විනෝදෙට මුද්දර එකතු කරන්න කැමතිද? එහෙමනම් මේ කරුණු ඔබටත් වැදගත් වෙයි.

ඉස්සර ඉස්කෝලෙ යන කාලෙදි එහෙම අපෙන් විනෝදාංශ මොනවද කියලා අහනවා. ඇත්තටම ඒ කාලෙදී අපි හැම ළමයෙක්ටම තමන්ට කියලා විනෝදාංශයක් හොයාගන්න කියලා ඉස්කෝලෙන් විතරක් නෙවෙයි, අම්මලා තාත්තලා පවා දිරි දුන්නා. ඉතින් ඔය විදියට විනෝදාංශ සීන් එකේ ඉන්න කාලේ අපි ගොඩක් දෙනෙක්ගේ ප්‍රධානම විනෝදාංශය විදියට අපි කිව්වේ ‘මුද්දර එකතු කිරීම’ කියන එක. හැබැයි ඉතින් අනූව දශකේ වගේ ගත්තොත්, මුද්දර එකතු කරන විනෝදාංශය පවත්වාගෙන යන්න ලේසියි. ඇයි ඉතින් ඒ කාලේ දුරස්ථ සන්නිවේදනයේ වැදගත් තැනක් ගත්තේ ලියුම් කියුම් යැවීමනේ. ඉතින් මුද්දර එකතු කරන්න මහ අමාරුවක් නෑ. තව ඉතින් පෑනේ මිතුරු මිතුරියෝ එහෙමත් සෙට් කරගෙන මුද්දර වෙන රටවල් එක්කත් හුවමාරු කරගත්තා. ඇත්තටම ඒ කාලේ මුද්දර එකතු කරන ඩයල් එකකට ඇත්තටම වැදගත් වුණේ ලංකාවේ මුද්දර වලට වඩා පිටරට මුද්දර තමයි. 

කොහොම නමුත් දැන් වෙනකොට කාලේ වෙනස්වෙලා. අපිට තවදුරටත් තැපෑලෙන් එන්නේ බිලක් වගේ දෙයක් තමයි. ඒවලත් මුද්දර නෑ. ඉතින් එහෙම තියෙද්දී අද කාලෙත් කෙනෙක්ට මුද්දර එකතු කරන එක විනෝදාංශයක් විදියට පවත්වාගෙන යන්න පුළුවන් ද? ඇත්තටම කිවුවොත් නං පුළුවන්. ඉතින් මුද්දර ලෝලියෙක්ට ඒ ගැන ප්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ.

 

1. ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය

ඇත්තටම ලංකාවේ මුද්දර සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන ගොඩක් දෙනා නොදන්න වටිනා කියන තැනක් තමයි ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය කියන්නේ. මෙතනින් වුවමනා කෙනෙක්ට අවුරුදු කීපයක් පිටුපස්සට යනකල් ලංකාවේ නිකුත් වෙලා තියෙන මුද්දර, මුල් දින කවර, මුද්දර මිනි ෂීට්ස්, මුද්දර පැක්ස්, මුද්දර සම්බන්ධ පත පොත එහෙම මිලදී ගන්න පුළුවන්. මුද්දර වලට ආස කෙනෙක්ට මෙතනට යනවා කියන්නේ හරියට නත්තල් වගේ තමයි. පැරණි මුද්දර එහෙමත් ඒ අය ගාව ස්ටොක්ස් තියෙන විදියට ගන්න පුළුවන්. දැන් මුද්දර කාර්යාංශයෙන් මුද්දර ගන්න ඔන්ලයිනුත් පුළුවන්. ඒකටම හදපු ඒ අයගේ ඇප් එකකුත් තියෙනවා. ඕන නම් අලුතෙන් නිකුත් වෙන මුද්දර, මුල් දින කවර එහෙම හැම එකක්ම මාස තුනකට හෝ හයකට සැරයක් වගේ අපිට ලැබෙන විදියට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියන්නත් පුළුවන්. 

 

2. ඊබේ

දැන් අපිට පිටරට වල මුද්දර ලබාගන්න පුළුවන් ලෙහෙසි පහසු ක්‍රම තියෙනවා. ඒකෙන් පහසු ක්‍රමයක් තමයි ඊබේ කියන්නේ. ඊබේ එකේ වෙන ඕනම දෙයක් වගේ මුද්දරත් විකුණන්න තියෙනවා. හැබැයි ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන බොරු ගණන් වලට අහුනොවෙන්න. උදාහරණයක් විදියට කිවුවොත්, “මේක එළිසබෙත් මහරැජිණගේ දහවෙනි ජන්ම දිනේට ගහපු මුද්දරයක්, රුපියල් පන්දාහක් වටිනවා” කියලා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තිබ්බට, හොයන්නෙ බලන්නෙ නැතුව පන්දාහක් දීලා ගන්න යන්නේ හොර මුද්දරයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම එව්වා නෙවෙයි, සාමාන්‍ය ජාත්‍යන්තර මුද්දර එකතූන් ඊබේ එකෙන් සල්ලි දීලා ගත්තට කමක් නෑ. හැබැයි මතක ඇතුව කියන්න ඕන කෙනෙක්ට කඩන්න බැරි විදියට හොඳට පැක් කරලා එවන්න කියලත්. නැත්තං මෙහෙට එනකොට කවරේ විතරක් එන්නත් පුළුවන්! 

 

3. මුද්දර ප්‍රදර්ශන

මේකත් මුද්දර එකතු කරන කෙනෙක්ට, ලේසියෙන් හොයාගන්න බැරි මුද්දර, පිටරට මුද්දර එහෙම හොයාගන්න හොඳ ක්‍රමයක්. ඔය මුද්දර ප්‍රදර්ශන කාලෙන් කාලෙට ලංකාවේ විවිධ තැන්වල පැවැත්වෙනවා. පොඩ්ඩක් ඔන්ලයින් සර්ච් කළහම එහෙම හොයාගන්න පුළුවන්. කොළඹ නම් ගොඩක් වෙලාවට මහජන පුස්තකාල පරිශ්‍රයේ තමයි මේ මුද්දර ප්‍රදර්ශන දකින්න පුළුවන් වෙන්නේ. ආන්න ඒ වගේ මුද්දර ප්‍රදර්ශනයකට ගියා නම්, කාලයක් තිස්සේ මුද්දර එකතු කරන අයගෙන්, යම් යම් මුද්දර සාධාරණ ගාණකට මිලදී ගන්න පුලුවන් වෙයි. හැබැයි ඉතින් පොඩ්ඩක් බලන්න ඕන, ඇත්තටම කියන ගණන් සාධාරණද කියලත්.

 

4. ෆේස්බුක් මුද්දර හුවමාරු

ඉස්සර නම් අපි මුද්දර හුවමාරු කළේ ඉස්කෝලෙම තව මුද්දර එකතු කරන ළමයි එක්ක එහෙම තමයි. හැබැයි දැන් එහෙම බෑනේ. ඒත් ඇත්තටම නවීන තාක්ෂණය එක්කත් මුද්දර එකතු කරන මුද්දර ලෝලීන්ට මුද්දර හුවමාරු කරගන්න නව තැන් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ශ්‍රී ලංකා මුද්දර සංගමයේ ෆේස්බුක් පිටුවෙන් අපිට මුද්දර ප්‍රදර්ශන, මුද්දර හුවමාරු කිරීම් වගේ දේවල් ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම තව ජාත්‍යන්තර මට්ටමේ මුද්දර එකතු කිරීමේ, හුවමාරු කිරීමේ ගෘප්ස් පවා ෆේස්බුක් එකේ තියෙනවා. ඇත්තටම එහෙම විශ්වාසය තියන්න පුළුවන් ගෘප් එකකින් වෙනත් රටක කෙනෙක් එක්ක මුද්දර හුවමාරු කරගන්න එකේ වාසියක් තියෙනවා. අපිට රුපියල් සීයක් දෙසීයක් දීලා, ලංකාවේ අලුත් මුද්දර ටිකක් ගන්න පුළුවන්. හැබැයි වෙන රටක කෙනෙක්ට ඒ මුද්දර ටික දාස් වටිනවා. ඒ වගේම, වෙන රටක කෙනෙක් පෝස්ට් ඔෆිස් එකට ගිහින් පොඩි ගාණකට ගන්න ඒ රටේ මුද්දර අපිටත් ඊට වඩා සෑහෙන්න වටිනවා. හැබැයි ඉතින් මෙහෙම හුවමාරු අතිශයින්ම විශ්වාසය මත සිද්ධ වෙන දේවල් නිසා, පොඩ්ඩක් සැලකිල්ලෙන් කරන්න වෙනවා.

 

5. මුද්දර දැනුම

මෙහෙම මුද්දර එකතු කරන විනෝදාංශයක් පටන් ගන්නකොට කරන්න අවශ්‍යම දෙයක් තමයි, ඒ ගැන දැනුම ලබාගන්න එක. ඒක මෙහෙමයි. අපිට දැන් වෙනකොට යූටියුබ් එකේ එහෙමත් ඔය මුද්දර එකතු කිරීම ගැන එහෙම විවිධ වැඩසටහන් බලන්න පුලුවන්. හැබැයි ඊටත් වඩා, අපි එකතු කරන හැම මුද්දරයක්ම හොඳින් පරීක්ෂා කරලා බැලීම, ඒ මුද්දරේ තියෙන තොරතුරු පරීක්ෂා කරලා තේරුම් ගැනීම වටිනවා. ආන්න එහෙම තමයි මුද්දර ගැන දැනුම ලබාගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම පිටරට වල මුද්දර එහෙම එහෙම පරීක්ෂා කරලා අපිට ඒ රටවල් ගැන වුණත් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් පොදුවේ මුද්දර එකතු කිරීමේ හොඳ ප්‍රවීණතාවයක් ලබාගන්නත් පුළුවන්. 

 

6. මුද්දර ඇල්බම්

මුද්දර එකතු කරනකොට අපි පරිස්සම් වෙන්න ඕන කාරණයක් තමයි ඒවා කොහොමද පවත්වා ගන්නේ කියන එක. ඒ කියන්නේ පරිස්සමට මුද්දර කල් තියාගන්න නම් ඔහේ ලියුම් කවරයක් ඇතුළේ දාගෙන මුද්දර එකතු කරලා හරියන්නෙ නෑ. හොඳම දේ තමයි මුද්දර ඇල්බම් එකක් අරගෙන, ඒකේ දාලා තියන එක. හැබැයි මෙතනදීත් හොඳම දේ තමයි අර මුද්දර අලවන ඇල්බම් නැතුව, මුද්දර ඇතුළට දාන්න පුළුවන් සෙලොෆේන් තීරු තියෙන ඇල්බම් ගන්න එක. ඒකෙන් මුද්දරේ හොඳින් සං‍රක්ෂණය කරන්න පුළුවන් කම තියෙනවා. හැබැයි මුද්දර ඇල්බම් එකක් ඇතුළේ මුද්දර හොල්ලන්නෙ නැතුව කාලයක් තියන එකත් හොඳ නෑ. එතකොටත් මුද්දර දන්නෙම නැතුව ඇලිලා, ගලවගන්න බැරි වෙන්න පුළුවන්. 

මුද්දර අලවන ඇල්බම් ගන්නවා නම්, ඒ ඇල්බම් වල මුද්දර අලවන්නම තියෙන දෙපැත්ත ඇලවෙන ස්ටිකර් තීරු පාවිච්චි කරන එක හොඳයි. වඩාත්ම හොඳ දේ තමයි Stamp hinges නැතිනම් Stamp mounts කියලා කියන එව්වා පාවිච්චි කරන එක.

මුද්දර ඇල්බම් මිලදී ගන්න පුළුවන් ගොඩක් වෙලාවට පොත් සාප්පු වලින්. එහෙම මුද්දර ඇල්බම් විකුණන්න තියෙන පොත් සාප්පු වල ගොඩක් වෙලාවට මුද්දර එකතු විකුණන්නත් තියෙනවා කියන එක අමතක කරන්න එපා!

 

7. මුද්දර එකතු කරන අයට වැදගත් පොඩි පොඩි දේවල්

හරියට මුද්දර එකතු කරන මනුස්සයෙක් දන්නවා, මුද්දර එකතු කරන විනෝදාංශය තියෙන්නේ අවුරුද්දකට දෙකකට නෙවෙයි කියලා. ඇත්තටම මුද්දර එකතුවක් ජීවිත කාල කිහිපයකටත් එහාට වටිනාකමක් තියෙන දෙයක්. ආන්න ඒ නිසා තමයි මුද්දර එකතු කරන කොට, මුද්දර උපරිම පරිස්සමකින් එහා මෙහා කිරීම වුවමනා වෙන්නේ. ඉතින් මුද්දර එකතු කරන්න ඕන ඇල්බම් එකක දාලා කියලා අපි කලිනුත් කිව්වනේ. ඊට අමතරව ට්වීසර් එකක් තියෙන එක වටිනවා. එතකොට මුද්දර අතින් අල්ලන්න ඕන නැහැ. එතකොට අත් වල තියෙන තෙල්, කුණු, දාඩිය අනං මනං මුද්දර වල ගෑවෙන්නෙත් නෑ.

ඒ වගේම, මුද්දර එකතු කරන කෙනෙක් ගාව තියෙන්න ඕන තව දෙයක් තමයි හොඳ අත්කාචයක්. මොකද, මුද්දරයක් කියන්නේ පොඩි වස්තුවක්නේ. ඒකේ තියෙන සමහර සුවිශේෂී තොරතුරු බලාගන්න අත්කාචයක් ප්‍රයෝජනවත්. ඒ වගේම, මුද්දරේක තත්ත්වය, ඩැමේජ් එහෙම තියෙනවද කියලා බලාගන්නත් අත්කාචයක් ප්‍රයෝජනවත් වෙනවා.

 

ඉතින් ඇත්තටම මුද්දර එකතු කිරීමෙන් කෙනෙක්ට ලැබෙන්නෙ මොනවද? හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් දරුවන්ට කුඩා කාලෙදිම මුද්දර එකතු කිරීම විනෝදාංශයක් විදියට ගැනීමෙන් ඒ අයගේ අවධානය දියුණු වෙනවා. ඒ වගේම ලෝකේ රටවල් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබාගන්නත් මුද්දර එකතු කිරීම හොඳ ප්‍රවේශයක්. ඒ වගේම තමයි ඉතින් මුද්දර එකතු කරන විනෝදාංශයේ තියෙන ජොලිය. ඒකත් අමතක කරන්න බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *