හැමෝම ආස කෝපි ගැන වැඩි දෙනෙක් නොදන්න දේවල්

කෝපි කියන්නෙ ඉතින් කා අතරෙත් බොහොම ජනප්‍රිය පානයක්නෙ. හරියටම කිව්වොත් කෝපි කියන්නෙ ලෝකයේ වැඩිපුරම හුවමාරු වෙන වෙළඳ භාණ්ඩ එහෙමත් නැත්තම් ද්‍රව්‍ය අතරේ දෙවෙනි තැනට තියෙන භාණ්ඩය. මුල් තැන තියෙන්නෙ ඛණිජ තෙල්. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කෝපි වල තරම. ලංකාවෙ අපි අතරත් හරිම ජනප්‍රිය, ඒ වගේම අපේම රටේ වැවෙන, හදන දෙයක් කියල අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් පානයක් තමයි මේ කෝපි කියන්නෙ. ඉතින් කෝපි බොන, නොබොන කවුරු කවුරුත් කෝපි ගැන දැනගෙන ඉන්න ඕන මේ දේවල් කියවල බලන්නකෝ.

 

 

1. මොනවද මේ කෝපි?

 

කෝපි කියන්නෙ අපි හැමෝම දන්න විදිහට එක්තරා ගසකින් ලබාගන්න ඇට වර්ගයක් වේලලා, බැදලා, කොටලා උණු වතුරෙන් තැම්බෙන්න තියලා සකස් කරගන්න රසවත් පානයක්. ලෝකයේ ජනප්‍රියම පානයන් අතරේ ඉහළම තැනක තියෙන පානයක්. මේ කෝපි ඇට ලබාගන්නේ Coffea කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන Rubiaceae කියන පවුලට අයත් ශාකයකින්. මේ ගස් වැඩිපුරම වැවෙන්නෙ දකුණු අප්‍රිකානු රටවල සහ නිවර්තන ආසියානු රටවල් ආශ්‍රිතව. 

 

 

2. කෝපි වල ඉතිහාසය

 

කෝපි වල ඉතිහාසය එක දිගට කියන්න ගියෝතින්නම් පිටු ගාණක් උනත් ලියන්න පුළුවන් කතාවක්. හැබැයි කෙටියෙන් කිව්වොත් මේන්න මෙහෙමයි. කෝපි කියන පානය ගැන මුලින්ම හොයාගෙන තියෙන්නෙ ඉතියෝපියානුවන් කියල තමයි කියන්නෙ. ඉතියෝපියානු ජාතික කාල්දි කියන එඬේරා තමන්ගේ එළුවන් එක්තරා ගසක ගෙඩි වර්ගයක් කෑමෙන් පස්සේ විශේෂ හැසිරීමක් පෙන්වන බව නිරීක්ෂණය කරලා තියෙනවා. ඔහු මේ බව පල්ලියේ අධිපතිට දැනුම් දෙනවා. ඒ පල්ලියේ අධිපතිගේ අදහසක් අනුව තමා මේ ඇට වර්ගය වේලලා, බැදලා පානයක් විදිහට සකස් කරගන්නෙ. මෙහෙම සකස් කරගත්ත පානයෙන් රාත්‍රී කාලයේ යාඥාවන් කරන්න පැය ගණන් ඇහැරිලා ඉන්න අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබිලා තියෙනවා. 

 

 

3. යක්ෂයාගේ බීම

 

හැබැයි මුලදී ක්‍රිස්තියානුවන් විශ්වාස කලේ මේ කෝපි කියන්නෙ සාතන්ගේ නිර්මාණයක් කියලයි. අටවෙනි කෙලමන්ට් පාප්තුමන්ගේ මැදිහත්වීමෙන් මේ පානය ක්‍රිස්තියානුවන්ට සුදුසු බව ප්‍රකාශ කෙරෙනකන්ම කෝපි හැඳින්වුණේ යක්ෂයාගේ පානය විදිහට.

ඒ වගේම 1511 මක්කාව පාලනය කරපු ඛයිර් බෙග් කියන පාලකයාත් කෝපි වලින් ඇතිවෙන උත්තේජනය නිසා මිනිස්සු එයාගෙ පාලනයට එරෙහි වෙයි කියන බය නිසා කෝපි කියන පානය පව්කාර, ඉස්ලාම් ආගමේ කියන විදිහට හරාම් පානයක් ලෙස නම් කරලා කෝපි බීම තහනම් කරලා තියෙනවා. 1524 දි තුර්කි ජාතික සුල්තාන් වරයෙකුගේ මැදිහත් වීමෙන් මේ නීතිය ඉවත් වෙනකන්ම් කෝපි බීම මක්කමදී තහනම් වැඩක් වෙලා තිබිලා තියෙනවා.

 

 

4. සාමාන්‍ය කෝපි සහ ක්ෂණික කෝපි

 

අපි එදිනෙදා ජීවිතේදී දන්න විදිහට මේ කෝපි ප්‍රධානවම වර්ග දෙකක් තියෙනවනේ. ඒ සාමාන්‍ය අපි බොන හරිස්චන්ද්‍ර, අයිලන්ඩ් වගේ සාමාන්‍ය කෝපි සහ නෙස්කැෆේ, Bru වගේ ක්ෂණික කෝපි විදිහටයි. ඒ දෙකේ වෙනස මේන්න මේකයි. සාමාන්‍ය කෝපි කියන්නෙ අපි කවුරුත් දන්න විදිහට කෝපි ඇට වේලලා, බැදලා, කුඩු කරලා හදන එකටයි. Instant නැත්තම් ක්ෂණික කෝපි කියන්නෙ එහෙම හදලා දිය කරපු සාමාන්‍ය කෝපි නැවත අධි තාපයක් හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කරලා හදන එකටයි. හදන විදිහ වගේම මේ කෝපි වර්ග දෙකේ අඩංගු වෙන කැෆේන් ප්‍රමාණයන්ගේත් වෙනසක් තියෙනවා. සාමාන්‍ය කෝපි වල ක්ෂණික කෝපි වලට වඩා වැඩි ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙනවා කියල තමයි කියන්නෙ.

 

5. කෝපි ඇට වර්ග 

 

 

මේ කෝපි කුඩු සකස් කරන්න ගන්න කෝපි ඇට ප්‍රධාන වර්ග දෙකක් යටතේ වර්ග කෙරෙනවා.

  • Arabica – මේක තමයි වැඩිපුරම ජනප්‍රිය කෝපි වර්ගය. මේ වර්ගයේ තියෙන වෙනස් රස නිසාම කෝපි වලට කැමති හුඟක් දෙනෙක් තෝරගන්නෙ මේ Arabica කියන වර්ගය. 
  • Robusta – Arabica කියන වර්ගය වැඩිපුරම ප්‍රසිද්ධ උනත් මේ robusta ලාභදායී වගේම අනෙක් වර්ගයට වඩා ටිකක් සැරයි. ඒ වගේම Arabica වලට වඩා කැෆේන් ගතියත් මේ වර්ගයේ වැඩියි. 

ලෝකයේ සමස්ථ කෝපි නිෂ්පාදනයෙන් 60% Arabica කියන වර්ගයත් 40%ක් Robusta කියන වර්ගයත් කියල තමයි සංඛ්‍යා දත්ත වල සඳහන් වෙන්නෙ.

 

 

6. විවිධ කෝපි පාන වර්ග

 

 

කලින් කියපු කෝපි ඇට වර්ග පාවිච්චි කරලා හදන කෝපි පානයන් වර්ග කීපයක්ම තියෙනවා. 

  • Black

මේ අපි හැමෝම දන්නා කළු කෝපි. කෝපි කුඩු උණුවතුරේ දිය කරලා හදාගන්න පානය. ලංකාවේ අපි සීනි එකතු කරලා පැණි රසට බිව්වට පිටරට අයනම් නියම කෝපි රසට තමයි බොන්නෙ.

  • Espresso

මේ කියන්නෙ කෝපි කුඩු එක්ක උණු වතුර බොහොම ස්වල්පයක් පීඩන මැෂින් එකකින් කළවම් කරලා හදාගන්න විදිහක්. මේක ඉතාලි ක්‍රමයක්. වෙනම බොනවට වඩා හුඟක් වෙලාවට මේ espresso පාවිච්චි කරන්නෙ වෙනත් කෝපි පානයන් හදාගන්න මූලික අමුද්‍රව්‍යයක් විදිහට.

  • Latte

වඩාත්ම ජනප්‍රියම කෝපි පානය මේක කිව්වොත් වැරදි නැහැ. Espresso සමඟ කිරි කලවම් කරලා හදාගන්න පානයක්. 

  • Cappuccino

මේකත් Latte වර්ගයක්. හැබැයි සාමාන්‍ය එකට වඩා පෙණ ගතියෙන් යුක්තයි. ඒ වගේම උඩින් කොකෝවා හෝ කුරුඳු කුඩු ඉහලා පිළිගන්වන්නේ. 

  • Americano

බ්ලැක් කොෆී වගේම espresso දිය කරලා හදන පානයක්.

  • Mocha

මේක චොකලට් espresso පානයක්. කිරි එක්ක කළවම් කරලයි පිළිගන්වන්නෙ.

මේ නිතර අහලා පුරුදු ප්‍රසිද්ධ වර්ග වලට අමතරව Doppio, Cortado, Red Eye, Galao, Lungo, Macchiato, Ristretto, Flat White, Affagato, Café au Lait සහ Irish කියන වර්ගත් කෝපි වලින් හදන විවිධ පානයන්.

 

 

7. කෝපි බීමේ වාසි අවාසි

 

කෝපි බොන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි කිව්වොත් මෙන්න මෙහෙමයි.

  • කෝපි කියන්නෙ ශරීරයේ ක්‍රියාශීලීත්වය වර්ධනය කරන ශක්තිජනක පානයක්.
  • කෝපි වලින් අනවශ්‍ය මේදය දහනය කරලා බර අඩු කරගන්න උදව් වෙනවා.
  • මානසික ඒකාග්‍රතාවය ඉහළ යනවා.
  • පිළිකා, හෘදයාබාධ, පාකින්සන් වගේ ලෙඩ රෝග අවදානම අඩු කරන්නත් කෝපි වලට පුළුවන්. 
  • දියවැඩියා අවදානමත් අඩු කරන්න කෝපි වලට පුළුවන්.
  • ඒ වගේම මානසික මට්ටම, විෂාදය වගේ තත්ත්වයන් පාලනය කරන්නත් කෝපි උදව් වෙනවා.

අවාසි කිව්වොත් මෙහෙමයි.

  • ගුණාත්මක බවෙන් අඩු කෝපි පානයෙන් ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඇබ්බැහියක් විදිහට බොනවානම් හොඳම තත්ත්වයක කෝපි වර්ගයක් තෝරගන්න ඕන.
  • කෝපි වල අඩංගු කැෆේන් නිසා පොඩි කාලසීමාවක් ඇතුළත අධිකව පරිභෝජනය ශරීරයට ඉතාම අහිතකරයි.
  • කැෆේන් වලින් කළලයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් නිසා ගර්භණී කාලයේ භාවිතය අඩු කරන තරමට හොඳයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *