කෙටි කාලයකින් සබඳතා බිඳී යන කලා ලෝකයේ ආදර්ශවත් පවුල් කීපයක්

ලංකාවේ බොහෝ කලාකරුවන්ගේ, විශේෂයෙන්ම අලුත් පරපුරේ විවාහ ජීවිත අර්බුදයට ලක්වෙලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. ගොඩක් වෙලාවට අද විවාහ වන යුවලක් සති කීපයක් යන්නත් කලින් දික්කසාද වෙලා, තවත් විවාහයක් කරගෙන. මේ විදිහේ සිදුවීම්, අපි දිගින් දිගටම දැක්කා. සමහර අවස්ථාවලදී දික්කසාද වුණු නළුනිළියන් එකිනෙකාට ප්‍රසිද්ධ වේදිකාවල සහ සමාජ මාධ්‍ය වල බැණ අඬගසා ගන්නා විදිහ පිළිකුල් සහගත බවත් නොකියාම බෑ. ඒ නිසා අපි හිතුවා කලා ලෝකය තුළ ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරපු කලාවට සම්බන්ධ යුවලවල් කීපයක් ගැන කතා කරන්න.

 

1. රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ

Image Source – sarasaviya.lk

රෝයි ද සිල්වා අපේ රටේ හිටිය ඉතා කඩවසම් නළුවෙක්. සුජාගේ රහස චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රියත්වයට පත්වුණු රෝයිගේ තනිකඩ ජීවිතයට පෙරළියක් ගෙනාවෙ හතර පෙරළිය චිත්‍රපටිය. ඒ එවකට නවක නිළියක් වුණු සුමනා අමරසිංහ මුණ ගැසීමෙන්.  සිනමාවේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක් බවට පත්වුණු ඔවුන් දෙදෙනා කොතරම් හොඳට පෙම් ජවනිකා රඟපෑව ද කිව්වොත් අවසානයේ දෙදෙනා විවාහ ජීවිතයටත් එළඹුනා. දෙදෙනා ආගම් දෙකක වීම සහ වයස් පරතරය වැනි ගැටලු ඔවුන්ට බාධාවක් වුණේ නැහැ. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් දරුවන් නොලැබුණත් ඔවුන් ඒ පිළිබඳව කණගාටුවට පත් වුණේ නැහැ. සිංහල සිනමාව කාම රැල්ලට අහුවෙලා මියදෙන්න ඔන්න මෙන්න තිබියදී රෝයි සුමනා යුවල “රෑ ඩැනියල් දවල් මිගෙල්” චිත්‍රපටය හරහා හාස්‍යෝත්පාදක චිත්‍රපට රැල්ලක් ඇති කරලා සිනමාහල්වලට නැවතත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. වතාවක් ඉන්දියාවේදී සුමනා අමරසිංහ දැඩි ලෙස රෝගාතුර වුණාම රෝයි ද සිල්වා තමන්ගේ සියලුම කටයුතු පසෙක ලා ඇය වෙනුවෙන් කළයුතු සියලු ඇප උපස්ථාන නොපිරිහෙළා ඉටු කළා. පසුගිය වසරේ සිය සිනමා ජීවිතයේ පනස් වෙනි සංවත්සරය සැමරීමට සියලුම කටයුතු සූදානම්ව තිබියදී හදිසියේම රෝයි ද සිල්වා ජීවිත රඟ මඩලට සමුදුන්නේ සුමනා අමරසිංහ තනිකරමින්. ඇය තවමත් ඔහුගේ මතකයන් ස්මරණය කරමින් දුක් වෙනවා.

 

2. දයාරත්න රණතුංග සහ අමරා රණතුංග

Image Source – flickr.com

“සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් සිටින” මෙහෙම ගායනා කරන්නේ ආචාර්ය දයාරත්න රණතුංග මහතා. ඒ වගේම ඔහුගේ බිරිඳ වුණු අමරා රණතුංග මහත්මිය ගායනා කරන “ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපුලී කවුදෝ” වගේම “සුලෝචනා” ගීත අහන බොහෝ දෙනාට හිතෙන්නේ මේ දෙන්නගේ පවුල් ජීවිතයේ තිබ්බ ආරවුල් වෙන්නැති මේ ගීතවලින් කියවෙන්නේ කියලා. නමුත් ඔවුන් දෙදෙනාම ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව ආරම්භ වන්නේ 1952 වර්ෂ‍යේදී සෞන්දර්ය විද්‍යාලයෙන්. එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට දෙදෙනා අයත් වුණා. ඔවුන්ගේ විවාහය නිසා බොහෝ ළගන්නාසුලු ගී නිර්මාණ සිංහල ගීතාවලියට එකතු වුණා. පුතුන් දෙදෙනෙකුගේ දෙමාපියන් බවට පත්වුණු ඔවුන් දෙදෙනා ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය යුවළක් බවට පත්වුණා. 2018 වසරේ දී අමරා රණතුංග මහත්මිය තම නාමය නොමැරෙණ ලෙස සංගීතය ලෝකය තුළ තබමින් නික්ම ගියා.  ඇයගේ අවමඟුලේදී දරාගත නොහැකි ශෝකයකින් යුතුව දයාරත්න රණතුංග මහතා හැසිරුණු ආකාරය දුටු සෑම දෙනාගේම නෙතට කඳුලක් එක් වුණා.

 

3. ලෙස්ලි ගුණතිලක සහ ඇන්ජලින් ගුණතිලක

Image Source – youtube.com

ඒ කාලේ ඇන්ජලින් ලැනරෝල් කියන්නේ නැගීගෙන එන ගායිකාවක්. මේ ගායිකාවගේ නිවසට එක්තරා තරුණයෙක් එනවා. මේ තරුණයාට සංග්‍රහ කරන්න බොහෝ වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඇන්ජලීන්. දවසක් මේ තරුණයා ඇන්ජලින්ගේ කොණ්ඩෙන් අදිනවා.  “මළ කෝලම්” කියලා ගස්සගෙන ඇන්ජලින් ගේ ඇතුළට යනවා. අන්තිමට මේ මළ කෝලං නතර වෙන්නේ නැදෑ ගෙදරකට ගිය ඇන්ජලින් විශේෂ අවසරයකින් අර තරුණයා විවාහ කරගැනීමෙන්. මේ විවාහය ගැන ආරංචි වුණු ඇන්ජලීන්ගේ පවුලේ අය ඇයට නිවසින් යන්න කියනවා. නමුත් ඇන්ජලින් කියපු විදිහට ඇය නිවසින් බැහැර වුණු දවසේ ඉඳන් කිසිදු දුකක් නොදැනෙන්න රැක බලාගන්න, ඒ ලෙස්ලි ගුණතිලක නම් වුණු තරුණයා වග බලා ගන්නවා.  නමුත් පසුගිය දවසක ඇන්ජලින් තමන්ගෙ පනස්වෙනි විවාහ සංවත්සරය දවසෙම ලෙස්ලිට සමුදීලා දෙවියන් වහන්සේ කරා යනවා.

 

4. ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන

Image Source – films.lk

ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන දැන් අපි හඳුනන්නේ ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ දෙමාපියන් විදිහට. නමුත් ඔවුන් දෙදෙනාම කාලයක් අපේ සිනමාවේ ජනප්‍රිය නළුනිළි යුවලක් වෙලා හිටියා. ස්ටැන්ලි පෙරේරා “කැළෑ හඳ’ චිත්‍රපටයේ “ජෝන් ජයපාලගේ” චරිතයෙනුත් ගර්ලි ගුණවර්ධන “සරදියෙල්” චිත්‍රපටියේ “තංගම්මාගේ” චරිතයෙනුත් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්තා. ඒ වගේම දුප්පතාගේ දුක වැනි චිත්‍රපටිවල ඔවුන් දෙදෙනා පෙම්වතුන් යුවලක් ලෙස රඟපෑවා. ගර්ලි ගුණවර්ධන බෞද්ධ කාන්තාවක් වීමත් ස්ටැන්ලි පෙරේරා කිතුනුවෙකු වීමත් ඔවුන් දෙදෙනාගේ විවාහයට බාධාවක් වුණේ නැහැ.  දරුවන් හතර දෙනෙකුගේ ආදරණීය දෙමාපියන් වුණු පසු ගර්ලි සිනමාවට සමු දුන්නා.  ස්ටැන්ලි පෙරේරා සහ ඔවුන්ගේ දියණිය වුණු සබීතා සිනමාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා. පසුව ගර්ලි දෙවැනි ගමන චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ කළ. 2011 වසරේදී ස්ටැන්ලි පෙරේරා ජීවිතයෙන් සමුගෙන මාස හතකට පමණ පසුව ගර්ලි ගුණවර්ධනත් තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා සොයාගෙන ගියා.

 

5. දේවිකා මිහිරාණී සහ විජය නන්දසිරි

Image Source – sithma.com

විජය නන්දසිරි කියන්නේ අපේ රටෙන් බිහිවෙච්ච හොඳම හාස්‍යෝත්පාදක නළුවෙක්. ඒ වගේම දේවිකා මිහිරාණී ඉතිහාසගත වෙන්නෙ ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළිය විදියට.  ඔවුන් දෙදෙනාගේ පෙම් කතාව ආරම්භ වන්නේ කලාව නිසාමයි. මනමේ කුමාරයා විදිහට රටේ ජනප්‍රියත්වයක් දිනාගෙන හිටපු විජය නන්දසිරි සහභාගී වුණු නැටුම් පන්තියකට ආපු හුරුබුහුටි කෙල්ලකට විජයගේ අවධානය යොමු වෙනවා. මේ කෙල්ලව වේදිකා නාට්‍ය වලට සම්බන්ධ කරන්න විජය දැඩි ලෙස උත්සාහ කරනවා. අවසානයේදී ඇය නිළියක් වෙනවා වගේම විජය නන්දසිරිගේ ආදරණීය භාර්යාව බවටත් පත් වෙනවා. සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ඔවුන් දෙදෙනා ජීවිතයේ සෑම අවස්ථාවකදීම එකිනෙකාව තේරුම් අරගෙන වැඩ කරනවා. වතාවක් දේවිකා මිහිරාණි ජනප්‍රියත්වයේ උපරිමයෙන් ඉන්දැද්දි එක්තරා ඡායාරූප ශිල්පියෙක් විජය නන්දසිරිට චුට්ටක් එහාට වෙන්න කියලා දේවිකා මිහිරානිගේ විතරක් පින්තූරයක් ගන්නවා. විජය නන්දසිරි මහත්මයා කියන විදියට එතුමාට ඒ වෙලාවෙ අභිමාන් චිත්‍රපටය මතක් වුණාලු. නමුත් ඒ වගේ දේවල් ගණන් නොගෙන සිටීමට තරම් පරිණත බව එතුමාට තිබ්බා. දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියන් විදියටත් දරුවන් වෙනුවෙන් කළ යුතු සියලුම යුතුකම් නොපිරිහෙලා ඔවුන් දෙදෙනා සිදු කළා. 2016 වසරේදී හදිසියේම හෘදයාබාධයකින් විජය නන්දසිරි මහතා මෙලොවින් සමුගෙන ගියේ දේවිකා මිහිරාණි මහත්මිය තනි කරමින්. ඇය කියන විදිහට ඇය ඉන්නේ “විජය තමන්ටත් අඬ ගසාවි” කියන බලාපොරොත්තුවෙන්.

 

6. ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා ගුණවර්ධන

Image Source – dailynews.lk

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මිය ගිය වෙලාවේ ආචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා අපූරු කතාවක් කළා.  ඔහු කියපු විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඇංග්ලිකන් භක්තිකයෙක්, සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය බෞද්ධ කාන්තාවක්. ලෙස්ටර් යූඑන්පී, සුමිත්‍රා වාමාංශික. ලෙස්ටර් මුහුදු කරේ, සුමිත්‍රා ආර්‍ය සිංහල. ඒ වගේම දෙදෙනාම දෙදෙනාගේ වයස පරතරයත් ශරීර ස්වභාවයත් ගත්තම අහසට පොළව වගේ. ඒත් මේ දෙන්නව එකතු කරපු දේ තමයි සිනමාව. ලෙස්ටර්ගේ අභාවයෙන් පස්සේ පුවත්පතකට ප්‍රකාශයක් කරපු අනුලා කරුණාතිලක මහත්මිය කියලා තිබ්බේ, ඔවුන් දෙදෙනා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ අවසානය දක්වාම මාතෘ භාර්යාවක් වගේ ඔහුට ඇප උපස්ථාන කරපු සුමිත්‍රා පීරිස් මහත්මිය දැන් තනිවම ජීවිතය ගෙවනවා.

 

7. වොලී නානායක්කාර සහ නෙතලී වයලට්

Image Source – worldbnews.com

වොලී නානායක්කාර කියන්නේ අපේ රටින් බිහිවෙච්ච කඩවසම් වගේම දක්ෂ චරිතාංග නළුවෙක්. අද වෙනකොට එතුමා රඟපෑ චිත්‍රපටවල මතක නව පරම්පරාවෙන් ගිලිහී ගියත් “සඳකඩ පහනක කැටයම් ඔපලා” ගීතයේ ගීත රචකයා විදියට එතුමා වර්තමාන පරම්පරාවේ රසිකයන් තුළත් අමරණීයයි. එතුමා විවාහ වුණේ ක්ෂේත්‍රයේම තවත් නිළියක් සමග. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ දේවස්ථානයකදී. විවාහයෙන් පස්සේ නෙතලි නානායක්කාර බවට පත්වන නෙතලී වයලට් නම් වුණු මේ නිළිය ජනප්‍රිය වෙන්නේ මුවන්පැලැස්සේ කොමලි විදිහට. 2008 වසරේදී වොලී නානායක්කාර මහතා ජීවිතයෙන් සමුගෙන ගියත් නෙතලි නානායක්කාර මහත්මිය අද දක්වා කලා ක්ෂේත්‍රයට ඇති බැඳීම අඩු කරගෙන නැහැ.  දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය මවක විදිහට ඇය දැන් මුණුබුරන්ගේ සුරතල් බලමින් ජීවත් වෙනවා.

අපි මේ ලැයිස්තුවට හිතාමතා නව පරපුරේ කිසිම යුවළකගේ නම ඇතුළත් කළේ නැහැ. පටන් ගනිද්දි කිව්වා වගේම එයාලගෙ කසාද ෂුවර් නැති නිසා. එහෙම නම් අපට මගහැරුණු කලා ලෝකේ මේ වගේ ආදර්ශමත් පවුල් ජීවිත ගතකරන යුවලවල් පිළිබඳව සඳහන් කරන්න ඔයාටත් පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *