අපේ රජවරුන්ගේ විදේශ ආක්‍රමණ

විදේශ ආක්‍රමණ කිව්ව ගමන් අපිට එන්නේ ලේ කුපිත වෙන හැඟීමක්. මොකද අපේ රට විවිධ කාලවලදී ඉන්දීය සහ යුරෝපීය රටවල ආක්‍රමණවලට ලක් වෙලා තියෙන හින්දා. ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වුණු අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි අත ඇරලා නිරිතදිගට රාජධානි ගෙනියන්න වුණෙත් මේ වගේ අපිට එල්ල වුණු විදේශ ආක්‍රමණ නිසා. අපි ගොඩක් අය දන්නේ මේ වගේ අපිට එල්ල වුණු ආක්‍රමණ. හැබැයි වැඩි දෙනෙක් නොදන්නවා වුණාට අපේ රජවරු කීප දෙනෙකුත් අසල්වැසි රටවල් ආක්‍රමණය කරලා තියෙනවා. අපි මේ ලිපියෙන් ඒ වගේ ආක්‍රමණ කීපයක් ගැන කතා කරමු.

 

1. පළවෙනි ගජබාහු

ලංකා ඉතිහාසයේ අපේ රජ කෙනෙක් කරන පළවෙනි විදේශ ආක්‍රමණය විදිහට සලකන්නේ ගජබාහු රජු විසින් චෝල දේශය ආක්‍රමණය කිරීම. ජනප්‍රවාදයේ විදිහට දවසක් ගජබාහු රජ්ජුරුවෝ රටේ තොරතුරු දැන කියාගන්න වෙස්වලාගෙන ඇවිදිනවා. ඒ අතරතුරේදී රජ්ජුරුවන්ට ගේකින් මහලු කාන්තාවක් අඬන සද්දයක් ඇහෙනවා. රජ්ජුරුවෝ තමන්ගේ මඩිස්සලේ තිබ්බ හුණු කූරකින් ඒ ගෙදර දොරේ සටහනක් තියනවා. පහුවෙනිදා රාජපුරුෂයෝ යවලා ඒ කාන්තාවව රජවාසලට ගෙනල්ලා අඬන්න හේතුව අහනවා. ඒ කාන්තාව කියනවා ගජබා රජ්ජුරුවන්ගේ පිය රජු වුණු වංකනාසිකතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ දී කරිකාල කියලා චෝල රජ කෙනෙක් ලංකාව ආක්‍රමණය කරලා සිංහල මිනිස්සුන්ව  වහලුන් විදිහට ගෙනිච්චා සහ ඒ අතර තමන්ගේ පුතාත් හිටියා කියලා. ඒ පුතාව මතක් වෙලයි තමන් ඇඬුවේ කියලා ඇය කියනවා. මේක අහන ගජබා රජ්ජුරුවෝ කෝපයට පත්වෙලා තමන්ගේ සේනාධිපතියා වුණු නීල මහා යෝධයා සහ සේනාව එක්ක චෝල දේශය ආක්‍රමණය කරනවා (ඒ ගැන රසවත් ජනප්‍රවාදත් තියෙනවා) ඊට පස්සේ පිය රජ්ජුරුවන්ගේ කාලේ ගෙනිච්ච 12,000ක් සිංහල සිරකරුවන් නැවත ගේනවා විතරක් නෙමෙයි, වන්දි විදිහට චෝලයින් 12,000කුත් ලංකාවට ගේනවා. ඒත් එක්කම වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ චෝලයන් පැහැරගත්ත “පාත්‍රා ධාතූන්වහන්සේ” වගේම චෝලයන්ගේ පූජා වස්තුවක් වුණු පත්තිනි සලඹත් ලංකාවට ගේනවා.

මේ ආක්‍රමණය ගැන මහාවංශයේ නම් සඳහන් වෙන්නේ නෑ. සමහර ඉතිහාසඥයෝ නම් කියන්නේ ගජබා රජ්ජුරුවෝ මහා විහාරයට වඩා අභයගිරියට උදව් පදව් කළ නිසා එහෙම වුණා කියලා. ඒත් පූජාවලිය, රාජරත්නාකරය වගේ පොත්වල මේ ගැන සඳහන් වෙනවා. ඒ වගේම දෙමළ මහා කාව්‍යයක් වුණු “සිලප්පදිකාරම්” ග්‍රන්ථයේදි ලංකාවේ “කයවාහු” කියලා රජ කෙනෙක් චෝල දේශයේ පත්තිනි පූජා උත්සවයකට සහභාගී වුණා කියලා සඳහන් වෙනවා. මේ සඳහන් කිරීමත් ගජබා රජුගේ චෝල දේශය ආක්‍රමණය ගැන එක සාධකයක් විදිහට ගන්න පුළුවන්.

 

2. දෙවෙනි සේන

මහාවංශයේ මහ ඉහළින් වර්ණනා කරන සිදුවීමක් තමයි දෙවෙනි සේන රජ්ජුරුවන්ගේ පාණ්ඩ්‍යය දේශය ආක්‍රමණය කිරීම. මේ ආක්‍රමණයට පසුබිම් හැදෙන්නේ මෙන්න මෙහෙමයි. දෙවෙනි සේන රජ්ජුරුවන්ට කලින් ලංකාව පාලනය කරන්නේ පළවෙනි සේන රජ්ජුරුවෝ. ඒ කාලේදී ශ්‍රී මාර ශ්‍රී වල්ලභ කියන පාණ්ඩ්‍යය රජ්ජුරුවෝ ලංකාව ආක්‍රමණය කරලා අනුරාධපුරය කොල්ල කනවා. ඔහු සමග සටන් කරන්න ගිහින් පරාජයට පත්වෙන පළවෙනි සේන රජ්ජුරුවන්ගේ සහෝදරයෝ වුණු මහින්ද සහ කාශ්‍යප කියන රජකුමාරවරු   සටන් බිමේදිම සිය දිවි හානි කරගන්නවා. පළවෙනි සේන රජ්ජුරුවන්ගෙන් පස්සේ දෙවෙනි සේන විදිහට රජ වෙන්නේ එහෙම මියගිය කාශ්‍යප කුමාරයගේ පුතා. මේ කාලෙදි ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ පුතා වුණු “වරගුණවර්මන්” තමන්ගේ පියාට විරුද්ධව කැරැල්ලක් පටන් ගන්නවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතන දෙවෙනි සේන රජතුමා “කුන්ථක” කියන සෙන්පතිවරයා යටතේ සේනාවක් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීමට යවනවා. සිංහල සේනාව හමුවේ පරාජයට පත්වෙන ශ්‍රී මාර ශ්‍රී වල්ලභ සියදිවි හානි කරගන්නවා. වරගුණවර්මන්ව පාණ්ඩ්‍ය රජු විදිහට අභිෂේක කරන සිංහල සේනාව, පළවෙනි සේන රජ්ජුරුවන්ගේ කාලේ දී ලංකාවෙන් පැහැර ගෙන ගිය වස්තුව සහ වරගුණවර්මන්ගෙන් ලබපු තෑගි අරන් නැවතත් ලංකාවට එනවා.

 

3. පස්වෙනි කාශ්‍යප

පස්වෙනි කාශ්‍යප රජ්ජුරුවන්ට මේ ආක්‍රමණය කරන්න සිද්ධ වෙන්නේ පාණ්ඩ්‍ය සහ චෝල බල තරගයේ ප්‍රතිඵලයක් විදිහට. මේ කාලේ චෝල දේශය පාලනය කරන පරන්තක කියන චෝල රජතුමා පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කරනවා. මේ කාලේ පාණ්ඩ්‍යය දේශයේ රජ්ජුරුවෝ වුණු “මානවර්මන් රාජසිංහ” සිංහල දේශයෙන් උදව් ඉල්ලනවා. ඒ අනුව පස්වෙනි කාශ්‍යප රජතුමා සක්ක කියන සෙන්පතිවරයා යටතේ සේනාවක් චෝල දේශය ආක්‍රමණයට යොදවනවා. පාණ්ඩ්‍යය සේනාවත් එක්ක එකතු වුණු සිංහල සේනාව චෝලයන්ට එරෙහිව ජයග්‍රහණ රාශියක් ලබනවා. ඒත් හමුදා කඳවුරුවල බෝවන රෝගයක් පැතිර යාමත් එක්ක සිංහල සේනාව ආක්‍රමණය සම්පූර්ණ කරන්නේ නැතුව නැවතත් ලංකාවට එන්න තීරණය කරනවා.

 

4. හතරවෙනි උදය

මේ කාලේ වෙද්දි දකුණු ඉන්දියාවේ තිබ්බ චෝල පාණ්ඩ්‍යය තරගයෙන් චෝලයෝ ජයග්‍රහණය කරලා. පාණ්ඩ්‍යය රජතුමා මේ පරාජයෙන් පස්සේ තමන්ගේ අභිෂේක භාණ්ඩ ලංකාවට එවනවා, ආරක්ෂාවට. චෝලයෝ මේ අභිෂේක භාණ්ඩ ලංකාවෙන් ඉල්ලුවත් කීප වතාවක් ලංකාවෙන් ඒවා නැවත බාරදෙන එක ප්‍රතික්ෂේප කරනවා. චෝලයෝ ලංකාව ආක්‍රමණය කරනවා. මේ වෙද්දි අනුරාධපුරයේ රජ කරන හතරවෙනි උදය රජ්ජුරුවෝ ආරක්ෂාවට රුහුණට පලා යනවා. චෝලයෝ අනුරාධපුරය කොල්ල කාලා යනවා. නැවතත් සේනා සංවිධානය කරන උදය රජතුමා “විදුරංග” සේනාධිපතියා යටතේ සේනාවක් චෝල දේශය ආක්‍රමණය කරන්න යොදනවා. මේ ආක්‍රමණයෙන් අනුරාධපුරයෙන් කොල්ලකාගත් වස්තුව නැවතත් ලංකාවට ගෙන්න ගන්න උදය රජතුමා සමත් වෙනවා.

 

5. මහා පරාක්‍රමබාහු රජු

ලංකාවේ ප්‍රබලම පාලකයෙක් විදිහට සැලකෙන මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ විදේශ ආක්‍රමණ ගැන ලංකාවේ මූලාශ්‍රවල මහ ඉහළින් සඳහන් වෙනවා. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ රටවල් දෙකක් ආක්‍රමණය කරලා තියෙනවා.එක රටක් තමයි බුරුමය, අනෙක් රට චෝල දේශය. බුරුමය පාලනය කරපු “අලවතුසිංහ” කියන රජතුමා සිංහල වෙළඳ නැව් පැහැර ගැනීම සහ බුරුමය හරහා ගමන් කරපු සිංහල කුමරියක් පැහැර ගැනීම වගේ අකටයුතුකම් රාශියක් සිද්ධ කරනවා. කෝපයට පත් වෙන පරාක්‍රමබාහු රජ්ජුරුවෝ “කිත්ති නුවරගිරි” කියන සෙනෙවියා ලවා බුරුම ආක්‍රමණයක් සිද්ද කරනවා. මේ ආක්‍රමණය ගැන හැබැයි බුරුම මූලාශ්‍රවල නම් සඳහන් වෙන්නේ නෑ.

පාණ්ඩ්‍ය දේශයේ කුමාරයෙක් තමන්ට සිහසුන ලබාගන්න පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙන් උදව් ඉල්ලනවා. ඒ කුමාරයගේ තරඟකාරයට උදව් කරන්නේ චෝලයෝ. මේ හේතුව නිසා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට චෝල දේශය සහ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කරන්න වුණා කියලා මහා වංශය කියනවා. මේ ආක්‍රමණයෙන් ලංකාව ජයගත්තා කියලා මහාවංශය කිව්වත් චෝල මූලාශ්‍රවල හැටියට සිංහල සේනාව පරාජයට පත් වෙනවා. සිංහල සේනාධිපතිවරුන් හිස් ගැසුම් කනවා.

 

6. නිශ්ශංකමල්ල රජු

නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ තමන් කේරළ, පාණ්ඩ්‍ය, චෝල කියන රටවල් තුනම යටත් කළා කියලා ගල්පොත සෙල්ලිපියෙදි සඳහන් කරනවා. මේ ප්‍රකාශය පුරාජේරුවලට ප්‍රසිද්ධ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ අතිශයෝක්තියක් විදිහටයි මෑතක් වෙන තුරුම සැලකුණේ. ඒත් රාමේෂ්වරම් කෝවිලේ කරපු කැනීමකින් නිශ්ශංකමල්ල පිහිටවපු සෙල්ලිපියක් හමුවීමත් එක්ක නිශ්ශංකමල්ල අවම වශයෙන් රාමේෂ්වරම් ප්‍රදේශයවත් තමන් යටතට ගන්න ඇතැයි කියලා ඉතිහාසඥයෝ විශ්වාස කරන්න ගත්තා.

 

7. හයවෙනි පරාක්‍රමබාහු

ලංකා ඉතිහාසයේ සඳහන් වෙන අපේ රජ කෙනෙක් කරපු අවසාන විදේශ ආක්‍රමණය විදිහට සඳහන් වෙන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ දකුණු ඉන්දීය ආක්‍රමණය. විජයනගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයෙකු වුණු ‘මල්වරායර්’ කියන පුද්ගලයා ලංකාවේ වෙළඳ නැව්වලට පහර දීමත් එක්ක හයවෙනි පරාක්‍රමබාහු ඊට ප්‍රතිප්‍රහාරයක් විදිහට මේ ආක්‍රමණය සිදු කරනවා. සිංහල සේනාවෙන් ලබපු පරාජය හමුවේ මල්වරායර් ලංකාවට කප්පම් ගෙවන්න එකඟ වුණා කියලයි ගිරා සංදේශය, පැරකුම් සිරිත වගේ පොත් කියන්නේ.

මේ ලිපිය ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඒ වගේම මේ ලිපිය ෆේස්බුක් වගේම ඔයාලා ඉන්න වට්ස්ඇප් ගෘප්වල ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *