අපේ රටට සැරින් සැරේ ව්‍යසන එනව. අර්බුද එනව. එහෙම නැති වුනොත් අපිම ඒවා හදාගන්නවා. කොටිම්ම අපි පත් කරගෙන තියෙන ආණ්ඩුවම ව්යසනයක්නෙ. කලින් ව්‍යසනවලට විසඳුමක් විදියට පත් කරගත්තු ව්යසනෙන් පීඩා විඳින අපි ඊළඟට හොඳටම කෙලවන ව්‍යසනේ මොකද්ද කියල තෝරගන්න බැරුව දතකන ගමන්නෙ ඉන්නෙ. ඒ අතරෙ තමයි මේ අරමුදල් කතා බහ ඇතිවෙන්නෙ. ආණ්ඩුවක් විසින් කරන්න ඕන දේවල් ආණ්ඩුව නොකරනවනං ඒ දේවල් මිනිස්සු විසින් හෝ කරන්න ඕන කියන තැන අපි ඉන්නව. හැබැයි එහෙමයි කියල දකින දකින අරමුදලට පවු කියල හිතුණු පළියට සල්ලි දෙන එක නොකළ යුතුයි. මොකද ඔය විදියෙ අරමුදල් ඕගනයිස් කරලම මාසෙ ආදායම හොයාගන්න පුද්ගලයො අපි අවට ලෝකෙ ඕනතරං ඉන්නව.
1. එපාම එපා
ආධාර කරද්දි මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්න ඕන දේවල් ගැන සටහන පටන්ගන්නෙ මෙන්න මේ දේ ගැනනං ලොකුවට හිතන්නම එපා කියලයි. ඒ තමයි අරමුදලට දෙන ගාණ. තමුන්ට දෙන්න පුළුවන් රුපියල් විස්සක් නං ඒ රුපියල් විස්සත් කෝටි ගණං පොට්ටනි ගහං ඉන්න මිනිස්සුන්ට වඩා වටිනවා. යම් අරමුදලකට සල්ලි දෙද්දි ඒ දෙන සල්ලි ගැන හිතනවනං හිතන්න ඕන තමුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ගාණක් දෙන එක ගැන විතරයි. මොකද ඉතිං අන් මිනිස්සුන්ව දුකින් මුදවගන්න සල්ලි දීලා තමුන්ගෙ ආර්ථිකේට කෙලවගන්න ඕන නැහැනෙ. ඒ නිසා මං විස්සක් දෙන නිසා මං කොං වෙයිද කියල හිතන්නෙපා. හැම රුපියලක්ම කවුන්ට් වෙනවා.
2. මේකට ආධාර කරල වැඩක් තියෙනවද?
මෙන්න මේකනං හිතන්නම ඕන දෙයක්. දැන් ඔයා ආධාර කරන්න හිතන අරමුදලක් තියෙනවනෙ. ඒක ඇත්තටම වියදං කරන්න ඕන දෙයක්ද කියන දේ හිතන්න. මොකද ඔයාට අරමුදලක් වෙනුවෙන් සල්ලි දෙන්න අවශ්‍යනං ඒ වෙනුවෙන් ඕනතරං අරමුදල් අපේ ලංකාවෙ බිහි වෙලා තියෙනවා සහ බිහිවෙමින් පවතිනවා. ඒ නිසා ඔයාගෙ මුදල මේ මොහොතේ වැදගත්ම දේ වෙනුවෙන් වෙන් කරන්න හිතට ගන්න. මොකද වඩා හදිස්සි සහ වඩා වැදගත් දේ කියන දේ තීරණය කිරීම හදවතට වඩා මොළේට ඉඩ දීලා හිතන්න. මොකද සමහරු බොරුවටත් ආධාර ඉල්ලනවනෙ. එකම රෝගියගෙ වෛද්‍ය ලිපි ලේඛනවලින් ප්‍රදේශ කිහිපයක සල්ලි එකතු කිරිලි එක එක නම් යටතේ සිද්ධ වෙනවා.
3. කවුද ඕගනයිස් කරන්නෙ?
වැදගත් ප්‍රශ්නයක්. කවුද මේ අරමුදල ඕගනයිස් කරන්නෙ? ඒ අය ලොකු කොම්පැනියක්ද? කොම්පැනියෙ නඩත්තුවටම ලොකු ගාණක් යනවද? එහෙමනං එහෙම වැඩකට උදවු කරලා වැඩක් තියෙනවද? ස්වේච්ඡා සේවයක් නොවෙන අරමුදලක් වෙනුවෙන් වියදං කරන වැඩි ප්‍රමාණයක් යන්නෙ රට සවාරි, ගංවතුර නවත්තන්න පවත්වන කැන්ටාටා සංදර්ශන හෝ නියඟෙට එරෙහි වැහි නැටුම් වැනි කුණුහරුප වෙනුවෙන් නිසා ඔය ඕගනයිස් කරන්නෙ කවුද සහ ඒ අයගෙ සමාගම් නඩත්තුව ගැන විස්තර හොයන එක ලොකුවටම හිතන්න ඕන. කොටිම්ම අමාරුවෙන් හම්බුකරපු සල්ලි තුන්වැනි පාර්ශවයක් හරහා අසරණ වුණු මනුස්සයට දෙන්න කලින් රිසර්ච් කරන්න කියලයි මේ කියන්නෙ.
4. විනිවිදයිද?
මේ ව්‍යාපෘතිය විනිවිදයිද කියන දේත් හිතන්න ඕන. ඒක බලන්න පුළුවන් හොඳම විදියක් තමයි තමුන් තීරණය කරපු අරමුදල ආරම්භ කරපු සාමාජිකයො මින් පෙර සිදු කරපු වැඩ මොනවද කියල හොයන එක. ඒවයෙ ආදායම් සහ වියදම්, විනිවිද බව, සිදු කරපු උදවුවේ ප්‍රමාණය සහ ඒ උදවු ලැබූවන්ගේ වර්තමානය, එතන මාකටින් සිද්ධ වුනාද? සල්ලි ගැහිලි වලින් ගේම ගහලා ක්‍රෙඩිට් දමාගැනිලි සිද්ධ වුනාද කියන හැම දේම හොයාගන්න. තමුන් අනුන්ට උදවුවක් කරන අරමුණින් කරන වියදමේ සතුට හිතේ තියෙන්නෙ ඒක නිසි ලෙසින් ප්‍රයෝජනවත් වුනොත් විතරයි. ඒ නිසා මේ රිසර්ච් එක අතිශය වැදගත්.
5. මෙතඩ්
සල්ලි දාන්නෙ කොහොමද? පෞද්ගලික නමකින් තියෙන එකවුන්ට් එකකටද? මේ වෙනුවෙන්ම හදපු එකවුන්ට් එකකින්ද? මින් පෙරත් සල්ලි එකතු කරපු මුත් කිසිම වැඩක් නොකරපු ආයතනයක එකවුන්ට් එකකින්ද? එහෙමත් නැත්තං තමුන්ගෙන් ඒ මුදල ගෙනියන්න කවුරුන් හෝ එනවාද? කියන හැමදේම හිතන්න. තමුන්ගේ මුදල් ලැබුණු බවට සහතිකයක් ලැබෙනවාද? මේ ගැන නොහිතීම අනතුරු ගොඩකට අත වනන්න හේතුවක් වෙන්න පුළුවන්.
6. දේශපාලනේ
දේශපාලනේ ගෑවෙනවද කියන එකත් හොයන්න. මොකද ඉතිං දන්නවනෙ අවුරුදු හැත්තෑවක් තිස්සෙ රජ කරපු පක්ෂ දෙකත් අරගල කරපු පක්ෂයත්, අනිත් පක්ෂවලින් ගැලවි ගැලවි රජ වෙන්න හදන පක්ෂවත් කිසිම යහපතක් මේ රටට නොකරපු විත්තිය. ඒ නිසා තමුන් මහන්සි වෙලා උපයපු මුදලින් කිසිම දේශපාලකයෙකුට ලකුණු දාගන්න හෝ විවෘත කිරිලිවලට එන්න අවස්ථාවක් දෙන්න එපා. ඊටපස්සෙ තමුන් දීපු මුදල ගැනත් නරක හැඟීමක් ඇති වෙන එක වලක්වා ගන්න බැරි වේවි.
7. තනියෙන් කරන්න පුළුවන්ද?
මේක තමයි වැදගත්ම. උදාහරණෙකට මෙහෙම හිතමු. අසරණ මනුස්සයෙකුට ගෙයක් හදන්න සිමෙන්ති ගන්නද මේ උදවුව කරන්නෙ? එහෙමනං ඒ මනුස්සයට සිමෙන්ති කොට්ටයක් ගෙනිහින් දෙන්න. පිළිකා රෝහලට තැඹිලි අරගෙන දෙන්නටද මේ වියදම කරන්නෙ. එහෙමනං තමුන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදලින් තැඹිලි ගෙනවිත් රෝහල් පරිශ්‍රයට බාරදෙන්න. මේ විදියට තමුන්ට තනියෙන් සිද්ධ කරන්න පුළුවන් දේවල්වලට තුන් වෙනි පාර්ශවයක මැදිහත් වීමට ඉඩ දෙන්න එපා. කොයි තරම් ගුණ කරන තුන් වැනි පාර්ශව තිබුනත් ඒ හා සමානවම අසරණයින්ට උදවු කරන මිනිස්සුන්ගේ මුදලින් වැජඹෙන නුහුගුණයින් මෙලොව සිටින වග වටහාගන්න. එනිසා පුළුවන්නං මේ දේවල් තනියෙන් කරන්න. බැරිමනං අපි කියපු රිසර්ච් එක කරලා වැදගත් විදියට ඒ මුදල යොදවන්න.
Leave a Reply