දේශපාල​නඥයින් ඉතිරි කර ගිය හොඳ දේවල් 

අපේ රටේ හැම දේටම අපි ඒ දේශපාලනඥයන්ට බණින එක පුරුද්දක් කරගෙන තියෙනවා. හැබැයි අපි අමතක කරන දේ තමයි එයාලව පත් කර ගන්නේත් බුද්ධිමත් අප විසින්ම කියන දේ. කොහොම වුණත් රැල්ලට දේශපාලනඥයන්ට බනින්නේ නැතුව හොඳට හිතලා බැලුවොත් දේශපාලනඥයො කරපු යහපත් දේවල් රාශියක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට දේශපාලනඥයෝ කීප දෙනෙක් ජාතියට දායාද කරපු හොඳ දේවල් පිළිබඳව.

 

1. නිදහස් අධ්‍යාපනය

අපේ රටේ ජනතාවට දේශපාලනඥයෙක් විසින් ලබා දීපු විශිෂ්ටතම දායාදය වෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා අපේ රටේ දරුවන්ට විවර කරපු මේ දොරටුව නිසා රටේ සම්පූර්ණ අනාගතයම වෙනස් වුණා කිව්වොත් නිවැරදියි. නමුත් එතුමාට ජාතියක් විදිහට අපි කළගුණ දැක්වූයේ එතුමා ඉදිරිපත් වුණු මැතිවරණයකින් එතුමාව පරාජයට පත්කොට දේශපාලනයෙන් ඉවත් කිරීමෙන්.

 

2. හොරණ ශ්‍රීපාලි විදුහල

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ ප්‍රතිවාදියා විදිහට ඉදිරිපත් වෙමින් එතුමාව පරාජයට පත් කළේ විල්මට් ඒ. පෙරේරා මහතා. නමුත් එතුමත් දර්ශනයක් සහිත පුද්ගලයෙක්. හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඉන්දියාවේ ශාන්ති නිකේතනය ආභාෂයෙන් ශ්‍රීපාලි විදුහල ඉදිකරන්න එතුමා දායකත්වය දෙන්නේ ලංකාවේ සිසු දරුවන්ගේ කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කරන්න. පසු කාලයක ලලිත කලා ආයතනයක් විදිහට සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් විදිහට අදටත් ශ්‍රීපාලි ආයතනය ලංකාවට විශාල සේවයක් ඉෂ්ට කරනවා.

 

3. කොතලාවල ආරක්ෂක පීඨය

මේ වනකොට අතිශයින් ආන්දෝලනයට තුඩු දීලා තියෙන කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ඇතිවෙන්නේ ලංකාවෙ හිටපු අගමැතිවරයෙකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පරිත්‍යාගයක් නිසයි. තමන්ගේ මරණයෙන් පසුව තමන් ජීවත් වූ රත්මලානේ කඳවල නිවෙස සහ ඉඩම රජයට පරිත්‍යාග කළ එතුමා බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සංවර්ධනය කිරීමේ ආයතනයක් එම ස්ථානයේ ඉදි කිරීමයි.

 

4. ශ්‍රී ජයවර්ධනපුර රෝහල

සුප්‍රකට සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ දී ජපානය කෙරෙහි සහනශීලී ආකල්පයක් ඇති කිරීම සඳහා සිය වාග් චාතුර්යය භාවිතා කළ ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කෙරෙහි ජපන් ජනතාව තුළ පවතින්නේ දැඩි ලෙන්ගතුකමක්. එහි ප්‍රතිඵලයක් ලෙස ජපාන රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහල ලංකාවට ලැබුණා. මේ ජේ.ආර් සහ ජපාන සම්බන්ධතාවය නිසා අපේ රටට ලැබුණු සම්පත් අතරින් එකක් පමණයි.

 

5. අම්බුලුවාව

හිටපු අගමැතිවරයෙකු වන දි. මූ ජයරත්න මහතා ගම්පොළ ප්‍රදේශයේ අම්බුලුවාව කන්ද ආශ්‍රිතව සුවිශේෂී නිර්මාණයක් කිරීමට කටයුතු කළා. අද වන විට එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා. ඊට අමතරව එම පරිශ්‍රයේ පිහිටා ඇති මධ්‍යස්ථාන මගින් ගම්පොල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. මෙම නිර්මාණය සිදු කිරීමේදී බොහෝ දෙනාගේ විවේචනයට ඔහුට භාජනය වීමට සිදු වූ අතර ඔහුට එරෙහිව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත ද පැමිණිලි ලැබී තිබුණා.

 

6. වකුගඩු රෝහල

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරම් සමාජ මාධ්‍ය තුළ විවේචනයට සහ හාස්‍යයට ලක් වූ පුද්ගලයෙකු නොමැති තරම්. නමුත් ඔහුගේ පාලන කාලයේ ලැබුණු වටිනාම ප්‍රදානයක් ලෙස ජාතික වකුගඩු රෝහල හැඳින්වීමට පුළුවන්. චීන රජයේ පරිත්‍යාගයක් වන මෙම රෝහල පිහිටා ඇත්තේ පොළොන්නරුවේ වන අතර එහි විවෘත කිරීම සිදුවූයේ මීට මාස කීපයකට පමණ පෙරයි. මේ මගින් රජරට ප්‍රදේශවල පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාවට ලැබෙන්නේ සුවිශාල අස්වැසිල්ලක්

 

 

7. සුවසැරිය

ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මෙම විශිෂ්ට සේවාව සඳහා මුල් වූ පුද්ගලයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වාව හැඳින්වීමට පුළුවන්. ක්ෂණිකව ක්‍රියාත්මක වන මෙම ගිලන් රථ සේවාව නිසා අද වන විට ආරක්ෂා වුණු ජීවිත ප්‍රමාණය විශාල අගයක් ගනු ලබනවා. මෙම සේවාව ආරම්භ කිරීමේදී විපක්ෂයේ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ප්‍රබල වෘත්තීය සමිති වල විරෝධතා වලට පවා ඔහුට මුහුණ දීමට සිදුවුණා. කෙසේ වෙතත් ඒ සියළු විරෝධතාවලට මුහුණ දෙමින් ඔහු එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වුණා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *