හදිස්සියට ගමනක් බිමනක් යන්න තෝරාගන්න පුළුවන් ඔන්ලයින් කැබ් සර්විසස්

 

ඉස්සර කාලෙනම් ඉතින් ඕනෙම දුර බැහැර ගමනක් ගොනා බැඳපු බක්කි කරත්තේ තමයි. හැබැයි දැන් කාලෙ වෙනස්, තාලෙ අලුත්. කාලයත් එක්ක මිනිස්සුන්ගේ ප්‍රවාහන මාධ්‍යය කියන මාතෘකාව හරිම සීග්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. ෆුට් සයිකල්, රික්ෂෝ වල ඉඳල සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් වෙනකන්ම අද ප්‍රවාහන මාධ්‍යය දියුණු වෙලා. පාරට බැස්සම බහුතරයක් දෙනා තමන්ගේම කියල වාහනයක් පැදගෙන ගමන් යනවා දකින්න පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම වාහනයක් නැති අයටත් තමන්ගේම වාහනයක් තිබ්බත් විවිධාකාරයේ හේතු මත කුලී රථ වල පිහිට පතන අයටත් සෑහෙන්න වැදගත් වෙන ඔන්ලයින් කැබ් සර්විසස් කිහිපයක් ගැනයි. 

 

ඔන්ලයින් ඇප්ලිකේෂන් බේස්ඩ් කැබ් සර්විසස් වල බිහිවී​ම

කැබ් සර්විස් කියන මාතෘකාවනම් ලංකාවට අලුත් මාතෘකාවක් නෙමෙයි. දැන් දශක දෙක තුනක ඉතිහාසය පුරාම මුදලට වාහනයක් හයර් කරගෙන යනවා කියන එක බොහොම ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි මේ ක්‍රමයේ අඩුපාඩු බොහොමයක් තිබ්බේ නැතුවමත් නෙමෙයි. වෙන ඔප්ෂන් එකක් නැතිම කමට අපි පාවිච්චි කළා මිසක්. කැන්ගරු, කැන්ගරු බජට්, සොනිට් වගේ දහසකුත් එකක් කැබ් සර්විසස් තිබ්බට වෙලාව ඇතුව කෝල් කරලා කැබ් එක බුක් කරන්න ඕනෙ. යන්න කිට්ටු වෙලා කැබ් එකකට කෝල් කරන්න ගියොත් වැඩේ හබක්. වාහන නැහැ කියනවා. අනික ගමනට යන මුදල අර වෙබ් සයිට් වල හරි ලීෆ්ලට් වල හරි කිලෝ මීටරේට අයකිරීම මෙච්චරයි කියල ගණන් හදල තියෙන වගුව බලල හදා ගන්න ඕනේ. නැතුව දල අදහසක්වත් ගන්න බැහැ. යන වාහනේම  තියාගන්න බැරි අවස්ථාවක්නම් එන්න වාහනයක් හොයාගන්න පට්ටම ගේමක් දෙන්න ඕනෙ. ඉතින් ඔන්න ඔය අඩුපාඩු සේරම අඳුරගෙන ප්‍රවාහන වෙළඳපොල උඩුයටිකුරු කරගෙන ආපු අළුත්ම සේවාවක් තමයි මේ ඔන්ලයින් ඇප් එකක් මාර්ගයෙන් කැබ් බුක් කරල ගමන් බිමන් යන ක්‍රමය. මේක හඳුන්වදීල අවුරුදු 3ක් හෝ 4ක් වගේ පුංචි කාලයක් උනත් ලංකාවේ අපිට නැතුවම බැරි සිස්ටම් එකක් වෙලා දැන් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් බේස්ඩ් කැබ් සර්විසස්. 

 

මේ අළුත්ම කැබ් සර්විසස් සිස්ටම් එක පැසෙන්ජර්ට වගේම ඩ්‍රයිවර්ස්ලටත් හරිම පහසුයි. කැමති වෙලාවක ඔන්ලයින් දාගෙන හයර්ස් යන්න පුළුවන්. පාර්ට් ටයිම් උණත්. අනිත් එක පාරවල් නොදැන උනත් බය නැතුව වැඩේට අතගහන්න පුළුවන් මේ හැම ඇප් එකක්ම වගේ ගුගල් මැප් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන නිසා. ඉතින් බලමුකෝ මේ කැබ් සර්විසස් මොනවද කියල.

 

1. ඌබර්

හරියටම බැලුවොත් ඌබර් කියන සේවාව තමයි මේ ඔන්ලයින් බේස්ඩ් කැබ් සිස්ටම් එක වෙළඳපොළට හඳුන්වා දෙන්නෙ. ලෝකෙ පුරා හුඟක් රටවල ප්‍රචලිත වෙලා නිසා මැනේජ්මන්ට් එක ඒ ඒ රටවල් අනුව වෙනස් උනත්, ඌබර් කියන්නේ මූලිකවම ඇමරිකානු බහු ජාතික ආයතනයක්. ලංකාවේ ඌබර් කියන සර්විස් එක මැනේජ් කරන්නෙ ඉන්දියානු කම්පැනි එකකින්. 

 

ඌබර් ඇප් එක බොහෝ දුරට user friendly ඇප් එකක් කියන්න පුළුවන්. ඌබර්  කැබ් සර්විස් එකේ මූලිකවම තියෙන්නේ වාහන වර්ග තුනයි. ඌබර් ටුක් විදිහට ත්‍රීවීලර්, ඌබර් සිප් (Zip) විදිහට බජට් කාර් වර්ගත්, ඌබර් ගෝ විදිහට ලක්ෂරි ඝණයට වැටෙන කාර් වර්ගත් තමයි. මේකෙ තියෙන හොඳම  දෙයක් තමයි ටුක් හෝ සිප් සර්විස් වල ඩීසල් ත්‍රීවිල් වත් නැනෝ ටැක්සි වත් නැතිකම. ඒ නිසා වාහන වල කොලිටි එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දම අනික් කැබ් සර්විස් වලට සාපේක්ෂව වෘත්තීමය බව ඒ කිව්වේ Professionalism කියන කාරණාව ඉහ​ළ මට්ටමක තියෙනවා කියන්න පුළුවන්.

 

ගණන් හිලව් ගැන කතා ක​ළොත් ස්ථිර මිල ගණන් මේ ඔන්ලයින් කැබ් සර්විස් වල නැහැ. උදේ හවස ට්‍රැෆික් එක, වාහන වලට තියෙන ඉල්ලුම කියන කාරණා මත මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි බොහෝවිට සාමාන්‍ය මීටර් ත්‍රීවිල් හෝ වෙන කැබ් එකක යනවට වඩා බොහොම සාධාරණ මිල ගණන් තමයි මේ ඇප් වලින් පෙන්නන්නෙ. අනිත් එක ඌබර් ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි වේටින්ග් වලට චාර්ජ් නොවෙන එක. අපිට ඇප් එකෙන් මුලින් පෙන්නන මිල තමයි ට්‍රිප් එක අවසානයේ ගෙවන්න ඕනෙ. 

 

ඌබර් සර්විස් එකේ අනිත් හොඳම ෆීචර් එකක් තමයි අපේ ෆෝන් නම්බර් එක භාවිතා නොකර ඩ්‍රයිවර්ට ඔන්ලයින් ඇප් එක හරහාම කෝල් ගන්න පුළුවන් එක. තමන්ගේ පෞද්ගලිකත්වය ගැන වද වෙන අයට මේක හොඳ ඔප්ෂන් එකක්.

 

2. පික් මී 

මේ තමයි ලංකාවේ අනිත් ප්‍රසිද්ධම ඔන්ලයින් කැබ් සර්විස් එක. ඌබර් හඳුන්වා දීමත් එක්ක ඒකට තරඟ කරන්න හදපු ලෝකල් සර්විස් එකක් මේක. හැබැයි ඌබර් වලටත් කලින් ලංකාවේ ප්‍රසිද්ධ උනා කිව්වොත් හරි.  ඌබර් වගේම සෑහෙන්න දුරට යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඇප් එකකින් තමයි මේකත් රන් වෙන්නෙ. අපරාදෙ කියන්න බැහැ ලෝභ නැතුව වාහන කැටගරීස් 10 ක්ම මේකට ඇඩ් කරල තියෙනවා. මෝටර් බයික්, ඩීසල් බජට් ටුක්, නෝමල් ටුක්, Buddy කාර්, මයික්‍රෝ කාර්, මිනි කාර්, නෝමල් කාර්, මිනි වෑන්, නෝමල් වෑන් සහ VIP වාහන විදිහට. මේකෙ බජට් ටුක් සහ buddy කාර් වල කිලෝ මීටරයට මිල ගණන් පවා රුපියල් 29ක් සහ 37ක් විදිහට සඳහන් වෙනවා. අනික් වාහන නම් ඌබර් වගේම ට්‍රැෆික් එක සහ ඉල්ලුම මත මිල වෙනස් වෙනවා. හැබැයි ගමන යන්න කලින් යන කොස්ට් එකේ එස්ටිමේට් එකක් ගන්න පුළුවන්. හැබැයි එකම අවාසිය වේටින්ග් වලට මුදලක් අය වෙන එක තමයි.

 

3. කැන්ගරු කැබ්ස් 

ඔන්න ඔය ඌබර්, පික් මී ආව කියල, ලංකාවේ කැබ් සර්විස් මාකට් එක කණපිට පෙරලුනා කියල අනික් කැබ් සර්විසස් පස්ස ගැහුවට කැන්ගරු නම් සැලුනේ නැහැ. ටිකක් පස්සට ගියත් මෙයාල වැටුන තැනින්ම ආයෙත් වැඩේ පටන් ගත්ත. මෙයාලත් හැදුව ඌබර්, පික් මී වගේම ඇප් එකක්. බොහෝ දුරට තරඟකාරී විදිහට, කැන්ගරු වලට පුරුදු පරණ සුහඳශීලී සේවාවත් එක්කම මෙගොල්ලොත් මාකට් එකේ සෑහෙන්න සැලකිය යුතු තැනක ඉන්නවා. 

වාහන වර්ග කිව්වොත් ත්‍රීවීලර් වල ඉඳන් වෑන් වෙනකන් වාහන වර්ග 6ක් තියෙනවා. මිල ගණන් ඌබර් සහ පික් මී වලට සාපේක්ෂව පෝඩ්ඩක් විතර ඉහ​ළයි වගේම ඇප් එකත් ටිකක් විතර ස්ලෝ ගතියක් දකින්න පුළුවන්.

 

4. ඩිලන් ගෝ 

ඩිලන් ගෝ කියන්නේ ප්‍රසිද්ධ රේසින් ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහත්මය ආරම්භ කරපු සර්විස් එකක්. මේක සම්පුර්ණයෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන කතාව ඉස්සරහට දාල තමයි මාකටින් එහෙම කරන්නෙ. මේක ගත්තම කැන්ගරු ඇප් එකට වඩා හොඳ, ඌබර් එකට ගොඩක්ම සමානකම් තියෙන ඇප් එකක්. හැබැයි ඌබර් ඇප් එකේ තියෙන සමහර ෆීචර්ස් නම් නැහැ. වාහන වර්ගත් කැන්ගරු වගේම 6ක් තමයි තියෙන්නේ. මිල ගණන් උනත් ඒ වගේම තමයි.

 

5. යෝ ගෝ 

ඉස්සර ත්‍රිවිල් වලට මීටර් මැෂින් ජාතියක් තිබ්බ LINK LANKA කියල කොම්පැනි එකකින් හදපු. ඒක ගොඩක් ජනප්‍රිය උනා. අන්න ඒ LINK LANKA ආයතනයෙන් තමයි මේ ටැක්සි සර්විස් එක පටන් අරන් තියෙන්නේ. යූසර් ඉන්ටර්ෆේස් එක ගත්තොත් බොහෝ දුරට පික් මී ඇප් එකට සමාන ඉන්ටර්ෆේස් එකක් තමයි දීල තියෙන්නේ. වාහන කැටගරි 10කම දීල තිබ්බට මොකෝ, ටුක් ටුක්, නැනෝ සහ මිනි කාර් ඇරුණම අනිත් කැටගරි හතේම වාහන නෑ. හතේ හත වැදිලද කොහෙද. සාපේක්ෂව ගණනුත් ටිකක් විතර වැඩියි. වේටින්ග් වලටත් චාර්ජ් වෙනවා ට්‍රිප් එක අවසානයේ. 

 

6. SLT මූව්

ටැක්සි මාර්කට් එක උඩි යටිකුරු කරන්න කියල හිතාගෙන උණු උනුවෙන්ම ආපු ඇප් එක තමයි SLT Muve කියන්නේ. නමේම තියෙන විදිහට ඉතා ප්‍රසිද්ධ සන්නිවේදන ආයතනයක් වෙන SLT ආයතනයෙන් තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ.  වාහන පන්ති හතරක් වෙන් කරලා තියෙනවා POP, BIZ, LUX සහ MAX විදිහට. ඇප් එකත් අනිත් ඇප්ස් වගේම සාමාන්‍ය ඉන්ටර්ෆේස් එකක් එක්ක හදල තියෙන්නේ. ස්පීඩ් එකත් සාපේක්ෂව ටිකක් හොඳයි. 

 

7. You Cab

2019 අවුරුද්දේ පෙබරවාරි මාසෙ හා හා පුරා කියල එලියට දාපු තවත් ටැක්සි ඇප් එකක් තමයි යූ කැබ් කියන්නේ. ඉතා හොඳ සංවිධාන ජාලයකින් තමයි කළමනාකරණය වෙන්නෙ. වෙබ් සයිට් එකට ගිහින් බැලුවොත් ඒක හොඳට පේනවා. වාහන පන්ති 7ක් වර්ග කරලා තියෙනවා බයිසිකලේ ඉඳලම. මේකේ ගොඩක් ආස හිතෙනම වැඩේ තමයි මේකත් එක්ක අපේ ක්‍රිකට් තරු දෙකක් වෙන මහේල සහ සංගත් එකතු වෙලා ඉන්න එක. විශේෂම දෙයක් තමයි ට්‍රිප් එක අවසානයේ ගෙවීම් කරන්න ඩයලොග් ඊසි කෑෂ් හරි මොබිටෙල් එම් කෑෂ් හරි උනත් පාවිච්චි කරන්න පුළුවන් වීම. තව ගොඩක් ඔප්ෂන් ඇප් එකට ගියොත් බලාගන්න පුළුවන්. ඉස්සරහට හොඳ ප්‍රගතියක් ලබන සේවාවක් කියල පේන්න තියෙනවා. 

Cover Image Source – welcometobratislava.eu/taxi.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *