ලිවින්ටුගෙදර් කියන දේ ගැන ලංකාවෙ අය මැජික් වගේ සිතීම හෝ එහි ඇත්තේ පොෂ් බවක් පමණක් යැයි සිතීම හෝ එය බටහිරින් එන සංකර දෙයක් යැයි පැවසීම ගැන සිතන්නට ඇත්තේ වෙනස් මානයක් පමණයි. එනම් විවාහ නීතියක් එන්නට පෙර ලංකාව තුළ සිදුවූයේ ලිවින්ටුගෙදර් නොවේද යන්නයි. කොහොමින් කොහොම වුනත් ලිවින්ටුගෙදර් කරන්නේ නිදහස සහ බැඳීම් විරහිත ආදරය වෙනුවෙන් නිසාම ලිවින්ටුගෙදර් කරන දෙන්නට හොඳනං ඇත්තටම එයට නිදහස තිබිය යුතු බව පැහැදිලියි. නමුත් එහෙම කරන්න වෙන්නෙ ලංකාව ඇතුළෙදි නං ඒ අයට කන්න වෙන පොඩි පොඩි කටු ටිකක් මතක් කළ යුතුමයි. ඒ කටු පොඩි කිවුවට පොඩිමත් නෑ.
1. කතාබහ
ලිවින්ටුගෙදර් කරන ඕනම ජෝඩුවකට ලංකාව ඇතුළෙදි නං මූලිකව එන්න පුළුවන් අවුල තමයි වටෙන් ගොඩින් එන කතාබහ. ආයෙ ඉතිං කුණු කතා කියන්නනං අපිට තරං සෙට් එකක් නැහැනෙ. ඔන්න ඉතිං පටන් ගන්නෙ කොල්ලගෙන්. ‘ඕකා ඉතිං ඒ කාලෙත් පැත්ත පළාතෙ කෙල්ලෙකුට නිකං ඉන්න නොදීපු එකානෙ’ කියල තමයි වරුණෙ කියන්න පටන් ගන්නෙ. කෙල්ල ගැන නොදන්නවා වුනත්, ‘ඕකිත් නල්ලමලේ බඩ්ඩ වෙන්නැති නැත්තං මෙහෙම කොල්ලෙක් එක්ක අනාගතේ ගැන ආරස්සාවක් නැතුව එයිද?’ කියල තමයි දෙසන්න පටන්ගන්නෙ. ඕවා කෙලින් මූණට කියන්නෙත් නැති නිසා කනින් කොනින් ආරංචි වෙද්දි හිතටත් ටිකක් අවුල් ඉතිං.
2. අනෙකාගේ අපහසුතා
අපි ගන්නා තීරණ නිසා අපිම අපහසුතාවයට පත්වීම දරාගත හැකි සිදුවීමක් වුනත්, අපි ගන්නා තීරණ නිසා අනෙකුන් අපහසුතාවයට පත්වීම නං අපේ හිතට වද දෙන ප්‍රශ්නයක් වේවි. මෙන්න මේ නිසා ලිවින්ටුගෙදර් කරන කපල් එකකගෙ හිතට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. උදාහරණයකට තමුන්ගේ අම්මා තාත්තාට නෑදෑ හිතමිතුරන් නිතරම මේ ගැන කියමින් ප්‍රශ්න කරද්දී ඇති වෙන මානසික පීඩනය කොපමණද? ඒ වගේම අනාගතය පිළිබඳ සිත යොමු කළහොත්, ඔවුන්ට දාව ඉපදෙන ඔවුන්ගේ දරුවන්ට මේ නිසා අවට සමාජයෙන් සිදුවන ප්‍රශ්න කිරීම් සහ අපහාස නිසාත් ඔවුන් මානසිකව පීඩා විඳින්නට ඉඩ තිබෙනවා.
3. ගැහැණිය
ලිවින්ටුගෙදර් කරන කපල් එකක ගැහැණියට සමාජයෙන් එන බලපෑම අතිශය නරකයි. ඇය පිළිබඳ හැදෙන කතන්දර ඇයගේ හිසට හිසරදයක් වෙනවා වගේම ඇයව වෛශ්‍යාවක් ගණනට දමා සමාජය විසින් සිදුකරන ප්‍රකාශ සහ ඇය වෙත කරන අයුතු යෝජනා ඇයගේ හිස වියවුල් කරන්නට පුළුවන්. එනිසාම ලිවින්ටුගෙදර් කරන්නට පෙරාතුව කපල් එක තමන්ගේ තීරණයේ දැඩිව පිහිටීම ගැන තීරණයක් ගත යුතුයි. නැතිනම් ඔබේ වැනෙන තීරණය ඔබට බූමරංගයක් වී ප්‍රහාරයක් වේවි.
4. ප්‍රශ්න
සමහර මෑන්ස්ලා විමෙන්ස්ලා ඉන්නව අනුන්ගෙ ජීවිතවලට එබිලා, එවුවයෙ ප්‍රශ්න හොයන, එවුවට බලෙන් විසඳුම් දෙන, තත්ත්ව සමාලෝචනය කරන වගේ අමුතු ලෙඩ තියෙන. දැන් මේක කියවන ඔයාලා එහෙම අයව මෙතන ටැග් කරන්නෙපා, ඊටපස්සෙ අපේ ප්‍රශ්නත් හොයන්න ගනියි. ඉතිං ඔහොම ප්‍රශ්නවලට මැද්දෙන් පනින බුවෙකුට ලිවින්ටුගෙදර් කරන කපල් එකක් කියන්නෙ මාහැඟි අවස්ථාවක්. ඇයි ඔච්චර ආදරේනං නොබඳින්නෙ වගේ ගොන් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා වගේම ඒකෙන් පවුල දෙකඩ කරවන්න උත්සාහයකුත් දරාවි. එනිසා ඒ අයගෙ තීරණවලට යටත් නොවී දැඩි තීරණයක ඉන්න. ඒ වගේම ආදරේ කරන උන් කසාද බඳින්නම ඕන කියල කොයි පොතේද තිබ්බෙ? කියල කෙලිම්ම අහන්නත් අමතක කරන්නෙපා.
5. දරුවාගේ අනාගතය
යුක්තානුවක් හැදෙන්න කසාද සහතික ඕන නැති නිසා ලිවින්ටුගෙදර් කරන අයටත් දරුවෙක් හැදෙන්න පුළුවන් වගේම දරුවෙක් හදන්න අති මානුෂීය ආසාවක් ඇති වෙන්නටත් පුළුවන්. ඔන්න ඔය විදියට දරුවෙක් හදලා අනාගතේ පාසලකට දරුවාව යොමු කරන්න ගියාම ඇති වෙන දෙමාපියන් අවිවාහක වීමේ ප්‍රශ්නය වගේ දේවල් ගැන හිතලත් ලිවින් ටුගෙදර් කරන ජෝඩුවකගේ හිත් අවුල් යන්න පුළුවන්.
6. ගොඩවැදීම්
සාමාන්‍යයෙන් කෙනෙක් ගෙදරකට ගොඩවැදුනු ගමන් බලන්නෙ අලුත විවාහ වෙච්ච ජෝඩුවක් ඉන්නවානම් ඔවුන්ගෙ වෙඩින් ඇල්බම් එක. මේ ගෙදර ජෝඩුව ලිවින්ටුගෙදර් කරනවා කියා නොදන්න කෙනෙක්නං ඔය විදියට ගෙට ගොඩවෙච්ච ගමන් අහන්නෙ කෝ ඇල්බම් එක කියල. ඊටත් ටිකකට පස්සෙ අහනව කෝ එන්ලාජ් කරපු ෆොටෝ එක කියල. ඉතිං සම්පූර්ණ කතා වස්තුව ඒ අයට කියනවට වඩා පොඩි බොරුවක් ඇදලා දාන එක ලේසියි. ඒ නැතත් වෙඩින් එකකට උනත් ගියාම කෝ ඔයාගෙ මුද්ද වගේ දේවල් අහන්නත් ඉඩ තියෙනවා.
7. බය
මේ විදියට පිටස්තර බලපෑම් සිද්ධ වෙන්නට පුළුවන් වගේම දෙන්නට දෙන්නා අතරෙත් මේ සම්බන්ධතාවය නිසා ප්‍රශ්න ඇතිවෙන්නට පුළුවන්. ගැහැණියට අනාරක්ෂිත බවක් ඇතිවෙන්නට පුළුවන් වගේම මුලින් ගත් තීරණය නිසා ඇය කට වහගෙන ඉන්නටත් ඉඩ තියෙනවා. ඒ වගේම පසු දිනෙක සිය සහකාරියට යෝජනා කරන්නට සිතා සිටින පිරිමියාත් වර්තමාන සමාජ තලය උඩදී යම් උභතෝකෝටිකයන්ට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. එයා බෑ කියයිද? ඇයි එක පාරට ප්‍රපෝස් කරන්නෙ කියල අහයිද? කෙල්ල අවුල් වේගෙන යන නිසා ප්‍රපෝස් කරා කියලා සමාජය හිතයිද? දැන් ගොඩක් කල් ඉඳලා නිසා ප්‍රපෝස් කරන්න කල් පහු වෙලාද?
Cover Image Source – facebook,com/ etsy.com
Leave a Reply