ඇත්තටම සිස්ටම් චේන්ජ් වීම කෙසේ වෙතත් ඒ ගැන කතා කරන්න අපි ආසයිනේ. ඒ කතාවට කලාවත් යහමින් එකතු වුණාම ඇත්තටම මිනිස්සුන්ට ඒ සිස්ටම් එක වෙනස් කරන්න වුණත් හිතක් පහළවෙන්න බැරිකමක් නෑ. ලෝක සිනමාවේ ඒ වගේ නිර්මාණ රාශියක් තියනවා. මේ ඉන් කීපයක්.
1. Taxi Driver
ඔය සිස්ටම් කතාව ගැන සැර විදියට කතාවක් ඇති වෙන්න බලපාපු චිත්‍රපටයක් තමයි ජෝකර්. හොඳම නළුවට හිමි සම්මානෙත් ගෝල්ඩන් ග්ලෝබ්ස් එකේ දි ජෝකර්ට ලැබුණනේ. මෙන්න මේ ජෝකර් චිත්‍රපටය හදන්න පාදක කරගත්තු කතාවක් තමයි මේ. මහා ලොකු නළු නිළියෝ නෑ. තනි අලියා වගේ ඉන්නවා රොබර්ට් ඩි නිරෝ. ටැක්සි ඩ්‍රයිවරයෙක් මගින් සෑහෙන කාලීන මාතෘකා ගොඩක් ගැන කතාවෙනවා. ඒ අතරින් සිස්ටම් එකට විරුද්ධව තනි මිනිහෙක් ගත්තු උත්සාහයක් කියන එක චිත්‍රපටයේ හරය විදියට ගන්න පුළුවන්. කෑන්ස් සහ බැෆ්ටා ඇතුළු සම්මාන රාශියක් ටැක්සිකාරයා දිනාගෙන තියනවා.
2. V for Vendetta
V for Vandetta තරම් මේ සිස්ටම් චේන්ජ් කතාව අමුවෙන් කෙලින්ම ගහපු චිත්‍රපටයක් නැති තරම්. කතාවේ නිධාන කතාවකුත් තියෙනවා. ඒ තමයි තමන්ගේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව පුපුරවා හැරපු ගයි හෝක්ස්ගේ කතාව. ඒ ඔස්සේ අපව පීඩිතයන් කරන් ඉන්න ලොක්කන්ට එරෙහිව නැගී හිටීමක් මේ චිත්‍රපටය පුරා දිවෙනවා. මේක නිසා තමයි ඇනොනිමස් වෙස් මූණ කරලියට එන්නෙත්. මනුස්සයෙකුව මරන්න පුළුවන් වුණත් හිතක ඇතිවන සිතුවිල්ලක ඇති අමරණීය බව සෑහෙන ප්‍රබල විදියට කතාවේ පෙන්වනවා. හියුගෝ වීවින්, නැටලී පෝර්ට්මන් සහ ජෝන් හර්ට් වගේ ප්‍රසිද්ධ සහ දක්ෂ නළුනිළි පිරිසක් රංගනයෙන් සහභාගී වෙනවා.
3. Parasite
සිස්ටම් එකේ තියන නපුරුබවට යට වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ඉන්න අහිංසක මිනිස්සු ගැන සහවේදනයක් ජීවිත කාලෙටම අපට ඉතිරි කරලා ගියේ මේ පරපෝෂිත කතාවයි. පන්ති භේදය කියන්නේ සිස්ටම් එකක තියන ලොකු පිළිලයක්. ඒක නිසා මිනිස්සු තමන් කීයටවත් නොහිතෙන පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේ හරය අධ්යක්ෂවරයා ඉදිරිපත් කරන විදිය තමයි ලස්සනම. මේ පාර ගෝල්ඩන් ග්ලෝබ් එකේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය හිමි කර ගන්නෙත් ඒ කියන ලස්සන නිසා.
