කෙල්ලෙක් වුනහම නිදාගන්න කලින් කරන්න වුවමනා දේවල් කීපයක්!

අපි කලිනුත් කිව්වා කොල්ලෙක් වුනහම නිදාගන්න කලින් කරන්නේ මොනවද කියලා. ඒ කියන්නේ චූ කරලා නිදාගන්න එකට අමතරව දවස සැලසුම් කිරීම වගේ නොයෙකුත් දේවල් තියෙනවා කොල්ලෙක්ට කරන්න. හැබැයි ඒ දේවල් ඒ විදියටම කෙල්ලෙක්ටත් කරන්න පුළුවන් සහ කෙල්ලෙක් වුනත් කළ යුතුයි. දත් මදින එකට හරි හෙට දවස සැලසුම් කරන එකට හරි ලිංග භේදයක් නැහැනේ! හැබැයි අපි මේ කියන්නේ ඒවා ගැන නෙවෙයි. ඕන කෙල්ලෙක් නිදාගන්න කලින් කරන්න වුවමනා වඩාත් වෙනස් දේවල් කීපයක් ගැන. හැබැයි මේ කරුණුවලත් තියෙන ෆන් එක තමයි, මේවා කොල්ලෙක්ට වුනත් කරන්න පුළුවන් වීම!

 

1. පැයකට කලින් ෆෝන් ඕෆ්!

Image Source – blog.ecampus.com

නිදාගන්න ගිහිල්ලත් ඉන්ස්ටග්‍රෑම් ගිහිල්ලා ටික් ටොක් වීඩියෝ බලන, සෙලිබ්‍රිටීස්ලගේ ෆොටෝස් බලන එක දැන් දැන් ගොඩක් ගෑණු ළමයින්ගේ පුරුද්දක් වෙලා කියලා සමහරු කියනවා. තව සමහරු ඇඳට ගිහිල්ලත් ෆේස්බුක් එකේ චැට් කරනවා. ඒකේ ඇත්ත බොරු කොහොම වුනත්, ගොඩක් දෙනෙක් ඇඳට යන්නෙත් ස්මාට්ෆෝන් එක අතේ අරගෙන කියන එක බොරුවක් නෙවෙයි. සමහරු ඇඳට ගිහිල්ලා ඔය මොකක්වත් නොකළත්, මලක් හරි කඩනවා.

අපි කියන්නේ ඔය එක දෙයක්වත් කරන්න එපා කියලා. නිදාගන්නේ එකොළහට නම් දහය වෙනකොට ෆෝන් එක ඕෆ් කරන්න. නැතිනම් එයාර්ප්ලේන් මෝඩ් දාලා තියන්න. කොටින්ම කියනවා නම් නිදාගන්න පැයකට කලින් අයින් කරන ෆෝන් එක ආයෙමත් උදේ වෙනකල් අතට ගන්න එපා!

 

2. නිදිමත එනකල් මොනව හරි ලියන්න

කොල්ලන්ගෙ ආටිකල් එකේ අපි කිවුවනේ නිදිමත එනකල් කරන්න පුළුවන් දේවල්. ඊට අමතරව පොඩි ඩයරියක් හරි සටහන් පොතක් හරි අරගෙන හිතට එන එන දේවල් ලියන්නත් පුළුවන්. ඒවා ලස්සන, නිර්මාණාත්මක ලියවිලි වෙන්න ඕන නෑ. මොනවා හරි දෙයක් ලියවෙන්න තමයි ඕන. ඒ ලියන දේවල් කාටවත් පෙන්නන්නවත් වුවමනා නැහැ. හැබැයි එහෙම ලියනකොට තේරෙයි ඒක මොන තරම් භාව විරේචකයක්ද කියලා. බොහොම සැහැල්ලුවෙන් නිදාගන්නත් පුළුවන් වෙයි එහෙම ලිව්වට පස්සේ.

 

3. වතුර බිව්වට කමක් නෑ

මේකත් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අදාළයි. සමහරුන්ට තියෙන පුරුද්දක් තමයි නින්දට යන්න කලින් තේ එකක් හරි කෝපි එකක් හරි බොන එක. අන්න ඒක සුවබර නින්දකට කිසිසේත්ම හිතකර නෑ. ඒවා විතරක් නෙවෙයි, ඔය එනර්ජි ඩ්‍රින්ක්ස්, සෝඩා වර්ග ඇතුළු ඕනෑම බීමක් නිදාගන්න යන්න පැය කීපයක් ඇතුළතදී ගන්න හොඳ නැහැ. අපිට බය නැතුව නිදාගන්න කලින් ගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ වතුර විතරයි.

ඇත්තටම කෝපි එහෙම බොන්න ඕන නම් අපි රෙකමන්ඩ් කරන්නේ දවසට දෙපාරක් තමයි. උදේ වරුවේ එකක් බිව්වොත් හවස් වරුවේ තව එකක්. ඊට පස්සේ රෑට කැෆීන් අඩංගු කිසිම දෙයක් නොබී ඉන්න එක තමයි ඇඟට ගුණ.

4. පොඩි බාත් එකක්

Image Source – kerotin.com

රෑ වෙලා නාන්න එපා කියලා කියනවනේ. ඒකේ ඇත්තක් තියෙනවා. විශේෂයෙන්ම සෙම් අමාරු, පීනස වගේ දේවල් එන්න පුළුවන් අයට රෑට නාන එක කොහෙත්ම හොඳ නෑ. හැබැයි රෑට නිදාගන්න කලින් ඇඟපත හෝදගන්න එක බොහොම හොඳ පුරුද්දක්. ඒකේ සෞඛ්‍යමය වාසිත් තියෙනවා. ඊටත් වඩා රෑට ඇඟපත හෝදගත්තට පස්සේ ඇඟ සිහිල් වෙන ක්‍රියාවලිය නින්දට එහෙම බොහොම හිතකරයි.

 

5. කොණ්ඩේ ගොතනවද?

මේකත් කොණ්ඩේ වවලා ඉන්න ගෑණු ළමයින්ට ඉස්සර අම්මලා කරන්න කියන දෙයක්. ඒ තමයි කොණ්ඩේ හොඳට පීරලා එක කරලකට හරි කරල් දෙකකට හරි ගොතන එක. ඒකේ තියෙන සෞඛ්‍යමය වාසියක් ගැන නම් අපි කියන්න දන්නෙ නෑ. ඒත් ඉස්සර කාලේ ආච්චිලා අම්මලා කියනවා එහෙම කරන්න කියලා. හැබැයි එහෙම කොණ්ඩේ ගෙතුවත් නැතත්, දිග කොණ්ඩයක් තිබුණත් කොට කොණ්ඩයක් තිබුණත්, කොණ්ඩේ හොඳට පීරන එක නම් හොඳ පුරුද්දක්. ඒකෙන් හිස් කබලට හොඳ මසාජ් එකක් හම්බුවෙන එක විතරක් නෙවෙයි, කොණ්ඩේ සෞඛ්‍ය සම්පන්න බවටත් හොඳයි.

 

6. පොඩි භාවනාවක්

Image Source – medicalnewstoday.com

සාමාන්‍යයෙන් භාවනා කරන්න කිවුවහම ඒක කම්මැලියි කම්මැලියි කියලා සමහරුන්ට හිතෙනවා. සමහරු භාවනා කරන්න කැමතියි. හැබැයි අපි යෝජනා කරන්නේ වෙනස් විදියක භාවනාවක්. මේක රිලැක්සින් වැඩක්. ඇඳට ගිහිල්ලා මේක කරන්නත් පුළුවන්. හැබැයි බිම වැතිරිලා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. බිම උඩුබැලි අතට වැතිරිලා, අත් දෙක ඇඟ දෙපැත්තේ තියාගෙන, ඇස් පියාගෙන හිතන්න. හිතන්න තමන්ට ආසම දර්ශනයක් ගැන. මුහුදු වෙරළක් හරි තණ බිමක් හරි මොකක් හරි. දැන් එතන තමුන් ඉන්නවා කියලා හිතාගෙන එතන සුවපහසු බව, එතන ඇහෙන කුරුළු හඬ හරි මුහුදේ හඬ හරි ගැන හිතන්න. රිලැක්ස් වෙන්න. වෙන මොනවා වත් හිතන්න එපා. ඕන නම් පසුබිමෙන් රිලැක්සින් මියුසික් එකක් දාලා ඒ හඬට අවධානය යොමු කළත් කමක් නෑ. වෙන්න ඕන අවධානය තියෙන එක. හැබැයි එහෙම්මම නින්ද යන්නත් බෑ. නින්ද යනවා කියන්නේ අවධානය බිඳිලා කියන එක.

ඕන නම් ඔය මෙඩිටේෂන් ඇප් එකක් ෆෝන් එකට දාගෙනත් ඕක කරන්න පුළුවන්.

 

7. සමට හිතකර ආලේපන

ගැහැණු ළමයි තමන්ගේ සම ගැන, සුන්දරත්වය ගැන කොයි තරම් හිතනවාද කියන එක අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. එහෙම හිතන්නේ නැති ගැහැණු ළමයෙක් වුනත් ඒ ගැන හිතන්න පටන් ගන්න ඕන. එතකොට ඔය සම ආරක්ෂා කරන්න, ඇස් යට රැළි එහෙම නැති කරන්න තියෙන ආලේපන වර්ග තියෙනවා. එහෙම නැතිනම් ස්වභාවික දේවල් වලිනුත් ගෙදරදීම තමන්ගේ සමට සත්කාර කරගන්න පුළුවන්. ඔය දේවල් අතරින් නිදාගන්න කලින් මුහුණ හෝදනකොට ක්ලෙන්ස් එකක් කරන එක, ඉන් පස්සේ නයිට් ක්‍රීම් එකක් ගාන එක ගැහැණු ළමයෙක් පුරුද්දක් විදියට කරන එක හොඳයි. හැබැයි ඒකට ගැලපෙන ක්‍රීම් වර්ග, ක්ලෙන්සින් වර්ග නම් තෝරගන්න හොඳ දැනුමක් ඒ ගැන තියෙන රූපලාවණ්‍ය ශිල්පියෙක්ගේ හරි ශිල්පිනියකගේ හරි සහාය ලබාගන්න එක වටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *