ලංකාවේ ඉන්න නැන්දම්මලා වර්ග!

නැන්දම්ම කියන්නෙ ඉතින් හම්මේ…! මතක් උණාම දෙයියො බුදුන් සිහිවෙන චරිතයක්නෙ හුඟ දෙනෙකුට… සමාජ සම්මතය හොඳ නැති උණාට රත්තරන් වටින නැන්දම්මල ඕනතරම් නැතුව නෙමෙයි. කොහොම වෙතත් මේ කියන්න යන්නෙ ලේලිලාගෙ නැන්දම්මල ගැන. හෙට අනිද්දට පවුල් පන්සල් වෙලා නැන්දම්මල එක්ක සාමෙන් සමඟියෙන් ඉන්න හීන දකින නංගිලාට කාරණේ වටහා ගන්නයි, පවුල් වෙලා ඉන්න අක්කලාට බඩ අල්ලන් හිනාවෙන්නයි, මේ කියන්න යන්නෙ ලංකාවෙ ඉන්න නැන්දම්මලා වර්ග ගැනයි. බෑණවරුත් ඔළුව දාල බැලුවට කාරි නෑ. ගිරේට අහුවුන පුවකෙ වගේ නොඉන්න පාඩමක් ඉගෙන ගන්නත් බැරි නෑ.

 

1. සදාදර නැන්දම්මා

Image Source – verywellfamily.com

මේ කියන්න යන නැන්දම්මල බොහෝම දුර්ලභ ගණයේ නැන්දම්මල කොට්ඨාසයක්. ඉස්සරහට රතු දත්ත පොතට එහෙමත් ඇතුළත් වෙන්න බැරි නෑ. මේගොල්ලො තමන්ගෙ පුතාටත් වැඩිය ලේලිට ආදරෙයි. එක්කො තමන්ට දුවල නැති නිසා හරි, නැත්තම් ඉන්න දූල පිටට දීග දීල නිසා හරි ගෙදර ඉන්න ලේලි පොඩ්ඩට පණ හා සමානව ආදරෙයි. කන්න බොන්න උයන එකේ ඉඳන් ගෙදර දොර ඔක්කොම රාජකාරි ලේලිට කරල දෙන්නෙ නැන්දම්ම අතින්. වැඩක් පලක් කරන්නවත් දෙන්නෙ නැති තරම්. ලේලි අතින් වෙන අඩු පාඩු වැරදි මහ ලොකුවට ගණන් ගන්නෙ නෑ. ඒ තරමටම ආදරෙයි. කොටින්ම නෝන මහත්තය දෙන්න වලියක් දාගත්තත් නැන්දම්ම ඉතින් ගන්නෙ ලේලි පොඩ්ඩ ගෙ පැත්ත තමයි.

 

2. මචං ෆිට් එක

Image Source – newslocker.com

හොඳම යාළුව තරම් ලේලි පොඩ්ඩත් එක්ක මචං ෆිට් එකේ ඉන්න නැන්දම්මල තමයි මේ. ඕනම ක්‍රිමිනල් වැඩකට ලේලිගෙ සහයට ඉන්නව. කන්නද, බොන්නද, පාටි දාන්නද, නටන්නද එකී නොකී මෙකී ඕනෑම කාරියකට සපෝර්ට්. ලේලිගෙ රහසුත් ආයෙත් උපරිමෙන්ම රකිනව. හැබැයි ඉතින් මේ ටයිප් එකේ නැන්දම්මල පොඩ්ඩක් විතර ඇණේ. ඕන එකටයි එපා එකටයි ඔක්කෝටම ඇඟිලි ගහනවා. ෆිට් එක වැඩි කමට නැන්දම්මට ෂොපින් යන්නයි, කාන්තා සංගම් මුණගැහෙන්න යන්නයි ඔක්කෝටම ලේලි පොඩ්ඩ තමයි එල්ලන් යන්නේ. ඒ වෙලාවට තමයි ඉතින් හිතෙන්නේ අපෝ ගාණකට හිටියනම් ඉවරයි කියල. කොයික වෙතත් සාපේක්ෂව ගත්තොත් නම් මේ කොට්ඨාසය හොඳයි කියන පැත්තට තමයි වැඩි බර තියෙන්නෙ.

 

3. පතෝල වගේ නැන්දම්මා

Image Source – usatoday.com

මේ කියන්න යන ජාතියේ නැන්දම්මලානම් උන්නත් නෑ වගේ. කාටත් කරදරේකුත් නෑ, හැබැයි ඇති විශේෂ හොඳකුත් නෑ. පුත්‍ර රත්නය බන්දල දුන්නට පස්සේ පිනක් දහමක් කරගෙන, පොතක් පතක් කියෝගෙන, වත්තේ වැඩක් කරගෙන පැත්තකට වෙලා ඉන්නව. හුඟක් වෙලාවට වෙනම තමයි පදිංචියත්. හැබැයි ඉතින් බලෙන් ගිහින් ඇදගෙන ආවත් උවමනාවකට උනත් එන්නෙ බොහොම අකමැත්තෙන්, දාහක් කතන්දර කියල තමයි. මේ නැන්දම්මලා බොහෝවිට ලේලි පිට කියලම තමයි සලකන්නෙ. තමන්ගේ දරුවෙක් ගාණට දාගන්නෙ නම් නෑ කවදාවත්. ඔන්න ඔහේ උන්ට හොඳ නිසා බැඳගත්ත නම් ඕන විදිහකට හිටපුදෙන් කියන එක තමයි මෙයාගෙ තියරිය. හිටියත් එහෙමට කරදරයක් නැති නිසා මෙයාලත් හොඳයි කියල කියන්න පුළුවන්.

 

4. දූලගේ අම්මා

Image Source – tvnz.co.nz

මේ තමයි ලංකාවේ දැනට සුලභවම දකින්න ඉන්න නැන්දම්මල වර්ගය. මේ ගණයට වැටෙන්නේ පුතාල සහ දුවල දෙගොල්ලොම ඉන්න අම්මලා. ඔක්කොම දරුවො එකයි වගේ පෙන්නුවට දූල තමයි මෙයාලගෙ නම්බර් වන්. දුව බැඳපු බෑනා ඉස්තරම්, දුව තමයි ලස්සන, දුවගේ ළමයි තමයි දක්ෂම වගේ අමුතු අමුතු කතන්දර කෝටියයි. ලේලිගෙ වැරදි මහා පරිමාණව දැක්කට දූගෙ වැරදිනම් ඇහැට පේන්නෙත් නැති තරම් මෙයාලට. දුවටයි එයාගෙ පවුලටයි සියළුම උදව් පදව් නොපිරිහෙලා කරන මේ නැන්දම්මා ලේලිට උදව්වක් ඕන වෙලාවකනම් ඇහැක් ඇරලවත් බලන්නේ නෑ. ඔය අහල පහලට ඔළුව දාල බැලුවොත් මේ වගේ නැන්දම්මල එක මිටට දහයක් විතර අල්ලගන්න බැරි නෑ.

 

5. යටිකූට්ටු නැන්දම්මා

Image Source – youtube.com

නැන්දම්මලා අතරින් හොයාගන්න පුළුවන් අති භයානකම වර්ගය තමයි මේ යටිකූට්ටු නැන්දම්මලා. පිටට පේන්නනම් මේ තරම් හොඳ නැන්දම්මෙක් නෑ. ලේලිට පණ ඇරල ආදරෙයි. පිට කෙනෙක්ටවත් ලේලි පොඩ්ඩට වචනයක් කියන්න දෙන්නේ නෑ. නැන්දම්ම තමයි පැනල බේරගන්නෙ. හැබැයි ලේලි නැති තැන නඩු කෝටියයි. ලේලිගෙ වැරදි පුතාට කියන්නයි, අහල පහල අයට කියන්නයි, වැඩ ගොඩයි මෙයාලට. ඔක්කොම සෑහෙන්න සූක්ෂම විදිහට තමයි කෙරෙන්නේ. කොටින්ම ලේලිවත් පිළිගන්නෙ නෑ නැන්දම්ම එහෙම කියපු බවක්.. 😀

 

6. සම්මත නැන්දම්මා

Image Source – rd.com

මෙයා තමයි ඔය සමාජ සම්මතයේ අපි අහල තියෙන නපුරු නැන්දම්මා. පුතා බන්දල දුන්නට පුතාගෙ වැඩපල, අයිතිය පිටට දෙන්න අකමැති නිසාම මුල ඉඳලම ලේලි එක්ක යුද්ධෙ තමයි. කොච්චර කළත් බේරෙන්න බෑ. මොකක්මහරි අඩු පාඩුවක් හොයාගන්නවම තමයි. ඒ නිසාම මේ දෙන්න නිකං නයයි, මුගටියයි වගේ තමයි. දෙන්නට දෙන්න පේන්නම බෑ. ළඟින් ගියොත් වලියක්ම තමයි. පුතාලට නඩු බේරලම ඉවරෙකුත් නෑ.

 

7. හොඳම නැන්දම්මා

Image Source – graphic.com.gh

ඔය ඔක්කෝම කියල ඉවරවෙලා මේ කියන්න යන්නේ අනේ මෙහෙම උනානම් හොඳයි නේද කියල අපි හැමෝම හිතන මොඩ්ල් නැන්දම්මා ගැනයි. මේ නැන්දම්මා ඔය හොඳ නරක ගති ගුණ දෙවර්ගයම බොහොම බැලන්ස් එකේ තියෙන නැන්දම්මෙක්. පවුලට එකතු වෙන ලේලිලාටත් වෙනසක් නොකර තමන්ගේ දරුවන්ට වගේම සලකනවා, දරුවො උණත් හැමෝටම එක විදිහයි, ඕන නැති විදිහට කාගෙවත් ජීවිත වලට ඇඟිලි ගහන්නේ නෑ, හැබැයි වැරද්දක් දැක්ක තැන උපදෙසක් දීල නිවැරදි කරගන්නත් දෙපාරක් හිතන්නේ නෑ. තමන්ගේ ලේලිලගෙ අඩුපාඩු තැන තැන කියවන්නෙත් නෑ, වෙන කෙනෙකුට කියන්න දෙන්නෙත් නෑ. ඕනෙම ප්‍රශ්නයක් බය නැතුව කතා කරලා විසඳගන්න පුළුවන්, තේරුම් ගැනීම අතින් බොහොම ඉහළ චරිතයක්. තෝරලා බේරල මිසක් පුතාගෙ කනේ උනත් තියන්නේ නෑ.

ඔය ඔක්කොම ගතිගුණ අඩු වැඩි විදිහට තියෙන නැන්දම්මලා හිටියට අන්තිමට කියපු හොඳම ටයිප් එකේ නැන්දම්මා නම් හැබෑ ලෝකෙදි තාම අපිට හම්බෙලා නෑ හොඳේ.. 😀 ඔන්න අහම්බෙන් හරි හම්බුනොත් ඔක්කෝටම කලින් ලයිෆි අපිට කියන්න ඕනේ ඈ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *