වාහනයක් පදින කාන්තාවක් දැනගෙන ඉන්න ඕන කරුණු

වාහන පදින කාන්තාවන් ඉස්සර ඉතා අඩුවෙන් දකින්න ලැබුණට අද කාලෙ නම් වාහනයක් පැදගෙන යන කාන්තාවක් දකින්නට ලැබෙන එක ඉතාම සුලබ දෙයක්. පාරෙ වාහන දහයක් දැක්කොත් ඒකෙන් පහක් විතරම පදින්නෙ කාන්තාවන්. උදේ කාලයේ නම් ඒක ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. කාර් වලට විතරක් සීමා නොවී ලොරි රථ, ත්‍රීරෝද රථ, ලොරි රථ එහෙමත් පදවන කාන්තාවන් දැන් කාලෙ නිතර දකින්න ලැබෙනවා. ඒක රටක් විදිහට ඉතාම හොඳ දෙයක්. කාන්තාවන් ඒ වගේ ඉදිරියට ඒම රටක් විදිහට ඉතාම වැදගත් දෙයක්. කොහොම උනත් වාහනයක් පාරෙ ධාවනය කරන එක විතරක් දැනගෙන නම් කාන්තාවකට ප්‍රමාණවත් වෙන්නෙ නෑ. වාහන පැදවීම වගේම වාහනයක් සම්බන්ධව තවත් අනුශාංගික කාරණා ගොඩක් තියෙනවා දැනගන්න. අපි අද මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ ගැන. 

 

1. නීතිය පිළිබඳ දැනුම

වාහනයක් පදවන කෙනෙක් විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම කෙනෙක්ම රටේ නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගෙන තියෙන්න ඕනෙ.  වාහනයක් පදින කෙනෙක් නම් අනිවාර්යයෙන් මෝටර් වාහන පණත ගැන විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනෙ. නීතිය නොදැන වාහනයක් අතට ගන්නවා කියන්නෙ ඇස් පේන්නෙ නැති කෙනෙක් පාරෙ යනවා වගේ දෙයක්. ඒ වගේම අද කාලෙ ගොඩක් වෙලාවට මාර්ග නීති කඩ කරන අවස්ථා බහුලව දකින්න ලැබෙනවා. ඉතිං ඔබ වාහනයක් පදවන කාන්තාවක් නම් මෙන්න මේ නීතිමය කාරණා ගැන හොඳ අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. එහෙම උනොත් ඔබට පාරෙ තොටේ වෙන්න පුළුවන් බොහොමයක් කරදර වලින් මිදෙන්න පුළුවන්.  

 

2. අනතුරක දී ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ

වාහන කියන්නෙ ඉතිං හැප්පෙනවා, හීරෙනවා. ඕවා ඔහොම තමයි. හැබැයි පාරකදී අනතුරක් වෙනවා කියන එක ඒ තරම් සරලව හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද වාහන  අනතුරක් කියන දේ සෘජුවම නීතිය එක්ක සම්බන්ධ වෙන දෙයක්. මෝටර් වාහන පණතට අනුව ලංකාවේ භූමිය තුළ වෙන සියළුම වාහන අනතුරු ලඟම තියෙන පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතුයි. ඉතිං අනතුරක් වුන අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රමය දැනගෙන ඉන්න එක අනිවාර්යයයි. පොලිස් නිලධාරියෙක් ඒ ස්ථානයේ ඉන්නවා නම් ඔහු කියන විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහ වාහන දෙකක්  හෝ කීපයක් අතර අනතුරක් නම් වාහන රෝද සලකුණු යොදලා පාරෙන් ඉවත් කරන්න පුළුවන්. ඉන් පස්සෙ තුවාල ලබපු අය ඉන්නවනම් රෝහල්ගත කරන්න අවශ්‍යයි. ඊට පස්සෙ පොලීසිය දැනුවත් කළ යුතුයි. පුද්ගලයෙක් සමඟ අනතුරක් නම් තුවාල ලබපු අය රෝහල්ගත කිරීම පළමුව ක​ළ යුතුයි. ඉන් පස්සෙ පොලීසිය දැනුවත් කළ යුතුයි. මේ විදිහට ක්‍රියාත්මක වීම රක්ෂණ ආයතනයට ගැට‍ළුවක් ඇති කරන්නේ නෑ. පොලීසිය දැනුවත් කළාට පස්සෙ ඔබේ රක්ෂණ ආයතනයට දැනුම් දෙන්න පුළුවන්.

 

3. සාමාන්‍ය කාර්මික දැනුම 

වාහනයක් කියන්නෙ ඉතිං යන්ත්‍රයක් නේ. ඉතිං යන්ත්‍ර සූත්‍ර කියන දේවල් සමහර වෙලාවට පොඩි පොඩි අකර්මණ්‍ය වීම් වලට ලක් වෙනවා. අපි කියන්නේ බ්‍රේක් ඩවුන් කියලා ඒවට තමයි. ඉතිං කාන්තාවක් වන ඔබ මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය දැනුමින් යුක්ත වෙන්න ඕනෙ. විශේෂයෙන් ටයර් එකක් මාරු කරගන්න එක, එන්ජින් ඔයිල් මට්ටම පරීක්ෂා කරගන්න එක වගේ සරල දේවල් දැනගෙන ඉන්න ඕනෙ.

 

4. වාහන නඩත්තු කටයුතු

උඩින් කියපු කාරණාව එක්කම වගේ සම්බන්ධව දෙයක් තමයි මේකත්. නඩත්තු කටයුතු කරන එක වාහනයකට අත්‍යාවශ්‍ය දෙයක් නෙ. ඉතින් ඒකට ඕන තරම් සේවා සපයන ස්ථාන ඕනම ප්‍රදේශයක තියෙනවා. ඉතින් වාහනය සර්විස් කරන්න ඕන කාලය ආවම ඒ දේවල් තමන්ට පුරුදු සේවා ස්ථානයකින් කරගන්න එක වැදගත්. ඒකෙදි අදාළ සේවාවන්ට අදාළ පිරිවිතර හරියට කෙරිලද කියන එක ගැන අවධානය යොමු කරන්නත් ඕනෙ. උදාහරණයක් විදිහට කිව්වොත් එන්ජින් ඔයිල් මාරු කරලද කියන එක සේවා ස්ථානයෙන් එන්න කලින් තහවුරු කරගන්න එක එකක්. කාන්තාවක් විදිහට වංචාවලට ලක් නොවී ඉන්න පුළුවන් ඒ වගේ දේවල් ගැන අවධානයෙන් හිටියොත්. 

 

5. වාහනයට අදාළ ලිපි ලේඛන

වාහනයක් කියන්නෙ කෙනෙක්ට තියෙන වත්කමක්නෙ. වත්කමක් නම් ඒකට අයිතිය කියාපාන්න වගේම ඒකට අදාළ වෙන බලපත්‍ර එහෙමත් තියෙනවා. ඔබත් වාහනයක් පදවන කාන්තාවක් නම් ඔබ මේ බලපත්‍ර සහ වාහනයට අදාළ ලියකියවිලි ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙ. වාහනයට අදාළ මූලිකම ලියවිල්ල වෙන්නෙ වාහනයේ පොත. එහෙම නැත්නම් Registration Book එක. ඒක තමන් සතුව තියෙන්න ඕනෙ වාහනයට ණය පහසුකමක් අරගෙන නැත්නම්. ඊට පස්සෙ වාහනය පාරට දාන්න තව මූලික  ලියවිලි තුනක් තියෙනවා. ඒ රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය කියන දේවල්. ඊට අමතරව දුම් සහතිකයත් (Emission Test Report) වාහනයේ තියෙන්න ඕනෙ අලුත් නීතිය අනුව. ඊටත් අමතරව තියෙන වාහනය විකුණද්දි මොන මොන ලියකියවිලි ද අවශ්‍ය වෙන්නෙ සහ අලුතින් වාහනයක් ගනිද්දි මොන විදිහට ද කරන්න අවශ්‍ය වෙන්නෙ කියන එක ගැනත් දැනුවත්කමක් තියෙන එක වැදගත්. මේ දේවල් ගැන වැඩි විස්තර dmt.gov.lk කියන නිල වෙබ් අඩවියෙන් දැනගන්නත් පුළුවන්.

 

6. රටතොට ගැන දැනුම

ඔය අපි කියපු දේවල් ඔක්කොම වගේම ඉතාම වැදගත් දෙයක් තමයි රට තොට ගැන පාරවල් ගැන දැනන් ඉන්න එක. වාහනයක් පදවන්න පුළුවන් උනාට ඒක පදවන පාරවල් ගැන තියෙන දැනුම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. කාන්තාවක් විදිහට නොදන්න පාරක යනවනම් ගූග්ල් මැප් එක පාවිච්චි කරන්න පුළුවන් වුනත් ගූග්ල් මැප් එක විතරක්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ ගමන හොඳින් ඉවර කරන්න. විශේෂයෙන් කොළඹ අවට One Way පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ ඔයත් කොළඹ නිතර යැවෙනවානම්. ඒ වගේම දුර ගමන් වලදී දන්නා කෙනෙක් එක්ක යන එක වැදගත් වේවි ගුගල් මැප් එකට වඩා.

 

7. Common sense

ඔය අපි කිව්ව කාරණා හැම එකකම කොනක තියෙන්නෙ මෙන්න මේ කොමන් සෙන්ස් කියන මහා බරපතළ කාරණාව. ලංකාවේ බොහෝමයකට නැත්තෙත් මේක ම තමයි. වාහනයක පත්තු වෙන warning Light එකක ඉඳලා, පාරක් හොයාගන්න එකේ ඉඳලා ගොඩක් සංකීර්ණ දේවල් වලට පවා විසඳුම් හොයාගන්න පුළුවන් ඔයත් හොඳ කොමන් සෙන්ස් එකක් තියෙන කෙනෙක් නම්. කාන්තාවක් විදිහට ඔබට වාහනයක් පදවද්දී ඉතාම වැදගත් වෙන්නෙ මේ දේ. ඒ නිසා ඒ ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා.  

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *