පිටට ගහන, ගෑණුන්ට වැහෙන, පිරිමි බය කරන ලංකාවෙ යක්කු

ඔන්න මේ කියන්න යන්නෙ යකාගෙ කතාවක්. යක්කු ගැන කතාවක්. කෝකටත් පෙර සුදානම හොඳයි කියනවනෙ. ඉතින් අපි හිතුව කාට කාටත් පරිස්සම් වෙලා ඉන්න ලංකාවේ ඉන්න යක්කු ගැන විස්තර ටිකක් කියන්න. ඉතින් මේ කියන්න යන්නෙ ලෝකෙ පුරා ඉන්න විවිධාකාර යක්කු අතරින් ලංකාවේ අපිට නිතරම කනට ඇහෙන්න කතාබහ වෙන යක්කු කීපදෙනෙකුගෙ විස්තර. බලමුකෝ යකා ඔය කියන තරම්ම කළුද කියල එහෙනම්.

 

1. කළු කුමාරයා

Image Source – supztermc.blogspot.com

ලංකාවේ ඉන්න යක්කු අතරින් ප්‍රසිද්ධම යක්ෂයා කළු කුමාරයා කිව්වත් වැරැද්දක් නැති තරම්. ඒ තරම්ම කතා බහට ලක්වෙන යකෙක් තමයි මේ. කළු කුමාරයා කියන්නෙ කාන්තාවන්ට බැල්ම යොමු කරන යක්ෂයෙක්. අද කාලෙ වෙද්දි මේ විශ්වාස හුඟක් දුරට සමාජයෙන් ගිලිහිලා තිබුනත් පැරණි සමාජයේ නම් මේ කළු කුමාරය නිසාම ගැහැණු කෙනෙක් පාරට බහින එක පවා ගැටළුවක් වුණා. ගැහැණු අයට බැල්ම හෙලල ඔසප් චක්‍රය අක්‍රමවත් කිරීම, දරුගැබ් නැති කිරීම, වඳභාවය ඇති කිරීම වගේ දේවල් තමයි මේ කළු කුමාරය කරන්නෙ. යකෙක් උනත් පෙනුමෙන් බොහොම කඩවසම්, තාරුණ්‍යයෙන් පිරි සිරුරක් තියෙනව කියල තමයි කියන්නෙ.

මේ කළු කුමාරයගෙ උපත ගැන ජනප්‍රවාදනම් බොහොමයක් තියෙනව. එත් හුඟක්ම ප්‍රසිද්ධ කතාව මේකයි. අනුරාධපුර යුගයේ රජකම් කරපු පුවෝතල කියන රජ කෙනෙකුට දාව අනියම් බිරිඳකට ඉපදෙන පුත් කුමාරය තමයි මේ නීල මදන කළු කුමාර කියන්නෙ. බොහොම ශක්ති සම්පන්න තරුණයෙක් විදිහට වැඩුණු මේ කුමාරය සොලීන් පැහැරගෙන ගිය දරුවන් දෙදෙනෙක් බේරගන්න යන ගමනෙදි වැරදීමකින් සොලී ස්ත්‍රීන් විතරක් ඉන්න ගම්මානයකට සේන්දු වෙනව. එතැනදී ඒ කාන්තාවන් අතින් මරණයට පත්වෙනවා. ඉතින් ඒ මරණයට පත්වෙන වෙලාවෙදි කාන්තාවන් ගැන ඇතිවුන වෛරය නිසාම කාන්තාවන්ට උවදුරු කරන දරුණු යක්ෂයෙක් බවට පත්වුණා කියල තමයි කියන්නෙ.

 

2. රීරි යකා

Image Source – yamu.lk

මේ ඉන්නෙ තවත් බොහෝම ප්‍රසිද්ධ යකෙක්. ඒ විතරක් නෙමෙයි, භයානකකම අතින් ගත්තත් දෙවෙනි තැනට ඉන්න යකා තමයි මේ. රීරි යකා කියන්නෙ ලේ උරාබොන යකෙක්. ඔය ලෝකෙ පුරා ප්‍රසිද්ධ වැම්පයර්ලගෙ ලංකාවේ නියෝජනය කිව්වත් වරදක් නෑ. රීරි යකත් වැඩි වශයෙන් බලපෑම් කරන්නෙ කාන්තාවන්ට කියල කිව්වත්, පොදුවේ කාන්තා පිරිමි දෙගොල්ලන්ටම ලේ ආශ්‍රිත රෝග ඇතිකරන්නත් මූලික වෙන බව කියනවා. මේ රීරි යකා ජීවත් වෙන්නෙ සොහොන් පිටි ආශ්‍රිතව. මේ බලවේග ගැන පර්යේෂණ කරපු ආචාර්ය, මහාචාර්යවරුන්ට අනුව සහ පැරණි ශාන්තිකර්ම ඇදහීම් වලට අනුව රීරි යකාගෙ උපත ගැන කතන්දරනම් බොහොමයක් තියෙනවා. රතු පැහැති ඇඟකුත්, රිලා මූණකුත් ඇති, වැඩිය උස නැති ශරීරයකින් හෙබි මේ රීරි යකා ලේ ගලන කුකුල් බිල්ලක් අතින් දරාගෙන ඉන්න බවත්, මේ රීරි යකා පාලනය කළ හැකි බලය තියෙන්නෙ විෂ්ණු දෙවියන්ටම විතරක් කියලත් තමයි කියන්නෙ.

 

3. මෝහිනී

Image Source – youtube.com

ලංකාවෙ අනිත් හුඟක් දේවල් වලදි වගේම කියන්න දුකයි පින්වතුනි මේ යක්ෂ කතන්දරේදිත් කාන්තා නියෝජනය බොහෝම අඩු මට්ටමක තමයි තියෙන්නෙ. ඉතින් ඒ යන්තමට ඉන්න ගැහැණු යක්ෂණියො දෙතුන් දෙනා අතරින් ප්‍රසිද්ධම මේ මෝහිනී කිව්වත් වරදක් නෑ. මේ මෝහිනී කියන නමේ තේරුම මුලාවට, මෝහනයට නැත්තම් වසඟයට පත්කරනව කියන එකයි. ඉතින් තේරුමේ හැටියටම මේ යකින්නිය කරන්නෙ කෙනෙක් තමන්ගෙ වසඟයට පත්කරගෙන ඒ කෙනාට උවදුරු කරන එකයි. හැබැයි මොහිනීගෙ බැල්ම වැටෙන්නෙ පිරිමි පරාණ වලට විතරයි. මෝහිනී ගැන ප්‍රසිද්ධම කතාව නම් මහා රෑ තනිපංගලමෙ පාරෙ යන පිරිමි අයට පේන අත දරුවෙකුත් වඩාගත්ත සුරූපී කාන්තාවක් “අයියේ මේ දරුවා අල්ලගන්නවද සාරිය පොඩ්ඩක් හදාගන්න” කියල ඉල්ලීමක් කරල, එහෙම දරුවා වඩාගන්න ඉදිරිපත්වෙන අයට අනතුරු කරනව කියලයි.

හැබැයි එතනින් එහාට, වැඩිය ප්‍රසිද්ධ නොවුනත් මෝහිනී කියන යක්ෂ ගණයට අයිති වෙන අවතාරය ගැන මෙන්න මෙහෙම ජනප්‍රවාදයකුත් තියෙනව. දැක්ක ගමන් වසඟයට පත්වෙන රූ සපුවකින් පිරිපුන් මේ මෝහිනී රාත්‍රියේදි තරුණ පිරිමින් තනියම නිදාගෙන ඉන්න තැන් වලට ඇවිත් ඒ තරුණයින් එක්ක රහසේ සංවාසයේ යෙදිල ඔවුන්ව රෝගී බවට පත් කරනවලු.

 

4. මහසෝනා

Image Source – flickr.com

ලංකාවේ නිතර කතා බහට ලක්වෙන යක්කු අතරේ භයානකම යක්ෂයා විදිහට සලකන්නෙ මෙන්න මේ මහසෝනා තමයි. අනිත් යක්කු වගේ බැල්මෙන් විතරක් නෙමෙයි, පහරදීමෙන් මිනිස්සුන්ව ලෙඩ කරන නිසාමයි මේ යක්ෂයා බොහොම භයානකයි කියල සැලකෙන්නෙ. ඒ විතරක් නෙමෙයි යක්ෂයින්ගෙ රජු වෙන වෙසමුණි රජුගෙන් කුකුළු සහ මිනිස් කියන දෙගාත බිලි පූජා ලබාගන්න අවසර ලබපු යක්ෂයෙක්.

ඉතින් ඔය මහසෝනගෙ උප්පත්ති කතාව මෙන්න මෙහෙමයි. මේ මහසෝනා කියන්නෙ දුටුගැමුණු රජතුමන්ගෙ දසමහා යෝධයෙක් විදිහට ප්‍රසිද්ධ රිටිගල ජයසේන. ඒ දසමහා යෝධයෝ අතරේම හිටපු ගෝඨයිම්බර කියන යෝධයයි රිටිගල ජයසේනයි මුලදී හොඳ මිත්‍රයෝ. ඒත් ගෝඨයිම්බරගෙ බිරිඳ ගැන ජයසේන ඇතිකරගත්තු කැමැත්තක් හේතු කරගෙන මේ දෙන්න ද්වන්ධ සටනකට අභියෝග කරගන්නව. ඒ සටනෙදි ගෝඨයිම්බර එල්ල කරන පා පහරකින් ජයසේනගෙ හිස කඳෙන් වෙන් වෙනවා. මේ සිදුවීම බලන් හිටපු ජයසේනට හිතවත් සෙනසුරු අහල පහලින් හොයාගත්ත වලස් හිසක් කලබලේට හිස පිටිපස්සට හිටින විදිහට ජයසේනගේ කඳට හයි කරනව. ඒකෙන් පණ ලබපු ජයසේන තමයි මහසෝන් යක්ෂයා බවට පත්වුනාය කියන්නෙ. ඇත්ත නැත්ත කොහොම උනත් බුදු අණටවත් යටත් නොවෙන මහසෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට විතරක්ම අවනත වෙනවා කියලත් කතාවක් තියෙනව.

 

5. ගරා යකා

Image Source – youtube.com

මේ ගරා යකා කියන්නෙ අපි කතා කළ අනික් යක්ෂයො වගේ මිනිස්සුන්ට පෙනී ඉඳල අතුරු ආන්ත්‍රාවන් කරන යක්ෂයෙක් නෙමෙයි. ගරා යකා අපි දකින්නෙ පහතරට දෙවොල්මඩු ශාන්තිකර්ම වලදියි. වස්දොස් දුරලල සෙත් පමුණුවන්න, නියං කාල වලදී වර්ෂාව ලබාගන්න වගේ හේතු වලට මිනිස්සු කන්නලව් කරන්නෙ මේ ගරා යකාට. යකෙක් කිව්වට මේ දළ කුමාර කියන දෙවියා බවත් කියනවා. තම එක කුස උපන් සහෝදරිය වරදට පොළඹවාගෙන ඒ හේතුවෙන් ඇය සියදිවි නසාගත්ත නිසා ඇතිවුන වෛරයත්, ශෝකයත් හින්ද තමයි ගරා යකා කියල යක්ෂයෙක් බවට පත්වන්නෙ.

 

6. ගොපළු යකා

Image Source – lalithkrunaratna.wordpress.com

ගොපළු යකා නම් මිනිස්සුන්ට ලොකුවට හානි කරන යකෙක් නෙමෙයි. ගොපළු යකා ගැන ජනප්‍රවාදයේ එකිනෙකට වෙනස් හැඳින්වීම් කීපයක්ම තියෙනවා. ගොපලු යකා කියන්නේ ගම්බාර දෙවියන්ට, නැත්තම් ඉලන්දාරි දෙවියන් කියල දෙවි කෙනෙක්ට කියල වගේම ගොපළු යකා මහසෝන් යක්ෂයගෙම අවතාරයක් කියලත් කියනව. ඒ කොහොම වෙතත් මේ ගොපළු යකා කියන්නෙ ගව පට්ටි, කිරි ගවයින් එහෙම ආරක්ෂා කරන යක්ෂයෙක්. අතේ රන් කෙවිටක් දරාගෙන පාන්දර ගව පට්ටිවල ඇවිදිනව කියල තමයි කියන්නෙ. ඒ වෙලාවට කිරි දොවන අයට කෙවිටෙන් පහරදීල ලෙඩ කරනව කියලත් කියනව.

 

7. ග්‍රීස් යකා

Image Source – dailynews.lk

මේන්න මේ යකා තමා ලංකාවේ යක්ෂයො ලැයිස්තුවට බොහෝම මෑතක අලුතින්ම එකතුවුන යක්ෂයා. හැබැයි ලංකාවේ යක්කු ගැන කියද්දි මෙයා ගැන නොකිය හිටියොත් උදහස් වෙන්නත් බැරි නෑ. අළුත් උනාට අපරාදෙ කියන්න බෑ කලින් කියපු ඉතිහාසගත යක්ෂයො ඔක්කෝටම වඩා හරි ප්‍රසිද්ධ, සෑහෙන්න සෙල්ලම් දාපු යකෙක් තමයි මෙයා. මේ යක්ෂයා කරලියට ආවෙ රෑට විදුලි බලය විසන්ධි කරපු දවස්වල. මෙයා බැල්ම හෙලන්නෙත් ගෙවල් වල ඉන්න කාන්තාවන්ට තමයි. හැබැයි ඒ බැල්ම හෙලන්නෙනම් ඔය ජනෙල් පියන්, දොර පියන්, යතුරු හිල් අස්සෙන්ලු. දැන් කාටත් මතක ඇතිනේ මේ කියන යකාව. ඔව් ඔව්.. ඔය බැල්ම හෙලන්න ගිහින් අහුවෙලා පදමට ගුටි කාපු යකා තමයි. පිස්සු යකෙක් නේ? 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *