ශිව දෙවි වන්දනාව අපේ රටේත් ඉන්දියාවෙත් ජනප්‍රිය ඇදහීමකි. හින්දු ආගමේ මූලිකයෙකු වන ශිව දෙවියන්ගේ ලිංගයට වැඳුම් පිදුම් කිරීම අපේ රටේ පොළොන්නරු යුගයටත් එපිට කාලයේ සිටම සිදු වී තිබෙන බවට සාධක තිබේ. මේ ශිව දෙවි අපේ කතරගම දෙවියන්ගේ පියාණන් වන දෙවි කෙනෙකි. ඉතින් ඒ දෙවි ගැන කරුණු කාරණා ටිකක් අපි දැන ගමු.
1. ශිව දෙවියන්ගේ තැන
ශිව දෙවි යනු හින්දු ආගමේ මූලික දෙවි කෙනෙක් වන අතර බ්‍රහ්ම විෂ්ණු සහ ශිව හින්දු දහමේ ත්රිමූර්ථිය ලෙස දැක්වේ. විනාශ කිරීම භාරව ඇතැයි සැළකෙන ශිව, ලොව සුරැකීම සහ පරිවර්තනයද කරන්නේය. එතුමා කෛලාශ කන්දේ වැඩවාසය කරන බවට විශ්වාස කරන අතර ශිව ලිංගය ආකාර වූ හිමාලයේ කෛලාශ කන්ද හින්දු භක්තිකයින්ගේ නිරන්තර වන්දනාවට පාත්‍ර වේ. නිතර භාවනායෝගීව වසන ශිව දෙවිගේ ස්ථිර බිරිය පාර්වතිය වේ. ශිව දෙවියන් විනාශකාරී වුවද නිතර අසුරයින් සහ අධර්මිශ්ඨයින් ශිව දෙවි බලයෙන් විනාශ වන බව හින්දු භක්තිකයින්ගේ විශ්වාසයයි.
2. කතරගම දෙවිඳුගේ පියා
ශිව සහ පාර්වතීට දාව කතරගම දෙවියන් උප්පත්තිය ලැබූ බව දේව පුරාණයේ සඳහන් වෙයි. අසුරයින්ගෙන් සුරයන්ට සිදුවූ කරදර වැඩි වූ තැන සුරයින් ගොස් ශිව දෙවියන්ට පැමිණිලි කළහ. ඉන් පසු ශිව දෙවියන් ඔහුගේ බලගතු තෙවැනි ඇස ලෝකය වෙත පහළ කොට ගංගා නම් ගඟ සමීපයේ සෘෂිවරුන්ට දාව දරුවන් 6 දෙනෙකු මවන ලදී. මෙම දරුවන් 6 දෙනා බැලීමට ශිව පාර්වතී ආහ. එවිට දරුවන් සය දෙනාම ඇකයේ ලාගෙන නැලවූ පාර්වතියට දරුවන් සියළු දෙනාම එකට ගත් කල ශිව දෙවිගේ බල ඇති බව දැනුණි. එයින් පසු ඒ මුහුණු සයම එක් වී කතරගම දෙවි බිහිවූ බවට දේව පුරාණයේ සඳහන් වේ.
3. ශිව දෙවි සිහිකරන ශිව රාත්‍රිය
ලොව සෑම ජීවියෙකුම අනෙකුත් සෑම සියළු කර්තව්‍යයක්ම පසෙක ලා ශිව දෙවි නැමදීම සඳහා වෙන් කරගන්නා කාලය ශිව රාත්‍රිය ලෙස හඳුන්වනු ලැබේ. ශිව රාත්‍රී පුණ්‍ය කාලයේදී ශිව දෙවියන්ට ගායනා ආදියෙන් ශිව පූජා සිදු කරයි. ඒ පූජා මාලාවේ තුන්වන යාමයේ පූජා වලින් අවසානයේ බැතිමතුන්ට සිය පව් සමාකරගැනීමේ මහඟු අවස්ථාවක් ලැබේ. ශිව දෙවියන්ගේ දේවියක වන උමාව ලෝක විනාශයේදී සියල්ල විනාශ වනු දැක උපවාසයෙන් සිට විශේෂ පූජා සිදු කළාය. එයින් මතු ඇය ලෝකයේ නැවත ජීවය ඇති වන්නැයි ශිව දෙවියන්ට පූජා පවත්වමින් යැද්දාය. ඒ චාරිත්‍රය අනුව මහා ශිව රාත්‍රී දිනය පැමිණ තිබෙන බව හින්දු දේව ධර්ම ග්රන්ථ වල සඳහන් වේ.
4. ශිව ලිංගය
සාමාන්‍ය පුරුෂ ලිංගික හැඩයට තිබෙන, වෘෂණ කෝෂ පවා නිරූපණය වෙන ශිව ලිංගය යනු වන්දනාමන කරන ලිංගයකට එහා ගිය පූජනීය වස්තුවකි. සංස්කෘත බසින් ලිංගය යනු සංකේතය වේ. සංකේතීය වශයෙන් ශිව දෙවියන් නිරූපණය කිරීමට ලිංගය යොදා ගනී . බුදුන් වහන්සේ උදෙසා පිළිම නිර්මාණය කොට වැඳුම් පිදුම් කිරීමට කලකට පෙර බුදුන් යැයි සිතා ආසන වලට වැඳුම් පිදුම් කළ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව වඩාත් සරලව ශිව දෙවියන් නිරූපණයට සහ වන්දනාමාන කටයුතු සඳහා අතීතයේ බැතිමතුන් ශිව ලිංගය භාවිතා කරන්නට ඇත.
5. ශිව දෙවි කාර්යභාරය
හින්දු මතය අනුව ලොව පාලනය කරන දෙවි තුනකි. ඒ බ්‍රහ්ම විෂ්ණු සහ ශිවයි. එයින් මහා බ්‍රහ්මයා මැවීම් කටයුතු සිදු කරයි. මහා බ්‍රහ්මයාට අතීතය, අනාගතය සහ වර්තමානය දැකීමට මුහුණු තුනක් ඇති අතර මහා බඹා මැවූ ලොව අපල උපද්‍රව වලින් ආරක්ෂා කිරීම විෂ්ණු මගින් සිදු වේ. ශිව දෙවියන්ට විශ්වය පාලනය බාර වේ. ඒ අනුව යම් යම් දේ විනාශ කිරීම ශිව දෙවිට බාර වේ. ඊෂ්වර ලෙසද මේ ශිව දෙවි තුමා හඳුන්වනු ලබයි. ලංකාවේ ශිව දෙවි ඇදහීම සෘජුවම නැතත් අතීතයේ පටන්ම ශිව ඇදහීම තිබුණ බවට පොළොන්නරු යුගයෙන් සාධක ලැබේ. පොළොන්නරු නටබුන් අතර හොඳින් ආරක්ෂා වූ ශිව දේවාල දෙකක් තවමත් දකින්නට තිබේ.
6. ශිව දෙවි ගේ ස්වරූපය
ශිව දෙවියන් ශක්තිමත් සහ විශාල පුරුෂයෙක් ලෙස ප්‍රතිමා වල විරාජමාන වේ. ශිව දෙවිගේ බෙල්ල වටා විශාල නාගයෙකි. ඔහු දිවි සමක් මත හෝ දිවි සමක් පොරවාගෙන සිටී. ශිව දෙවිට අපිට තිබෙන ඇස් දෙකට අමතරව නළලේ තවත් තෙවන ඇසකි. ඒ ඇසින් යම් දෙයක් දෙස බැලුවොත් එය දැවී හළු වී යන්නේ යැයි විශ්වාස කෙරේ. නිතර තවුස් දම් පුරන ශිව දෙවි ගැන සිත් ඇති පාර්වතිය මල් සරා හරහා සිය කටයුත්ත කරගන්නට උත්සාහ ගත්තේය. එවිට ශිව දෙවි සිය තෙවන ඇසින් මල් සරා දෙස බැලූ කල මල් සරා දැවී හලු වී ගියේය. එසේ දැවී හලු වී ගිය මල් සරා සිරුරක් නැති අනංගයෙක් බවට පත් වූ බව දේව පුරාණයේ සඳහන් වේ. ශිව දෙවි ඇතැම් විට නපුර මර්දනයට සිය තෙවන ඇස යොදාගත්තේ වුවද උන් වහන්සේ බැතිමතුනට සෙත සලසන, පිහිට ලබාදෙන දෙවි කෙනෙක් ලෙසද සඳහන් වේ.
7. ශිව දෙවි පිහිට
බැතිමතුනට දරු ඵල නොමැති විට ශිව දෙවියන් හරහා ඒ දරුඵල ලබාගත හැකිය යන විශ්වාසය තිබේ. ඒ අනුව ලංකාවේ ත්‍රිකුණාමල කෝනේශ්වරම් දේවාලයේ ශිව පූජා පැවැත්වීමෙන් දරු ඵල උදා වේයැයි විශ්වාසයක් මිනිසුන් අතර තිබේ. ග්‍රහ අපල දුරු කිරීමේදී නීච රාහුගේ අපල උපද්‍රව දුරු කරගන්නට ශිව දෙවි පිහිට වැදගත් වේ. නපුරු රාහුටත් වඩා නපුරෙකු වූ ශිව දෙවියන්ට රාහු අපල දුරු කළ හැකි බවට විශ්වාස කෙරේ.
දෙවි පිහිට ලබා ගැනීමට ඇති සරලම ක්‍රමය සුප්‍රකට දේවාලයකට ගොස් කපු මහතාට පේන්නට විශාල මුදල් කොළයක් බහා පූජා වට්ටියක් තැබීම බව ඇතැමුන් සිතති. එහෙත් භාවනායෝගී මාදිලියෙන් සිටින මේ දෙවිවරුන් එසේ මුදල් කොළ වලින් රැවටීමට සිතීමම පාපයකි. අපි නිතර බ්‍රහ්ම චරියාවේ නිරත වී අනුන්ට සෙත සලසමින් දිවි ගෙවන්නේ නම් දේව වන්දනාවෙන් නිවැරදිව අපිට දෙවි පිහිට ආරක්ෂාව ලැබේ.
Leave a Reply