යෝජිත විවාහයකට වඩා ආදර විවාහයක් හොඳ නැද්ද? දිගටම කියවලා බලන්න හොඳද නැද්ද කියලා!

දැන් ශ්‍රී ලංකාව වගේ රටක විවාහ වෙන්න පුලුවන් ප්‍රධාන ක්‍රම දෙකයිනෙ තියෙන්නේ. එක්කෝ යෝජිත විවාහයක්, එහෙම නැතිනම් ආදර විවාහයක්. දැන් ඔය පැනලා යනවා වගේ එකක් වුණත් අයිති වෙන්නේ ඔය දෙකෙන් එකකට, ගොඩක් වෙලාවට ආදර විවාහයක් කියන එකට. දැන් ඉස්සර කාලේ නම් ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක සිද්ධ වෙන්නෙම යෝජිත විවාහනේ. ආදර විවාහයක් බොහොම වෙලාවට පිළිගැනෙන්නෙ නැති තරමයිනේ. හැබැයි දැන් නම් එහෙම නෑ. ආදර විවාහ තමයි ගොඩක් වෙලාවට දකින්නේ. හැබැයි යෝජිත විවාහයන් එහෙමත් තියෙනවා සෑහෙන්න. ඔය පත්තර වල තියෙන මංගල යෝජනා පිටුවක් බැලුවහම තේරෙනවා කොයි තරම් මිනිස්සු තාමන් යෝජිත විවාහ වලට සෑහෙන්න නැඹුරුයි කියලා.

 

දැන් ඔය දෙකම හරි. හැබැයි ඔය දෙකෙන් කෝකද වඩා හොඳ? සමහරු කියනවා යෝජිත විවාහ තමයි වඩාත් හොඳ කියලා. තවත් අය කියනවා ඊට වඩා ආදර විවාහ හොඳයි කියලා. ඔය දෙකෙන් කෝක හොඳයිද කියලා අපි දන්නෙ නෑ. හැබැයි අපි කලිනුත් කතා කරලා තියෙනවා ආදර විවාහයකට වඩා යෝජිත විවාහයක් හොඳ වෙන්න පුලුවන් කරුණු මොනවද කියලා. දැන් අපි කතා කරලා බලමු, යෝජිත විවාහයකට වඩා ආදර විවාහයක් හොඳ වෙන්න පුලුවන් කරුණු කාරණා ටිකක් ගැන!

 

01. අවුල් නම් වෙන් වෙන්න ඉඩ තියෙනවා

දැන් අපි කියමු ලව් එකක් සෙට් කරගෙන, දෙන්නත් එක්ක සම්බන්ධතාවය කරගෙන යනවා කියලා. එතකොට ඔන්න ටික කාලයක් ලව් කරනකොට තේරෙන්න පටන් ගන්නවා දෙන්නා ගැලපෙන්නෙ නැහැ කියලා. එතකොට ඒ නොගැලපීම් සමනය කරගෙන එකට සම්බන්ධතාවය පවත්වාගෙන යන්න උත්සාහ කරලත් ඒක සාර්ථක නැතිනම්, හිතට අමාරු වුණත් වෙන කරන්න දෙයක් නෑ කියලා දෙන්නට සම්බන්ධය නවත්වන්න පුලුවන්. හැබැයි යෝජිත විවාහයක ඔය කෙළි කරන්න පුලුවන්ද? දැන් සාමාන්‍යයෙන් යෝජිත විවාහයක වෙන්නේ, මුලින්ම යෝජනාව ආවට පස්සේ කේන්දර බලනවා. කේන්දරත් ගොඩේ ගොඩ නං, ඔන්න මනමාලිව බලන්න යනවා. ඒ අතරේ දෙපැත්ත ගැන දෙගොල්ලොන්ම එහෙන් මෙහෙන් හොයල බලනවා. එතකොටත් දෙපැත්තටම හිතට ෆිට් නං, අවුලක් නෑ කියලා ඔන්න කෙල්ලටයි කොල්ලටයි දැන අඳුනගන්න, පොඩ්ඩක් ආස්සරේ කරන්න ඉඩ පෑදෙනවා. එහෙමනේ. හැබැයි එහෙම සති කීපයක් කතාබස් කරනකොට දෙන්නා සෙට් වෙන්නෙ නෑ කියලා තේරුණහම කතාකරලා වෙන් වෙන්න පුලුවන්ද? ආන්න ඒකට ඉඩ ඉතාම අඩුයි. මොකද දැන් සීන් එකට දෙමාපියෝ අනං මනං කට්ටියම සම්බන්ධ වෙලානෙ ඉන්නේ. හැබැයි ආදර සම්බන්ධෙකදී නම් සෙට් වෙන්නෙ නෑ කියලා තේරුණොත් කතාබස් කරගෙන වෙන් වෙන්න ඉඩ තියෙනවා.

 

02. කේන්දරෙන් හරියට හොයාගන්න බැරි වුණොත්?

දැන් අපි කලින් යෝජිත විවාහයක් ආදර විවාහයකට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියලා කතා කරනකොට කිව්වනේ, යෝජිත විවාහයකදී පටන් ගැන්මෙදිම කේන්දර බලලා, පොරොන්දම් ගලපලා දෙන්නට දෙන්නා ගැලපෙනවා කියලා සහතිකේ ලැබෙන එක වාසියක් කියලා. මොකද, එතකොට දෙන්නා එහෙමට කාලයක් ආශ්‍රය කරලා දැනගෙන නැති වුණත්, ගැලපෙනවා කියන අදහස ලැබෙනවා. හැබැයි ඉතින් අපිට ඔය කේන්දර ගැන හරියට විස්වාසෙ තියන්න පුලුවන්ද දැන් කාලේ? සමහර විට දැන් කාලේ ඉන්න කේන්දර බලන හාදයෝ ඔය සාස්තරේ හරියටම දන්නවා ඇති කියලා හිතන්න පුලුවන්ද? ආන්න එතකොට, කසාදත් බැන්දට පස්සේ දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා දැනගත්තහම ලෙඩේ. හැබැයි ඉතින් ආදර විවාහයක් කියන්නෙම සාමාන්‍ය කාලයක් දෙන්නට දෙන්නා ආශ්‍රය කරන්න ලැබෙනවා කියන එකනේ. එතකොට, අර කේන්දරෙන් ගලපලා දෙනවට වඩා නිරවද්‍යතාවයකින් දෙන්නට දෙන්නා අඳුනගන්න හොඳ ඉඩක් ලැබෙනවා කියන එක අමතක කරන්න බෑ.

 

03. ලිංගිකත්වය සම්බන්ධයෙන් සීසන් වෙලා

දැන් විවාහයක් කියනකොට, ලිංගිකත්වයත් එතනට සම්බන්ධ වෙනවනේ. දැන් නිකමට හිතන්න යෝජිත විවහයකින් දෙන්නෙක් කසාද බඳිනවා කියලා. දෙන්නා ගොඩක් දුරට දෙන්නට දෙන්නව හරියට දැන කියා ගන්නෙත් විවාහයෙන් පස්සේ වෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට දෙන්නට දෙන්නා ලිංගිකත්වය අතින් කොහොමද ගැලපෙන්නේ, දෙන්නට දෙන්නා ලිංගික ජීවිතයේ ආස දේවල් මොනවද වගේ දේවල් ගැන දැනගන්න ලැබෙන්නේ ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයට තමයි. සමහර වෙලාවට දෙන්නට දෙන්නා ජීවිතේට ඒ ගැන සියේට සීයක් විවෘත නොවෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ලව් මැරේජ් එකකදී දෙන්නා ලව් කරන කාලය ඇතුළතදී වඩාත් නිදහසේ ලිංගිකත්වය ගැන එහෙම කතාබහ කරලා තියෙන්න තියෙන ඉඩ ඉතාමත් වැඩියි. සමහර වෙලාවට දෙන්නා ලිංගික අත්දැකීම් ලබාගෙනත් තියෙන්න පුලුවන්. ආන්න එතකොට, ලව් මැරේජ් එකකදී දෙන්නම සෙක්ස් සම්බන්ධයෙන් හොඳට සීසන් වෙලා තමයි විවාහ ජීවිතේට එළඹෙන්නේ.

 

04. කසාදෙට වියදම අඩුයි

දැන් යෝජිත විවාහයකදී ඒකට මුල් වෙන්නෙම දෙමාපිය වැඩිහිටියොනේ. අන්න එතකොට ඔය විවාහය කෙරෙන්නේ කොහොමද කියන එක ගැන එහෙම තීන්දු තීරණ ගන්නෙත් ගොඩක් දුරට දෙමාපිය වැඩිහිටියෝ තමයි. ඒ වගේම ඔය යෝජිත විවාහ වලදී ටිකක් තියෙනවනේ එක පැත්තකට වඩා උඩින් යන්න අනික් පැත්ත දඟලන සීන් එක එහෙමත්. ආන්න ඒකෙදී වෙන්න පුලුවන් දේ තමයි විවාහ උත්සවය ටිකක් වියදම්කාරී වෙන එක. සමහර විට යෝජිත විවාහයකදී දෙපැත්තටම ඕන වෙනවා වෙඩින් එකයි හෝම් කමින් එකයි කියලා දෙකක්ම ගන්නත්. හැබැයි දැන් ලව් මැරේජ් එකකදී නං, ඒකට මුල් වෙන්නෙම ගොඩක් දුරට කෙල්ලයි කොල්ලයි නිසා, වෙඩිම ප්ලෑන් කරන එකත් ගොඩක් දුරට උන් දෙන්නගේ අදහස් සහ කැමැත්ත අනුව තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා, දෙන්නම ට්‍රයි කරනවා වියදම් එහෙම අඩු කරගෙන කසාද උත්සවේ ගොඩදාගන්න. දෙන්නටම එක උත්සවේකින් ෂේප් වෙන්නත් තියෙන ඉඩ වැඩියි!

 

05. තමන්ගේ කොන්ට්‍රෝල් එකේ ජීවිතේ

සාමාන්‍යයෙන් යෝජිත විවාහයකදී කොහොම කළත් දෙමාපිය නෑදෑ වැඩිහිටියෝ ඒකේ මුල් තැන ගන්න එක අපිට නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි. යෝජිත විවාහයක මොඩ්ල් එක හැදිලා තියෙන්නෙම එහෙමනේ. එතකොට ඉතින් වෙන්න පුලුවන් දෙයක් තමයි, දෙන්නව බන්දලා දුන්නට පස්සෙත් දෙමාපියෝ එහෙම පොඩ්ඩක් ජීවිතේට ඇඟිලි ගහන්න එන එක. මොකද ළමයි දෙන්නව යෝජනාවකින් බන්දලා දුන්නහම තමන්ට වැඩි වගකීමක් තියෙනවා කියලත් පොඩ්ඩක් දැනෙනවනේ. එතකොට මේ කසාද බැඳපු දෙන්නගේ ජීවිතේ කොන්ට්‍රෝල් එක යම් දුරකට දෙමාපියෝ අතේ තියෙන එක වාතයක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. හැබැයි ලව් මැරේජ් එකකදී ඔය කතන්දරේ වෙනවා අඩුයි. මොකද, ලව් එක පටන් ගත්තෙත් කොල්ලයි කෙල්ලයි කැමැත්තෙන් නිසා, එතනින් එහාට කසාදේත්, ඊට පස්සෙ කසාද ජීවිතේත් සම්පූර්ණ වගකීමම වගේ කොල්ලටයි කෙල්ලටයි තමයි තියෙන්නේ. ලව් මැරේජ් එකකදී දෙමාපියෝ එහෙම ඒ දෙන්නගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන ප්‍රමාණය අඩුයි. ආන්න ඒක වාසියක්!

 

06. දෑවැදි ඩ්‍රාමා නෑ

වෙන රටවල කොහොම වෙතත් සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටක තාමත් ඔය දෑවැදි කතන්දර තියෙනවනේ. ඉස්සර තරම් නැහැ තමයි, හැබැයි තාමත් තියෙනවා. ඒ කියන්නේ කසාද බඳිනවා නම් කෙල්ලගෙ පැත්තෙන් කොල්ලට දෑවැද්දක් දෙන්න ඕන කියන එක ගොඩක් වෙලාවට ඔය යෝජිත විවාහ වලදී බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට කොල්ලගෙ පැත්තේ වැඩිහිටි පාර්ශවය තමයි ඕක බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සමහර වෙලාවට කසාද බඳින මනාල මහත්තයා පවා ඔය දෑවැදි බලාපොරොත්තු වෙන අවස්ථා තියෙනවා. ඇත්තම කිව්වොත් ඔය මනමාලිගෙ පැත්තට එන ඔය දෑවැදි ඩිමාන්ඩ් නිසා කසාද ජීවිතේට අඩිය තියන දෙන්නා අතරේ පවා ප්‍රශ්න ඇතිවෙන අවස්ථා ගැන අපි අහල තියෙනවනේ. හැබැයි ලව් කරලා බඳින්න හිතන කපල් එකක් අතරේ ඔය දෑවැදි සීන් ගොඩක් දුරට නැහැ නේද? ලව් කරලා මැරි කරන්න යන දෙන්නෙක් ගොඩක් වෙලාවට එකට ගේම ගහලා ජීවිතේ ජයගමු කියන තැන ඉන්නවා මිසක්, ඔයා දෑවැද්දට කොච්චර දෙනවද, ඔයාට මට කන්න අඳින්න දෙන්න පුලුවන්ද කියන තැනින් ජීවිතේ පටන් ගැනෙන්නෙ නෑ. හැම යෝජිත විවාහයකම ඔහොම නෑ, ඒත් යෝජිත විවාහයකදී දෑවැදි කතන්දර ඉස්සරහට එන්න තියෙන සම්භාවිතාවය වැඩියි කියන එකයි අපි කියන්නේ.

 

07. ප්‍රශ්න විසඳගන්න ක්‍රම කලින්ම දන්නවා

දැන් යෝජනාවකින් කසාද බඳින්න සෙට් වෙන දෙන්නෙක් ඇත්තටම ඊට කලින් ඉඳලා දන්නෙ නැහැනේ. ගොඩක් වෙලාවට ඔය යෝජනාවකදී දෙපැත්තම කැමති වෙලා දෙන්නා ආශ්‍රය කරලා බලන්න කාලය ගත්තත්, අවුරුද්දක් දෙකක් හෝ ආශ්‍රය කරලා එන එක්ස්පීරියන්ස් එක මාසෙන් දෙකෙන් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්. අන්න එතකොට ප්‍රශ්නයක් ආවහම, ඒක විසඳගන්නත් සාපේක්ෂව පහසුයි වැඩි කාලයක් ලව් කරපු දෙන්නෙක්ට. මොකද, ලව් එකක් නිසා සෙට් වෙච්ච දෙන්නෙක් කාලයක් ආශ්‍රය කරල තියෙන නිසා, එකිනෙකාගේ විදිය දන්නවා. එකිනෙකා එක්ක ගනුදෙනු කරන්න ඕන විදියත් දන්නවා. ඒ නිසාම, ප්‍රශ්නයක් විසඳගන්න ගැලපෙනම ක්‍රමත් ඒ පළපුරුද්දෙන් දන්නවා. ඒක යෝජිත විවාහයකින් එකතුවෙන දෙන්නෙක්ට කාලයක් යනකල් ලැබෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉතින් මේක රඳාපවතින්නේ එකිනෙකාගේ සන්නිවේදන හැකියාව සහ අවබෝධය මත කියන එකත් මෙහෙම්මම කියන්න ඕන.

 

දැන් එතකොට යෝජිත විවාහයකට වඩා ආදර විවාහයක් හොඳ වෙන්නත් පුලුවන්. ආදර විවාහයකට වඩා යෝජිත විවාහයක් හොඳ වෙන්නත් පුලුවන්. එතකොට අපි මොන විවාහයක්ද තෝරගන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මොන විවාහයක් තෝර ගත්තත්, ඒකට අත්‍යවශ්‍ය වෙනවා තමන්ගේ පැත්තෙන් යම් කිසි කැපවීමක්, අවබෝධයක් සහ තේරුම් ගැනීමක්. ඒවා නැතුව ඉතින් කොහොම බැන්දත් ඒක සුරංගනා කතාවල තියෙනවා වගේ සාර්ථක එකක් වෙයි කියලා නං අපිට කියන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *