LGBTQ+ ප්‍රජාව ගැන සමාජයේ තියෙන විවිධ මිථ්‍යා මත!

myths people believe about the LGBTQ community

දැන් මේ LGBTQ+ ප්‍රජාව ගැන සමාජයේ තියෙන මිත්‍යා මත ගැන කතා කරන්න කලින්, අපි පැහැදිලි කරගෙන ඉමු මොකක්ද මේ LGBTQ+ ප්‍රජාව කියන්නෙ කියලා. හරියටම කියනවා නම්, දැන් මේක තවත් වෙනස් වෙලා තියෙනවා LGBTQIA+ කියලා. හරියටම හඳුන්වා දෙනවා නම්, Lesbian, Gay, Bisexual, Transgender, Queer/Questioning, Intersex, Asexual සහ තවත් ලිංගික අනන්‍යතාවයන් කියන එක තමයි මේ කියන්නේ. එතකොට මෙච්චර ලිංගික අනන්‍යතාවයන් තියෙනවද? ඔව් තියනවා. මෙතනදි අපි පැහැදිලි කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ජීවවිද්‍යාත්මක ලිංගිකත්වය (Biological Sex), ලිංගික අනන්‍යතාවය (Sexual Identity) සහ ලිංගික නැඹුරුතාවය (Sexual Orientation) කියන දේවල් වල තියෙන වෙනස. ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ගත්තහම, ඒක ගැහැනු සහ පිරිමි අතර තියෙන වෙනස විදියට ගන්න පුළුවන්. හැබැයි මේ ලිංගික අනන්‍යතාවය කියන එක එහෙම සරලව මේක නැත්නම් අරක කියලා ගන්න බැහැ. සමහර වෙලාවට ජීව විද්‍යාත්මකව ස්ත්‍රී ශරීරයක් ඇතුලෙ උපත ලබන්න පුළුවන් පිරිමියෙක්. එතකොට මේ ලිංගික අනන්‍යතාවය කියලා කියන්නේ, තමන්ට ලැබිලා තියෙන පුරුෂ ලිංගය හෝ ස්ත්‍රී ලිංගය මත පදනම් වුණු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අපි ලිංගික අනන්‍යතාවය කියලා හඳුන්වන්නේ, තමන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ සිතුවිලි, තමන්ට දැනෙන දේ, තමන්ගෙ අත්දැකීම් මත පදනම්ව තමන්ගේ ලිංගික අනන්‍යතාවය තීරණය කිරීම තමයි.

දැන් පැහැදිලියි නේද මොකක්ද මේ අපි LGBTQ+ ප්‍රජාව කියලා කියන්න පටන් ගත්තේ කියන එක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ සමාජයේ බොහෝ අය තුළ, මේ කියන LGBTQ+ ප්‍රජාව ගැන තියෙන විවිධ මිථ්‍යා මත කීපයක් ගැන තමයි.

01. මේවා මානසික ආබාධ

myths people believe about the LGBTQ community

අපි ගොඩක් වෙලාවට සමරිසි හෝ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් ගැන කතා කරනකොට, ඔය සමාජ ජාල ඇතුලේ එහෙම ගොඩක් අය ඉදිරිපත් කරන අදහස් දෙකෙන් එකක් තමයි, මේවා මානසික ආබාධ කියන එක. ඔව්, ඉස්සර එක කාලයක් තිබුණා, කෙනෙක් විෂමලිංගික නොවේ නම් ඒ කෙනා මොකක් හරි මානසික ආබාධයකින් පෙළෙනවා කියලා හඳුන්වන. හැබැයි දැන් වෙනකොට ලෝකෙ මනෝ විද්‍යාව පිළිගන්න දෙයක් තමයි සමරිසි හෝ වෙනත් විෂම ලිංගික නොවන ලිංගික නැඹුරුතාවයක් කියන්නේ කිසිදු මානසික ආබාධයක් නෙවෙයි කියන එක. වෙනත් විදිහකට කිව්වොත්, විෂමලිංගික කියන එක වගේම, විෂම ලිංගික නොවන සමරිසි හෝ වෙනත් ලිංගික අනන්‍යතාවයක් වුණත් මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්නයි කියලා තමයි දැන් පිළිගැනෙන්නේ.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමරිසි හෝ වෙනත් විෂමලිංගික නොවෙන ලිංගික අනන්‍යතාවයන් තියෙන අයට තවමත් සමාජයෙන් එල්ල වෙන කොන් කිරිම සහ පීඩනය නිසාම, ඒ අයට ආතතිය, විශාදය වගේ මානසික ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් ලිංගික අනන්‍යතාවයේ වරදක් නෙවෙයි. සමාජයේ වරදක්.

02. පෙර කළ පව්

myths people believe about the LGBTQ community

සමාජය ඇතුලේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් හෝ සමරිසි ප්‍රජාවන් ගැන කතා කරනකොට, ඊළඟට වැඩිපුරම අහන්න ලැබෙන අදහස තමයි, මෙහෙම වෙලා තියෙන්නෙ පෙර කළ පව් නිසා කියලා. එහෙම කියන අය වැඩිදුරටත් උපදෙස් දෙනවා මේ ආත්මයේ පින් කරන්න, ඊළඟ අත්භවයක මේ වගේ ප්‍රශ්නයක් එක්ක ඉපදෙන්නෙ නැති වෙන්න කියලත්. දැන් මේක ටිකක් සංකීර්ණව කතා කරන්න ඕන ආගමික මාතෘකාවක් වුණත්, තමන්ගේ ලිංගික නැඹුරුතාවය අදාල වෙන්නේ පින් හෝ පව් මත කියලා හිතන එක ටිකක් පසුගාමී කියලා හිතෙන්නේ නැද්ද? දැන් කෙනෙක් ස්ත්‍රී හැඟීම් එක්ක පුරුෂ ශරීරයක් තුළ ඉපදෙන එක වුණත්, පෙර කළ පව් කියලා මිනිස්සු හඳුන්වන්නේ, ඒ කාරණාව නිවැරදි කරගන්න ඒ කෙනාට සෑහෙන වැඩ කොටසක් කරන්න වීම සහ ඒ වගේ කෙනෙක්ට සමාජයෙන් එල්ල වෙන පීඩනය සහ අගතිය එක්ක වෙන්න පුළුවන්. හැබැයි එතනදි වුණත්, අදාල මනුස්සයාගේ පින් පව් වලට වඩා තියෙන්නේ, ඒ සමාජය පසුගාමී වීමේ ප්‍රශ්නයක් නෙමෙයිද?

03. ඔය විෂම ලිංගික නොවන අයගෙන් ළමයින්ව බේරගන්න වෙනවා

myths people believe about the LGBTQ community

සාමාන්‍යයෙන් සමරිසි හෝ විෂමලිංගික නොවන ලිංගික අනන්‍යතාවයන් හා නැඹුරුතාවයන් කියන අයට විරුද්ධව කතා කරනකොට, සමහරු ඉස්සර ඉදන් ගේන ජනප්‍රිය අදහසක් තමයි, මේ අයගෙන් ළමයින්ට ලිංගික හිරිහැර වෙනවා කියන කතාවත්, මේ දේවල් නිසා ළමයිනුත් නරකට පෙළඹෙනවා කියන කතාවත්. හරි අපි එකින් එක අරගෙන බලමු.

සමරිසි අයගෙන් හෝ ඒ වගේ වෙනත් විෂම ලිංගික නොවන ලිංගික නැඹුරුතාවයක් තියෙන කෙනෙක්ගෙන් ළමයින්ට ලිංගික අපයෝජනයන් වෙනවා කියන එක දත්ත සහිතව කොහේ හරි ඔප්පුවෙලා තියනවා ද? ඇත්තටම ගත්තොත් නැහැ. ළමා ලිංගික අපයෝජනයන් සම්බන්ධ දත්ත සළකලා බැලුවොත්, තාමත් විෂම ලිංගිකයන්ගෙන් සිද්ධවෙන ළමා ලිංගික අපයෝජන, සම ලිංගික නැඹුරුතාවයක් තියෙන අයගෙන් වෙන ළමා ලිංගික අපයෝජන වලට වඩා වැඩියි. ඒකට හේතුවත් සරලයි. ලෝකයේ වැඩියෙන්ම ඉන්නෙ විෂමලිංගික නැඹුරුතාවය තියෙන අය මිසක් සමලිංගික නැඹුරුතාව තියෙන අය නෙවෙයි. ඒ කියන්නේ පිඩොෆිලියා නැතිනම් කෞමාර කාමය නිසා ළමා ලිංගික අපයෝජනයක් කරන අයගේ ලිංගික නැඹුරුතාවය ඒකට බලපාන්නේ නැහැ.

සමරිසි භාවය හෝ ද්වි ලිංගිකත්වය ගැන ලෝකයේ කතාබහ ඇති වීමෙන් ළමයි නරක් වෙනවා කියන කතාව නම් පදනමක් ඇති දෙයක් නෙවෙයි. මොකද එහෙම බැලුවොත්, අද කාලේ ලෝකෙ එහෙම කතාබහකට එන්න කලින්ම ළමයින්ව නරක් වෙන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. ළමයි හදනවා කියන්නේ, ඉබේම හැදෙන්න අරිනවා කියන තැනින් වෙනස් වුණු දෙමව්පියෝ ඉන්නවා නම් ඔය ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්.

04. පානුයි කෙනෙකුයි දෙකම කන කට්ටියට හොඳ පවුල් ජීවිත ගෙනියන්න බැහැ

myths people believe about the LGBTQ community

මේ කතාව මේ කියන්නේ, බයි සෙක්ෂුවල් නැතිනම් ද්විලිංගිකත්ව නැඹුරුවක් තියෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තමයි. ඒකට හේතුව විදියට පෙන්වන්නේ, bisexual පිරිමියෙක් ගත්තොත් එයා කාන්තාවන්ට වගේම පිරිමින්ටත් ආකර්ෂණය වෙන නිසා, එහෙම කෙනෙක් කාන්තාවක් හා විවාහ වුණත්, එයා පිරිමි පස්සෙනුත් යයි කියන අදහස තමයි. හැබැයි මෙතන තියෙන්නේ ද්විලිංගිකත්වය නැඹුරුව ගැන වරදවා වටහා ගැනීමක්. ද්වි ලිංගික නැඹුරුව වුණත්, සමලිංගික නැඹුරුව වුණත්, විෂම ලිංගික නැඹුරුව වුණත්, ඒකෙන් කියවෙන්නෙ දකින දකින කෙනා එක්ක සෙක්ස් කරන්න ඕන කියන එක හෝ, ලිංගිකත්වයට එය මුල් තැන දෙනවා කියන එක හෝ නෙවෙයි. විෂමලිංගික පිරිමියෙක් ගැහැණියක් එක්ක ප්‍රේමයෙන් බැඳිලා ඒ ගැහැනියක් එක මුළු ජීවිතේම එකට ඉන්න තෝරා ගන්නවා වගේම, ද්විලිංගික පිරිමියෙක් ගැහැණියක් හෝ පිරිමියෙක් එක්ක ප්‍රේමයෙන් බැඳිලා, ඒ ගැහැණිය හෝ පිරිමියා එක්ක මුළු ජීවිතේම එකට ඉන්න තෝරා ගන්නවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නෙ. එතකොට පවුල් අවුල් කරගන්නවා ද, වටේ යනවද වගේ දේවල් වලට ලිංගික නැඹුරුව හෝ, ලිංගික අනන්‍යතාවය අදාළ වෙන්නේ නැහැ. යන එකා කොහොමත් යනවා.

05. ගේ පිරිමි සමනල්ලු වගේ, ලෙස්බියන් ගෑණු පිරිමි වගේ

myths people believe about the LGBTQ community

මේකත් ඇත්තටම සමරිසි නැඹුරුතාවය කියන එක මොකක්ද කියලා හරියට තෝරාබේරා ගන්න බැරි අයගේ හිතේ තියෙන ඒකාකෘතික කිරීමක්. මෙතැනදි ගොඩක් අය හිතන්නේ සමරිසි පිරිමි අයගේ පිරිමි කමක් නැහැ, ඒ අයත් කාන්තාවෝ වගේ කියන එක. එතකොට සමරිසි ගැහැනු අය එහෙම නැත්නම් ලෙස්බියන්ලා කිසිම ගැහැණු ගතියක් නැති දරදඬු, හැඩිදැඩි ගැහැනු අය කියලා. හැබැයි මේ ඒකාකෘතික කිරීම් වල කිසිම සත්‍යතාවයක් නෑ. විෂමලිංගික ඇතුළු ඕනෑම ලිංගික නැඹුරුතාවයක් හෝ ලිංගික අනන්‍යතාවයක් තියෙන අය අතර, පුරුෂ ලක්ෂණ හෝ ස්ත්‍රී ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙන අය ඕනතරම් ඉන්න පුළුවන්. සමහර තැන්වලදී ඒ ලක්ෂණ මත ලිංගික අනන්‍යතාවය තීරණය වෙන්නත් පුළුවන්. හැබැයි සමරිසි පිරිමි අය ගැහැණු ගතියයි හෝ සමරිසි ගැහැනු අය පිරිමි ගතියයි කියලා හිතන ආකල්පය කිසිසේත්ම පදනම් සහිත එකක් නෙවෙයි.

06. LGBTQ+ ප්‍රජාව වෙනත් ලිංගික අනන්‍යතාවයන් ප්‍රවර්ධනය කරන්නේ ලෝක කුමන්ත්‍රණයක් විදියට

myths people believe about the LGBTQ community

මේ කතාව ටිකක් සංකීර්ණයි. මොකද කිව්වොත්, අපිට කියන්න අමාරුයි වෙනත් ලිංගික අනන්‍යතාවයන් ප්‍රවර්ධනය කරන්න සහ සමාජයේ ඉදිරි ගමන වෙනස් කරන්න ඔය පිටසක්වල ජීවීන් එහෙම එකතුවෙලා කරන ලෝක මට්ටමේ කුමන්ත්‍රණ තියෙනවද නැද්ද කියන එක ගැන. අපි එහෙම කුමන්ත්‍රණ දැකලා නැහැ. ඇත්තටම කවුරුහරි කියනවා නම් එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා, ඒ කියන කෙනා තමයි ඒක ඇත්ත කියල ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ. burden of proof කියලා කියන්නේ ඒකට. චෝදනාව කරන කෙනා සාක්ෂි ගේන්න ඕන. එතකොට දැන් කවුරුහරි අහනවා නම් ඇයි එහෙමනම් මේ තරමට LGBTQ+ ප්‍රජාව වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහ ලිංගික නැඹුරුතාවයන් ගැන පෙළපාලි තියමින් හඬ නගන්නේ කියල, ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. පිළිතුර දෙන්න කලින් අපිට කියන්න වෙනවා පොඩ්ඩක් මීට අවුරුදු දහයකට විස්සකට තිහකට කලින් සමාජයේ විෂමලිංගික නැඹුරුතාවයට වෙනස් ලිංගික නැඹුරුතාවයන් හරි ලිංගික සමාජ භාවයන් හරි තිබුණු අයට සමාජය කොහොමද සැලකුවේ කියන එක පොඩ්ඩක් ඉතිහාසෙන් සෝදිසි කරලා එන්න කියලා. ඉතින් ඒ විදියට LGBTQ+ ප්‍රජාව කොන් කරපු, ඒ අයටත් ගැරහුම් කරපු ලෝකයක තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න හඬ නඟන්න වෙන එක පුදුමයක් ද? එතන මුකුත් ලෝක කුමන්ත්‍රණ තියෙන්න ඕන නැහැ. ඕනම සමාජයක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟලා නෙවෙයිද ඒවා දිනාගන්නේ?

07. LGBTQ+ වගේ වෙනස් ලිංගික නැඹුරුතාවයන් තියෙන අයගෙන් පරිස්සම් වෙන්න ඕන

myths people believe about the LGBTQ community

මේකත් ගොඩක් අය අතරේ තියෙන මිත්‍යාවක් වගේම වෙනස් ලිංගික අනන්‍යතාවයන් තියෙන අයව නරක විදිහට ඒකාකෘතික කිරීමක්. දැන් කවුරු හරි කිව්වොත් එයත් එක්ක සමරිසි පුද්ගලයෙක් වැඩ කරනවා කියලා, එතකොට අනිත් අය විහිළුවට කියන්නේ පරිස්සමට, නැත්නම් උඹටත් අහවල් එක කරයි කියලා. රටක ජනාධිපතිවරයෙක් සමරිසි හෝ ඒ වගේ ලිංගික අනන්‍යතාවයකින් යුක්තව වුනොත්, එතකොටත් කතා කරන්නේ ඒ මනුස්සයගෙන් කෙල්ලෝ පරිස්සම් වෙන්න ඕන කියලා. හැබැයි ගොඩක් දෙනා වරද්ද ගන්න කාරණාව තමයි, විෂම ලිංගික නොවන සමරිසි හෝ ද්විලිංගික නැඹුරුතාවයන් ගෙන් කියවෙන්නේ, යම් පුද්ගලයෙක් ලිංගික විලෝපිකයෙක් කියන එක නෙවෙයි කියන එක. තව කෙනෙක්ව ලිංගික අපයෝජනය කරන්න හෝ තව කෙනෙක්ට ලිංගික අපරාධයක් කරන්න පෙළඹෙන කෙනෙක්ට ඒ කෙනාගේ ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුතාවය ඒකට හේතුවක් වෙන්නේ නෑ.

දැන් අපිට මොකටද මේ LGBTQ+ ප්‍රජාව ගැන තියෙන මිත්‍යා මත දැනගන්න තියෙන උවමනාව? සරලයි. තාමත් සමාජයේ LGBTQ+ ප්‍රජාවට, හරියටම කියනවා නම් ගැහැනු හෝ පිරිමි කියලා හඳුන්වන්න පුළුවන් විෂමලිංගිකයන් හැරෙන්නට අනිත් හැම දෙනාම ගැන ගර්හාත්මක, කොන් කිරීමේ ආකල්පයන් තියෙනවා. ඒක නරකයි. මේ මිථ්‍යා විශ්වාස වලිනුත් කරන්නේ ඒ කියපු ගර්හාත්මක ආකල්ප දියුණු කරන එක තමයි. එතකොට අපිට සමාජයක් විදිහට මේ මිථ්‍යාව විශ්වාස දුරු කළොත්, වෙනස් ලිංගික අනන්‍යතාවයන් තියෙන අයට සමාජයෙන් එල්ල වෙන කොන් කිරීමත් නැති කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *