලබපු කුසලධම්ම හාමුදුරුවෝ විද්‍යාලංකාරයට එන්න මග පෑදෙන්නේ.
3. උඹට දැන් සනීපද?
විද්‍යාලංකාරයට ආපු මේ දරුවා තම සමකාලීන හාමුදුරුවොත් එක්ක ඉක්මනින්ම මිත්‍ර වුණා. ඉතින් ඔහු දවසක් තරුණ හාමුදුරුවරු එක්ක පිංකමක මල්වෙඩි සංදර්ශනයක් බලන්න රාත්‍රියේ ගිහිල්ලා තියනවා. එදා රෑ වෙලා ආපු හින්දා යක්කඩුවේ හාමුදුරුවන්ට බයේ ධාතුමන්දිරයේ තමයි ඉඳලා තියෙන්නෙ. පස්සේ ඒ ගැන විමසපු යක්කඩුවේ හාමුදුරුවෝ “එහෙනම් උඹ ධාතුමන්දිරයේ හිටපන්” කියලා. පස්සේ මේ හිත රිදිච්ච මේ දරුවා ආපහු ගෙදර යන්න තීරණය කරලා තියෙනවා. හේතුව විදිහට යක්කඩුවේ හාමුදුරුවන්ට කියලා තියෙන්නේ තමන්ට සනීප නෑ කියලායි. යක්කඩුවේ හාමුදුරුවෝ මුකුත් කියන්නේ නැතුව බස් එකට ටිකට් ගන්නත් රුපියල් හයක් වගේ දීලා තියනවා. මාසෙකින් පස්සේ යක්කඩුවේ හාමුදුරුවෝ මේ දරුවා බලන්න ආපහු ගමට ඇවිල්ලා, මේ දරුවව හම්බවෙලා “උඹට දැන් සනීපද?” කියල අහල තියනවා. ආපහු පිරිවෙනට එන්නත් කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ආපහු මේ දරුවා පිරිවෙනට එන්නේ. ඒ ගමන නම් නැවත ආපහු ගමට එන්නේ නැහැ. වැලිමිටියාවේ කුසලධම්ම නමින් පැවිදි වෙනවා.
4. රේරුකානේ හිමියන්ගෙන් ලද සහතිකය
රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ අපේ රටේ වැඩ හිටපු විශිෂ්ට ගණයේ උගතෙක්. උන්වහන්සේ කාලයක් විද්‍යාලංකාරයේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියා. උන්වහන්සේගේ චරිතාපදානය ලියපු ඉත්තෑපාන ධම්මාලංකාර හාමුදුරුවෝ දවසක් රේරුකානේ හාමුදුරුවන්ගෙන් “ඔබවහන්සේගේ පන්තියේ හිටපු හොඳම ශිෂ්‍යයා කවුද?” කියලා විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් රේරුකානේ හාමුදුරුවෝ “අර යක්කඩුවේ හාමුදුරුවන්ගේ ගෝලයා කුසල තමයි හොඳම ශිෂ්‍යයා” කියලා සඳහන් කරනවා. රේරුකානේ හාමුදුරුවෝ වැනි විශිෂ්ට ගණයේ ධර්මධර භික්ෂූන් වහන්සේ නමකගෙන් ලැබුණු ඒ සහතිකය කුසලධම්ම හාමුදුරුවන්ට ලැබුණු හොඳම සහතිකය විදිහට හඳුන්වන්න පුළුවන්.
5. පරිවේණාධිපති ධුරය එපා කීම
යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විද්‍යාලංකාර පිරිවෙනෙහි පාලනය සඳහා උපකාරී වන විද්‍යාලංකාර සභාව ඇතුළු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ ඊළඟ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් පත් විය යුතු බවටයි. ඒ වන විට අනුප්‍රාප්තිකයා වශයෙන් සිටි නාත්තන්ඩිය ප්රඥාකර හිමියන් ගිලන් තත්ත්වයේ වැඩ විසීම මෙයට හේතුවක් වුණා. කෙසේ නමුත් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පරිවේණාධිපති ධුරය සඳහා නාත්තන්ඩිය හිමියන් පත් කළ යුතු බවට දැඩිව පවසා සිටියා. එහි ප්‍රතිඵලය වූයේ නාත්තන්ඩියේ හිමියන්ව පරිවේණාධිපති ධූරයට පත් කිරීම සහ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිපාලන කටයුතු කුසලධම්ම හිමියන් වෙත පැවරීමයි.
6. තම වගකීම් නිසි ලෙස ඊළඟ පරපුර වෙත භාරදුන් කුසලධම්ම හිමියෝ
2017 වසරේ දී විද්‍යාලංකාර පිරිවෙනින් වැඩබලන අධ්‍යක්ෂක ධුරය තමන් වහන්සේගේ ශිෂ්‍ය වැලිමිටියාවේ ඥානරතන හිමියන් වෙත පවරාදීමට කුසලධම්ම හිමියන් තීරණය කළා. ඒ අධ්‍යක්ෂක තනතුර පුරප්පාඩු වන අවස්ථාවේදීම එම තනතුර සඳහා වැලිමිටියාවේ ඥානරතන හිමියන් පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්. කිසිදින තනතුරු කෙරෙහි ලොබ නොබැඳි කුසලධම්ම හිමියෝ තමන් වහන්සේගෙන් පසුව විද්‍යාලංකාර පිරිවෙනෙහි ඉදිරි ගමන මෙලෙස චිරස්ථායී කිරීමට කටයුතු කළා.
7. උන්වහන්සේට සිදු වූ මාරක අනතුර
1991 වසරේ දී ලංකාවේ සාමණේර ආයතනය පිහිටුවීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ මාපලගම සෝමිස්සර හිමියන් සමඟ වැලිමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ අනුරාධපුරයට වැඩම කළා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ගමන් කළ රථයේ රියදුරාගේ අති ධාවනකාරී ස්වභාවය නිසා එම රථය අනතුරකට ලක් වුණා. එහිදී කුසලධම්ම හිමියන් හැර රථයේ ගමන් කළ සියළු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා. කෙසේ නමුත් එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ක්ෂණික මැදිහත්වීම මත උන් වහන්සේව කොළඹට වැඩම කරවා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකළා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply