පෙම්වතාව/සැමියාව සතුටු කරන විදිහේ තෑග්ගක් තෝරාගන්න හැටි

තෑග්ගක් දෙන්නනම් ඉතින් හේතුවක් තියෙන්නම ඕන නැහැනෙ. හැබැයි හේතුවක් ඇතුව හරි හේතුවක් නැතුව හරි දෙන තෑග්ගට තේරුමක් තිබ්බොත් තමයි ඒකෙ වටිනාකම වැඩි. ඉතින් මේ කතා කරන මාතෘකාව වැදගත් වෙන්නෙ ගැහැණු පාර්ශවයට. කොල්ලොන්ට වඩා හේතු මතක තියාගෙන ඉඳලා තෑගි දෙන්න කෙල්ලො කොහොමත් දක්ෂයිනේ. ඉතින් එහෙම දෙන තෑග්ග තමන්ගෙ පෙම්වතාට හරි සැමියාට හරි හුඟක් වටින, එයාව ගොඩක් සතුටු කරන්න පුළුවන් විදිහේ තෑග්ගක් වෙනවනම් කොච්චර දෙයක්ද. මේ කියන්න යන්නෙ අන්න එහෙම තෑග්ගක් තෝරගන්න උදව් වෙන ටිප්ස් ටිකක්.

 

 

1. එයාගෙ කැමැත්ත

 

හුඟක් ගැහැණු ළමයි තෑගි දෙනකොට වරද්ද ගන්න තැනක් තමයි මේක. කොයි විදිහේ තෑග්ගක් උනත් ලබන කෙනා අකමැති දෙයක්නම් වැඩක් වෙන්නෙ නැහැනේ. ඉතින් ඔයා ආස තෑග්ගක් එයාට දීලනම් වැඩක් නැහැ. ඒ නිසා ඔක්කොටම කලින් එයාගෙ රුචි අරුචිකම් ගැන පොඩි අදහසක් අරගෙන ඉන්න ඕන. ඔන්න කාලයක් ආශ්‍රය කරපු පෙම්වතුන් යුවළක්නම්, විවාහ වෙලා කාලයක් ගිය යුවළක්නම් මේ කාරණේ සිම්පල්. හැබැයි ලඟදි අඳුරගත්ත යුවලක්න්ම, ඇත්තටම එයා ආස දේවල් දන්නෙම නැත්තම් එයාගෙ ළඟ යාලුවෙකුට හරි කතා කරලා මේ ගැන දැනගෙන ඉන්න. නැත්තම් වියදම් කරන සල්ලිත් අපරාදෙ වගේ වැඩක් තමයි වෙන්නෙ.

 

 

2. එයා ළඟ නැති දෙයක්

 

හැම වෙලාවෙම උත්සාහ කරන්න එයා කැමතිම, හැබැයි එයා ළඟ නැති දෙයක් තෑගි කරන්න. මොකද දැනටත් එයා ළඟ තියෙන දෙයක් දුන්නොතින් ඒ වෙලාවේ තෑග්ග ලැබුන සතුට විතරක් තියෙයි. හැබැයි එයාට ඕනෙම ඒත් එයා ගාව නැති දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරන හැම පාරකම ඒකෙ වටිනාකම එයාට දැනෙනවා. ඉතින් පොඩි research එකක් කරලා, මායම් දෙක තුනක් පාවිච්චි කරලා එයාගෙ ළඟ නැති දෙයක් හොයලා බලලා දෙන්න පුළුවන්නම් තමයි හොඳ. 

 

 

3. තාක්ෂණික මෙවලම්

 

පිරිමි කෙනෙකුට දෙන්න පුළුවන් තෑගි ලිස්ට් එකක් හැදුවොත් ඉහළින්ම තියෙන්නෙ ගොඩක්ම තාක්ෂණික උපකරණ තමයි ඉතින්. ෆෝන්, ටැබ්ස්, වගේ මිල අධික ඒවගේ ඉඳන් පවර් බෑන්ක්ස්, පෙන්ඩ්‍රයිව්ස් වගේ ඒවා වෙනකන් හැම දෙයක්ම අපිට ඒතරම්ම වැදගත් කියල පෙනුනෙ නැති උනාට කොල්ලොන්ටනම් මහමෙරක් වගේ. නිකන් වැඩකට නැති සුකුරුත්තන් වලට වඩා එයාලට මේ දේවල් හුඟක් වටිනවා. ඉතින් වියදම් කරන ගාණෙන් ප්‍රයෝජනයක් එක්ක ඉහලම සතුටක් ලැබෙන්න නම් හොඳම වැඩක් තමයි මේ tech gadgets තෑගි දෙන එක. 

 

 

4. මිල අධික තෑගිම නෙමෙයි

 

තෑග්ගක් වුණහම මිල අධිකම වෙන්න ඕන කියල එකක් නැහැ. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට. සමහර කාන්තාවෝ මිල අධික තෑගි පස්සෙ පැන්නුවට පිරිමිනම් එහෙම නොකරන තරම්. ඉතින් එයා කැමතිම, එයාට ඕනම, එයා ළඟ නැති, ගෙවන මිලට වැඩියෙන්ම වටිනා දෙයක් මිසක් මිල අධික සෝබන තෑගි පස්සෙ යන එකනම් පිරිමි අයට තෑගි දෙද්දී කරන්න ඕනම නැති වැඩක්. සරලව කිව්වොත් කොල්ලෙක්ට තෑග්ගක් දෙනකොට මහා ලොකු ගණන් වියදම් කරන්න ඕනෙම නැහැ. තියෙනවනම් වියදම් කළත් කමක් නැහැ. ඒක ඉතින් තමන්ගෙ කැමැත්තනෙ. හැබැයි වැඩිය වැදගත් තෑග්ග මිසක් ඒකෙ මිල නෙමෙයි.

 

 

5. මතකයේ රැඳෙන තෑගි 

 

ටිකක් වෙනස් විදිහක තෑග්ගක් දුන්නොත් මොකද? පුදුම වෙන්නයි ආස වෙන්නයි දෙකටම එක්ක. දෙන්නත් එක්ක Day Outing එකක් එහෙමත් නැත්තම් hotel එකක stay එකක් වගේ දෙයක් සූදානම් කරලා එයාව පුදුම කරන්න. කාර්‍යබහුල ජීවිතේට විවේකයක් ලැබෙන එකත් එයාට ලොකු සතුටක් වෙයි. අනිත් එක ඒක ටිකක් වෙනස් විදිහේ, හැමදාටම මතක හිටින, ඒ වගේම දෙන්නටම enjoy කරන්න පුළුවන් විදිහේ තෑග්ගක්නේ. මේවගේ දෙයක්නම් දෙන්නම සාකච්ඡා කරලා දෙන්නම කැමති තැනකට ගියත් කමක් නැහැ. පෙම්වතාගේ නැත්තම් සැමියගේ උපන්දිනයකට, දෙන්නගේ සංවත්සරයකට වගේ දෙන්න හොඳ තෑග්ගක් මේක. හැබැයි ඉතින් ඔන්න වියදමනම් ටිකක් ඉහළයි. 

 

 

6. Personalized Gifts

 

අද කාලෙ හුඟක් ජනප්‍රිය තෑගි දෙන ක්‍රමයක් තමයි මේ personalized gifts ක්‍රමය. දෙන්නගෙ මතක එක්ක ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක්, මග් එකක් වගේ ප්‍රින්ට් කරල දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් මේ විදිහට ෆෝන් කවර වගේ ඒවා ප්‍රින්ට් කරල දෙන්නත් පුළුවන්. එයාටම විතරක් තියෙන ඔය දෙන්නගෙ ලස්සන පින්තුරයක් දාපු ෆෝන් කවරයක්. ලොකු වියදමක් යන්නෙත් නැහැ.

Personalized කරපු බ්‍රේස්ලට්, පෙන්ඩන්ට්ස්, මුදු වගේ තෑගිත් දෙන්න පුළුවන්. දෙන්නගෙම නම, එක්කෝ එයාගෙ නම, නමේ මුල් අකුරු වගේ ඒවා එක්ක. මේ වගේ තෑගි ගන්න පුළුවන් තැන් දැන් කාලෙ ෆේස්බුක් එකෙන් එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. මතක හිටින, තමන්ගෙම මතකයක් තියෙන තෑග්ගක් නිසා මේකෙත් වටිනාකම වැඩියි ඉතින්.

 

 

7. දෙන්න හොඳම නැති දේවල්

 

දෙන්න හොඳම තෑගි, තෝරාගන්න විදි එහෙම කතා කරලා විතරක්ම බැහැ. දෙන්න හොඳ නැති තෑගි ගැනත් දැනගෙන ඉන්න ඕන. ඒ  නිසා තෑග්ගක් දෙන්න කලින්, එක්කෝ දෙන තෑග්ග තීරණය කලාට පස්සෙ මේක ඇත්තටම සුදුසුද කියලත් ටිකක් හොයල බලන්න ඕන. කලින් කිව්ව වගේ ඔයා කැමති දෙයක් දීලා එයා ඒක පාවිච්චි කරයි කියලා හිතන එක හෝ එහෙම පාවිච්චි කරන්න බල කරන එක තමයි මුලින්ම කරන්න හොඳ නැත්තේ. අනිත් එක තමයි එයා දැනට පාවිච්චි කරන, එයා කැමතිම දෙයක් වෙනුවට ඔයා දෙන දෙයක් පාවිච්චි කරන්න බල කරන එක. උදාහරණයක් විදිහට ඔරලෝසුවක්, ෆෝන් එකක්, පර්ස් එකක් වගේ. එහෙම කරන්නත් එපා. ඊට වඩා වටිනවා එයාට නැති දෙයක් හොයලා බලලා අරන් දෙන එක. ඒ වගේම Perfume, Deodorant වගේ hygienic products තෑගි දෙන්න කලිනුත් ටිකක් හිතල බලන්න. පළවෙනි හේතුව තමයි ඒ වගේ දේවල් වල සුවඳ පෞද්ගලික කැමැත්ත මත තෝරාගන්න ඕන. අනිත් වැදගත්ම දේ තමයි එහෙම තෑග්ගක් දුන්නම අපි නොදැනීම එයාගෙ පෞද්ගලික සනීපාරක්ෂාව මදි, ඒ කිව්වේ තේරෙන්නම කිව්වොත් “ඔයා ගාව ගඳයි. ඒ නිසා perfume එකක් දෙනවා” වගේ පණිවිඩයක් එයාට දැනෙන්න පුළුවන්.