දෙවැනි ලියෝපෝල්ඩ් කියන්නෙ එච්චර හොඳ මනුස්සයෙක් නෙමෙයි කියල මේ දවස්වල අන්තර්ජාලයේ සංසරණය වෙන ඡායාරූපය දුටු ඔබ දන්නවා ඇති. ඒ රූපයේ ඇත්තේ තමන්ට නියම කළ රබර් කිරි ප්‍රමාණය එක්කරගැනීමට නොහැකි වූ මිනිසෙකුගේ රුවක්. ඔහුගේ ඉදිරියේ බිම වැටී ඇත්තේ ඔහුගේ කුඩා දියණියගේ කපා දැමූ අතක් සහ කකුලක්. අන්න ඒ විදියෙ වැඩ තමයි මේ බෙල්ජියමෙ දෙවනි රජ්ජුරුවො කළේ. පිය උරුමයෙන් රජකම අරගන්න දෙවනි ලියෝපෝල්ඩ් ප්‍රසිද්ධ වෙන්නෙ කොංගෝව සොයාගැනීමත් සහ එය තමන්ට හිමි කරගැනීමත් නිසායි. ඒ වෙනුවෙන් ඔහු බිලිගන්න අප්‍රිකානු මිනිස් ජීවිත ප්‍රමාණය මිලියන දහයකට අධිකයි.
1. පවුල සහ ධූරය
අවුරුදු 44ක් බෙල්ජියමේ රජු ලෙස තානාන්තර දරන දෙවනි ලියෝපෝල්ඩ් 1865 දි රාජ්‍ය කරණයට විත් මිය යන තෙක් 1909 වසර දක්වා එහි සිටිනවා. එය බෙල්ජියමේ අයෙකු රජ කළ වැඩිම ධූර කාලයයි. පියා වෙන්නෙ පළමු ලියෝපෝල්ඩ්. මවු ඕර්ලියන්ස් හී ලුයීස්. පවුලේ දෙවැනි දරුවා වුණත් පළමු වැන්නා මිය යෑම නිසා වැඩිමලා බවට පත්වෙන්නට මොහුට හැකිවෙනවා. එය ලෝකයට නම් අභාග්‍යයක්.
2. වැඩිය ප්‍රසිද්ධ කොංගෝව නිසා
දෙවැනි ලියෝපෝල්ඩ් කොංගෝව සොයාගන්නවා. ඉන්පසු ඔහු එහි එහි තනි හිමිකරුවා බවට පත්වෙනවා. හෙන්රි මෝට්න් ස්ටැන්ලී කියන දේශ ගවේශකයාගේ උදවුවත් ඔහු මේ වෙනුවෙන් ලබාගන්නවා. ඇතුන් මරා දළ විකුණා අති විශාල වස්තු සම්භාරයක් එක් කරගන්නා ලියෝපෝල්ඩ් කොංගෝවේ කුලී හේවායන් දමා රබර් සිටුවීමෙන්ද ආදායම් ලබනවා. එවකට කොංගෝව බෙල්ජියමට වඩා 76 ගුණයක් ප්‍රමාණයෙන් විශාලයි. එයින්ම ඔහුගේ බලය සහ රාජ්‍යකරණයේ හැකියාව පේනවනෙ. රටක් ශක්තිමත් කිරීමට නම් රටින් බැහැරව රටට අයත් කොලනි තියෙන්නට ඕන කියලා මතයක් ලියෝපෝල්ඩ් දරා තිබෙනවා. එනිසා ඔහු මුළු කොංගෝවම ඔහුගේ වහල් සේවයේ යොදවනවා. අපේ ඡායාරූපයේ කතාව සම්බන්ධ වෙන්නේ එතැනටයි.
3. වර්ණභේද වාදය
හිට්ලර්ව වගේම ලියෝපෝල්ඩ්වත් පිස්සු වට්ටපු ප්‍රධානම කාරණයක් වෙන්නෙ ජාතිභේද ය. ඒනිසා ඔහු කළු ජාතිකයන්ගේ වීරයන් යැයි අදහන පිරිස් වෙනුවට ඔහුගේ පිරිස් මනසේ රඳවාගන්නට බල කරනවා. ඔහුගේ වැඩ කඳවුරු සහ වධ කඳවුරු ඇතුළෙ සිද්ධ වුණු ක්‍රෑර වධහිංසා, කැපුම් සහ මිනීමරුම් වාර්තාවන්ම එයට හේතුවක්. මේ ගැන මහා ගත්කරු මාක් ට්වේන් ඔහුගේ “King Leopold’s Soliloquy; A Defense of His Congo Rule” කෘතියේ තරමක් රිදෙන විධියට උපහාසාත්මකව ලියලා තියෙනවා.
4. ක්‍රෑර පාලනය
ඔහුගේ රෙජීමය පැවතිච්ච කාලය ඇතුළෙ මිලියන පහළොවකට ආසන්න අප්‍රිකානුවන් පිරිසක් නිකරුණේ මරා දැමෙනවා. ලියෝපෝල්ඩ් ගේ මෙම සහාසික පාලනය එකල දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වුණත්, දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් විසින් සිදුකළ යුදෙවු සංහාරය තරම් වර්තමානයේදී වගේම එකලත් මෙය කතිකාවතට බඳුන් වන්නේ නැහැ. නමුත් සංඛ්‍යාත්මක වශයෙන් ඇස්තමේන්තු ගත කළ හොත් මෙම සංහාරය හිට්ලර්ගේ ඝාතනයන්ට වඩා විශාල ලෙස දැක්විය හැකියි.
5. ඝාතන යටයන්නේ ඇයි?
ලියෝපෝල්ඩ් මෙලෙසින් අධික මිනීමැරුම් සහ ඝාතනයන් සිදු කළත් ලොව වැඩිම මිනිස් ඝාතනයන් සම්බන්ධයෙන් ඔහුගේ නම මහා ලොකුවට පෙනෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ බෙල්ජියමේ අන් කිසිදු පාලකයෙකුට වඩා ලියෝපෝල්ඩ් විසින් රටට උපයා දෙන ලද අතිවිශාල මුදලයි. ඒ නිසා කිසිම මොහොතක බෙල්ජියම් රටේ ඉතිහාස කතාව ඇතුලෙ ලියෝපෝල්ඩ් කියන්නෙ පරපීඩාවෙන් ඔලුවෙ ආසාව සපුරගත්තු ඒකාධිපතියෙක් විදියට නම් වෙන්නේ නැහැ. ඒවගේම ඔහුගේ නම මෙම සාහසික තත්ත්වයෙන් මුදවන්නට සමත් වෙන තවත් යමක් තිබෙනවා. ඒ ඔහු පාලනය කළ සමයේ රට තුළ දියත් කළ ව්‍යාපෘති ප්‍රමාණයයි. සමාජයීය ව්‍යාපෘති, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි දේ නිසා ඔහුට බිල්ඩර් කිං විධියටත් අතීතයේදී ආමන්ත්‍රණයට ලක්වෙනවා.
Leave a Reply