විශ්වාසය කියන්නේ හරි අපූරු දෙයක්. විශ්වාසයට පුළුවන් සම්බන්ධතාවයක් මරණයෙන් අවසන් වෙනකන් බොහොම දැඩිව බැඳලා තියන්න. හැබැයි ඒ වගේම තමයි විශ්වාසය කියන්නේ හරියට ගොඩ නැඟුවේ නැත්නම්, වීදුරු වගේ බොහොම බිඳෙන සුළු දෙයක්. එක සිදුවීමකට පුළුවන් අවුරුදු ගාණක් තිස්සේ ගොඩ නඟපු විශ්වාසය කඩලා දාන්න. ඉන් පස්සේ ආයෙමත් විශ්වාසය ගොඩ නංවන එක ඊටත් වඩා අමාරුයි.
හැබැයි ඇත්තම කතාව මේකයි. ආදරයක්, විවාහයක් ඇතුළේ විශ්වාසය ගොඩ නංවා ගන්න එක හිතන තරම් යුද්ධයක් නෙවෙයි. මෙන්න ඒකට අපෙන් උපදෙස් කීපයක්.
1. බැරි පොරොන්දු දෙන්න එපා
මේක ආදරේ ඇතුලෙදි විතරක් නෙවෙයි හැම තැනකදීම වැදගත් කාරණාවක්. ඒ තමයි කරන්න බැරි දේවල් පොරොන්දු නොවී ඉන්න එක. මේක ඇත්තටම හිතනවාට වඩා අමාරු දෙයක්. උදාහරණයක් විදියට කිව්වොත්, දෙන්න දවස් ගාණකින් හම්බෙලා නැති මොහොතක, අනේ හම්බෙමු කියලා එයා නහයෙන් අඬනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට හම්බෙන්න බැහැ කියන එක හරිම අමාරු වැඩක්. එහෙම බෑ කිව්වහම එයා සමහර වෙලාවට තරහ වෙයි, මූණ එල්ලගෙන ඉඳී. හැබැයි එයාගේ හිත සතුටු කරන්න හම්බෙමු කියලා ඒක කැන්සල් කරන එක හරි, අවසන් මොහොතේ නෑවිත් ඉන්න එක හරි ඊට වඩා දරුණුයි. බිසී නිසා මුණගැහෙන්න බැහැ කියන එක එයා කවදාහරි තේරුම් ගනී. හැබැයි මුණගැහෙන්න පොරොන්දු වෙලා ඒක කඩ කෙරුවොත්, කැඩෙන විශ්වාසය ආයෙමත් ගොඩනගන එක ඊට වඩා අමාරු කාරියක් වෙයි.
2. එයා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න හඳට ගිහින් ආවත් කමක් නෑ
සමහරු ඉන්නවා, ජීවත් වෙන්නේම තමන්ගේ ආරක්ෂිත කලාපයේ. ඒ කියන්නේ තමන්ගේ සුවපහසුවෙන් එහාට යන කිසිම දෙයක් කරන්න ලෑස්ති නෑ. ආදර සම්බන්ධයකට ගියත් ඒකෙ වෙනසක් වෙන්නෙත් නෑ. එතකොට අන්න එහෙම කෙනෙක් අපි ඔය මුලින් කිව්ව හේතුව නිදහසට කාරණාවක් විදියට ගන්න ඉඩ තියෙනවා. කරන්න බැරිද, එහෙනම් ඒකට බෑ කියන එක වෙනම දෙයක්. හැබැයි ඒ බෑ කියන්න ඕන වෙන කරන්නම දෙයක් නැත්නම්. ආදර සම්බන්ධතාවයක් ඇතුලේ අපේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ප්‍රමුඛතාව දෙන්නේ නැත්නම් ඒ සම්බන්ධතාවය එතනින්ම ෆේල්. ඒ නිසා කොටින්ම කිව්වොත් එයා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න හඳට ගිහින් ආවත් කමක් නෑ. අපි එහෙම එයා වෙනුවෙන් හඳට යන්න වුණත් සූදානම් කියලා එයා තේරුම් ගත්තහම, අපිට වෙන කරන්නම දෙයක් නැති අවස්ථාවක අපි දේකට බැහැයි කියන එකත් එයා තේරුම් ගන්නවා.
3. දේවල් හංගන්න, බාගෙට කියන්න එපා
සම්බන්ධතාවයක්, විවාහයක් ඇතුලේ විශ්වාසය කුඩු කරගන්න ලේසිම ක්‍රමය තමයි දේවල් හංගන එක. එහෙම නැතිනම් බාගෙට හෙළිදරව් කරන එක. අපි උදාහරණයක් ගමු. ඔන්න අපිට පරණ ගෑනු ළමයා මුණගැහෙනවා. කතාබහ කරලා පරණ යාලු ෆිට් එකට දෙන්නත් එක්ක කෝපි එකක් බොන්න යනවා. දැන් ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියනවා පරණ යාලු කොල්ලෙක් හම්බුනා, එයත් එක්ක සෙට් වුණා කියලා. අන්න හැංගිල්ල. එහෙම නැතිනම් ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියනවා පරණ ගෑනු ළමයව පාරේදී දැක්කනෙ කියලා. හැබැයි කතා කරපු වගක්, කෝපි බීපු වගක් කියන්නේ නෑ. ආන්න බාගේ ඇත්ත. ඔය දෙකම හොඳ නෑ. හරිම දේ තමයි කෝපි බොන්න යන්න කලින් වයිෆ් එක්ක ඒ ගැන කතා කරන එක. බැරිවෙලාවත් යන්නම වෙන සිටුවේශන් එකක් උද්ගත උනානං ඒක වයිෆ්ට අවංකව කියන එක.
4. දෙන්නට දෙන්නා විනිශ්චය නොකරන්න පුරුදු වෙන්න
මේක ආදර සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි එකිනෙකාව විනිශ්චය නොකරන එක. ඒ කියන්නේ අනෙකාව එයා විදියටම භාරගන්න එක. එයාව තමන්ගේ සම්මතයන්ට හරි රටේ ලෝකේ සම්මතයන්ට හරි අනුකූලව හැඩ ගස්වන්න උත්සාහ නොකරන එක. අන්න එතකොට දෙන්නට දෙන්නා ඕනම දෙයක් කියන ලෙවල් එකට එයි. හංගන්න දේවල්, රඟපාන්න දේවල් නැති වෙයි. විශ්වාසය වර්ධනය වෙයි.
ඇත්තටම විශ්වාසය කියන්නේ තනි අතින් කරන අත්පුඩි ගැහීමක් නෙවෙයි. ආදර සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී එක්කෙනෙක් විශ්වාසය රකිනවා වගේම අනිත් කෙනා, විශ්වාසය රකින්න සහාය දෙන්නත් ඕන.
5. හැඟීම් සම්බන්ධයෙන් විවෘත වෙන්න, සවන් දෙන්න
විවෘතව කථා කිරීම සහ හොඳින් සවන් දීම කියන්නේ විශේෂයෙන්ම විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී විශ්වාසය ශක්තිමත් කරගන්න නොවරදින උපායක්. අනිත් කෙනා ගැන තියෙන හැඟීම කවදාවත් හංගන්න, සීනි තවරලා ඉදිරිපත් කරන්න යන්න එපා. අනෙක් කෙනා ගැන තමන්ගේ හිතේ නොපහන් හැඟීමක් ඇති වුණත්, ඒක කාරුණිකව හැබැයි විවෘතව, සෘජුව කියන්න. ඒ වගේම අනිත් කෙනා ගැන අපේ හිතේ නිතරම ඇතිවෙන හොඳ හැඟීම් පවා කෙලින් කියන්න පුරුදු වෙන්න. එතකොට අපි විවෘතයි කියන එක ගැන අපේ සහකරුවාට හෝ සහකාරියට විශ්වාසයක් ඇතිවෙනවා.
ඒ වගේම තමයි සවන් දීමත්. අපි අපේ සහකරුවාට හෝ සහකාරියට හැබෑවටම සවන් දෙනවා නම්, ඒ අය අපිත් එක්ක ඕනම දෙයක් කියන්න පෙළඹෙනවා. අපිත් එක්ක ඕනම දෙයක් කියන්න අපිව විශ්වාස කරනවා.
6. කෙලින් කියන්න, කෙලින් කරන්න
කෙළින් වැඩකරන, කෙලින් කතා කරන මනුස්සයෙක් කියන්නේ, අනික් කෙනාට නිර්දය විදියට සලකනවා කියන එක නෙවෙයි. ඊට වඩා, සෘජු සහ අවංක පුද්ගලයෙක් කියන එක. අන්න එහෙම කෙනෙක්ට ඇත්තටම සම්බන්ධතාවයක විශ්වාසය රකින එක වඩා පහසුයි. කොහොමත් ආදර සම්බන්ධතාවයක හෝ විවාහයක විශ්වාසය රැකීම සහ අනෙකාගේ අවකාශය ආක්‍රමණය නොකිරීම කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක්. අන්න එතනදි මේ කෙලින් කතා කිරීම සහ කෙලින් වැඩ කිරීම කියන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ ෆෝන් එකේ තියෙන්නෙ මොනවද කියල බලන එක පුද්ගලික අවකාශය ආක්‍රමණය කිරීමක්. ඒක හොඳ වැඩක් නෙවෙයි. හැබැයි කෙලින් වැඩකරන, කෙලින් දේවල් කියන මනුස්සයෙක්ට ෆෝන් එක තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හදිසියකදී හෝ පාවිච්චි කරන එක ගැටළුවක් වෙන්නේ නෑ. හැබැයි ඒ වගේම තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ගේ ෆෝන් එක සැක පිට පරික්ෂා කරන්න හදනවා නම්, ඒක වැරදියි කියන්නත් එහෙම මනුස්සයෙක් පසුබට වෙන්නේ නෑ.
7. උපක්‍රමයෙන් ජීවත් වෙන්න උත්සාහ නොකරන්න
අන්තිමට කියන්න තියෙන්නේ, ආදර සම්බන්ධතාවයක් හෝ විවාහයක් ඇතුළෙදි ඔය එක එක උපක්‍රම පාවිච්චි කරන්න, කපටි කමෙන් අනිත් කෙනාව මෙහෙයවන්න යන්න එපා කියලා තමයි. කොහොම කළත් එහෙම කරනකොට එක මොහොතක දෙන්නා අතර තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. සම්බන්ධතාවයක් ඇතුලෙ වැඩ කරන්න ඕන සහකරුවෙක් හෝ සහකාරියක් විදියට මිසක් දේශපාලනඥයෙක් විදියට නෙවෙයි. සම්බන්ධතාවයක් ඇතුළේ වැඩ සිද්ද වෙන්න ඕන සීනිබෝල දීලා රවට්ටලා නෙවෙයි. චාටු කතා වලිනුත් නෙවෙයි. මෙන්න මේ කපටිකම් උපක්‍රම ආදරසම්බන්ධතාවයක් ඇතුළෙ, විවාහයක් ඇතුළෙ නැතිනම්, දෙන්නා අතර විශ්වාසයත් වඩ වඩාත් වර්ධනය වෙයි.
අපි මෙතැනදී අනියම් සම්බන්ධතා වගේ දේවල් ගැන කතා කරලා නෑ. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ!
Leave a Reply