4. Rang De Basanti
සිස්ටම් චේන්ජ් ගැන කියවීමෙන් පමණක් සැනසීම උදා කරගන්න අපිට, අසල්වැසි රට ෆිල්ම් ගහලා පෙන්වනවා දේවල් තමන්ගේ අතට ගනින් කියලා. ආමීර් ඛාන්, මාධවන්, සිද්ධාර්ත් ඇතුළු තරුණ නළුනිළි පිරිසක් වටා ගෙවුණු මේ කතාව නූතන කතාවක් වුණාට ඒක හරියට ඉන්දීය නිදහස් අරගලය දිහා ආයෙත් බැලුවා වගේ. ඒ අරගලයට පණ දුන්න මිනිස්සුන්ගේ නැවත ඉපදීමක් වගේ. තමන් සහ තම අයිතීන් සම්බන්ධයෙන් පෙනී ඉන්න මීට වඩා ප්‍රබල සිනමා නිර්මාණයක් ඉන්දියාවෙන් ලෝකයට දීලා නෑ.
5. Njan Prakashan
සිස්ටම් එකක් චේන්ජ් කරනවා නම් ඉස්සෙල්ලම හැදෙන්න ඕනි මමයි කියන කතාවට සමාන පදයක් තමයි Njan Prakashan. ප්‍රකාශන් ආරම්භයෙ දී ඉන්නේ සිස්ටම් එක කැත කරවන අනෙක් මිනිස්සුන්ට ඒක එපා කරවන ගොඩේ. ඒත් කාලයත් එක්ක අනෙක් මිනිස්සු හමුවෙනකොට එකට මුහු වෙනකොට ප්‍රකාශන් වෙනස් වෙනවා. මලයාලම් චිත්‍රපටවල තියන යථාර්ථවාදී බව නො අඩුව දකින්න පුළුවන්. ඒ මදිවට රඟපාන්නෙත් ෆාහඩ් ෆාසිල්නේ.
6. Fight Club
මේක නිකන්ම නිකන් සයිකොලොජිකල් හොරර් එකක් නම් නෙවේ මිත්‍රවරුනි. සෑහෙන වෙලා අරන් නාගසලං වෙන්න බීලා හිතන්න ඕනි අන්තර්ගතයක් මෙතන තියනවා. අපි පවත්වාගෙන යන ධනවාදයේ සෝබන ජීවන පැවැත්ම Fight Club නිසා ගුටි කනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉක්මනට ඉවර වෙනවා. නමුත් මේක ඊට වඩා සෑහෙන වෙලාවක් තියනවා. ඇත්තම කීවොත් ඊට වඩා කෙටි කරන්න තැනක් ෆිල්ම් එකේ නෑ. මේ සිස්ටම් චේන්ජ් සෙල්ලමේ තියන බරපතල ගතිය තේරෙන්නේ කතාව අනෙක් පැත්ත ගැහෙන තැනදී. බ්‍රැඩ් පිට් සහ එඩ්වර්ඩ් නෝර්ටන් ප්‍රධාන චරිතවලට පණ දෙනවා.
7. 3 Idiots
සිස්ටම් එකක් චේන්ජ් කරනවා නම් ඒක එහෙම වෙන්න ඕනි තැන තමයි පාසල. ඒකට හේතුව කිසිම විදියකින්වත් යාන්ත්‍රික අධ්‍යාපනයක් ලබාපු කෙනෙක්ගෙන් සමාජයේ යහපැවැත්මට අදාළ දිවිපැවැත්මක් ලබාගන්න බැරි නිසා. ඒ දිගුකාලීන දෘෂ්ටිවාදය පැත්තකින් තිව්වොත් මේ චිත්‍රපටය හරහා අධ්‍යාපන ක්රමයේ තියන පරපීඩක ගතිය ගැන කතා කරනවා. උපන් මොහොතෙම උසස් පෙළ කරන්න ඕනි විෂය ධාරාවෙන් ළමයි බෞතීස්ම කරන ඉන්දීය සහ ලාංකේය දෙමව්පියන්ට පවා 3 Idiots අතුල් පාරක්. ආමීර්, මාධවන්, ෂර්මන් ජෝෂි සහ කරීනා කපූර් වැනි අය රංගනයෙන් දායක වෙනවා.
Leave a Reply