ලංකාව මේ වෙනකොට තියෙන්නේ කොතනද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ වෙනකොට අපිට විදෙස් සංචිත නෑ. රට පුරා තෙල් පෝලිම්. කරන්ට් එක කපනවා. බේත් හේත් නෑ. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ඇතුළු ගොඩක් දේවල් ගන්න නෑ. බඩු මිල යක්ස වේගෙකින් වැඩි වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකුත් අත ලඟ එනවා. ආහාර හිඟයකුත් ලඟ ලඟම එන්න නියමිතයි. ගොඩක් අයගේ රැකියා වලටත් කණ කොකා හඬමින් තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත්, ශ්‍රී ලංකාව නිදහසෙන් පස්සේ එතෙක් මෙතෙක් මුහුණ දීපු අති දරුණුම ආර්ථික අර්බුදය අත්විඳිමින් ඉන්නේ. එතනින් ප්‍රශ්නේ ඉවරද? නෑ. ආර්ථික අර්බුදයත් එක්ක, මේ අර්බුදයට ප්‍රධානතම හේතුවක් වුණු දේශපාලන අර්බුදයකුත් තියෙනවා. ඒ එක්කම ආයෙමත් කොරෝනත් හිස ඔසවලා තියෙන්නේ. වාසනාවට අර මංකි-පොක්ස් එක එහෙම ලංකාවට ඇවිත් නැහැ. ආවොත් බඩුම තමයි.
දැන් ඇත්තටම අපි මේ ගත කරන්නේ අපේ ජීවිත කාලය ඇතුළේ පෙර නොදුටු විරූ දුෂ්කර කාලයක් කියන එක නිවැරදියි නේ? මේ වෙනකොට පහළ මධ්‍යම පංතියෙන් පල්ලෙහා මිනිස්සුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා සඳහා යන වියදම් පියවා ගන්න ආදායමක් නෑ. ඉහළ මධ්‍යම පංතියටත් ඒ ඉරණම උදාවෙන්න නියමිතයි. සාමාන්‍යයෙන් ඊට වඩා හොඳට මුදල් උපයන කෙනෙක්ට වුණත් අනාගතේ ගැන හිතලා ඉතුරුවක් කරන්න, ආයෝජනයක් කරන්න කිසිම ඉඩක් නෑ. ඉතින් මෙහෙම තත්වයක් රට පුරා තියෙනකොට, මූලික අවශ්‍යතා පවා ඉෂ්ට කරගන්න පට්ට කට්ටක් කන්න වෙලා තියෙනකොට, මිනිස්සු ඩිප්‍රෙස් වෙන එක, මානසික අවපීඩනයට, විෂාදයට පත් වෙන එක අහන්න දෙයක්ද?
හැබැයි කතන්දරේ මේකයි, අපි මානසික අවපීඩනයට ලක්වෙලා, මානසිකව වැටිලා බෑ. මේ අපි ගත කරන්නේ තවදුරටත් එහෙම ඉන්න එක විකල්පයක් නොවෙන අවධියක්. විශේෂයෙන්ම අපිට රැකබලාගන්න අපේ ආදරණීයයෝ එහෙම ඉන්නවා නම්, අපි විශේෂයෙන්ම ශක්තිමත්ව ඉන්න ඕන කාලයක් මේක. ඒත් ඒක කොහොමද කරන්නේ? ඒ ගැන තමයි අපි මේ කියන්නේ.
-
ශාරීරික සෞඛ්‍යය හැකි උපරිමයෙන්
හොඳට මතක තියාගන්න, මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණු කාරණා ද්විත්වයක්. ඒ කියන්නේ, අපිට ශාරීරික සෞඛ්‍යය නැතිවුණොත්, ඒක මානසික සෞඛ්‍යයට බලපානවා. අනික් පැත්තටත් ඒක එහෙමයි. අන්න ඒ නිසා, මේ අර්බුදකාරී කාලය ඇතුළත අපිට ශරීර සෞඛ්‍යය ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න වෙනවා. අපිට පුලුවන් වෙනදා හුරුපුරුදු වෙලා තියෙන තුන්වේල බත් කන මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිලා, ප්‍රෝටීන සහ මේද අවශ්‍යතාවය වැඩියෙන් සපුරගන්න පුලුවන් ක්‍රම සහ විධි හොයාගන්න. එහෙම කරලා කන වේල් ප්‍රමාණය අඩු කරන්න. එතකොට ශරීරයට නිරන්තරයෙන් ව්‍යායාම ලබාදෙන්න. ටිකක් වැඩියෙන් එළියට බැහැලා ඇවිදින්න කරන්න. විශේෂයෙන්ම, මේ වෙනකොට තියෙන තෙල් අර්බුදයත් එක්ක, ටිකක් පයින් යන්න හුරු වෙන එක, පාපැදියක් පාවිච්චි කරන්න හුරු වෙන එක හොඳයි. අනිවාර්යයෙන්ම හොඳ නින්දක් ලබාගන්න උත්සාහ කරන්න. මෙන්න මේ විදියට ශාරීරික සෞඛ්‍යය හැකි උපරිමයෙන් තියාගන්න එක, මානසික සෞඛ්‍යය පවත්වාගන්න අත්‍යවශ්‍ය කාරණයක්!
-
පවතින තත්වයට අනුහුරු වෙන්න
අර්බුදයක් තියෙනකොට, අපි ඒකට විසඳුම් හොයාගන්න ඕන. එහෙම විසඳුම් හොයාගන්න නම් අපිට මේ තත්වයට ඇඩැප්ට් වෙන්න සිද්ධ වෙනවා, අනුහුරු වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, මේ වෙනකොට දේශීය කර්මාන්ත සෑහෙන්න ප්‍රමාණයක් අනතුරේ වැටිලා තියෙන මොහොතක්. එතකොට තමන්ගේ ජොබ් එකටත් කෙළවෙනකල් ඔහේ බලාගෙන ඉන්නෙ නැතුව, තව ප්ලෑන් බී එකකුත් තියාගන්න එක නුවණට හුරුයි. ඇත්තටම ඔය ෆ්‍රී ලාන්සින් වැඩ කරන්න පුලුවන් වෙබ්සයිට් ඔස්සේ, ඉන්ටර්නැෂනල් ෆ්‍රී ලාන්සින් මාකට් එකට ඇතුළු වෙන්න මීට වඩා හොඳ කාලයක් නැහැ. එතකොට තමන්ගේ දැනුමේ අඩුපාඩු තියෙනවා නම්, ඒ දැනුම ලබාගන්නත් ක්‍රම අනුගමනය කරන්න ඕන. එතකොට, කරන්ට් කපනවා නම්, ඒ කාලය ඔහේ ආණ්ඩුවට බැණ බැණ ගත කරන්නෙ නැතුව, තමන්ගේ වැඩකට යොදවා ගන්න හිතන්න පුලුවන්. මෙච්චර කාලෙකට තමන් ගත කරලා තියෙන අධි පරිභෝජනවාදී ජීවිතයෙන් මිදිලා, ජීවිතේ වඩාත් සරල කරගන්නේ කොහොමද කියලා හිතන්න පුලුවන්. මේ විදියට, අපිට පවතින තත්වයට අනුහුරු වෙන්න පුලුවන් නම්, ඒක මානසික සෞඛ්‍යයට ඉතාම හොඳයි.
හැබැයි එකක්, මේ තත්වයට අනුහුරු වුණාට, ඒ තත්වයට පුරුදු වෙන්න යන්න එපා. ඒ ගැන අපි අන්තිමටම කතා කරනවා.
-
විශාල චිත්‍රය දිහා බලන්න
මේ කියන්නේ, අපි ඉන්න අර්බුදකාරී තත්වය අනවශ්‍ය විදියට පර්සනල් කරගන්න එපා කියන එක. දැන් අපි ඉන්නේ රටක් වශයෙන් ආර්ථික අර්බුදයකනේ. ඒක ඇත්ත. හැබැයි ඒ විතරක් නෙවෙයි, ලෝකෙම ගත්තත් අපි යම් තාක් දුරකට අර්බුදකාරී තත්වයක මේ වෙනකොට ඉන්නවා. නිකමට හිතන්න, කොවිඩ්-19 ආපු එකෙන් ලෝක ආර්ථිකයට කොයි වගේ හානියක් වුණාද. එතකොට රුසියා-යුක්රේන් යුද්ධය සමස්ත ලෝක ආර්ථිකයටම පහරක් එල්ල කරලා නැද්ද. මේක තමයි ඇත්ත. හැබැයි මේ විශාල චිත්‍රය දිහා බලන්න ඕන, තව ටිකක් ඩිප්‍රෙස් වෙන්න බලාගෙන නෙවෙයි. ඒ දිහා බලන්න ඕන, මේ අර්බුදය තමන්ගේ පවුලට විතරක් බලපවත්වන එකක් නෙවෙයි කියන එක අවබෝධ කරගන්න. හැබැයි එහෙම සමස්ත චිත්‍රය දිහා බලලා, “ආ මේ අර්බුදේ මට විතරක් නෙවෙයිනේ, ඒ නිසා ඔන්න ඔහේ එන විදියකට ඉන්නවා” කියන මානසිකත්වයට යන්න හොඳ නෑ. ඒ මානසිකත්වය තව දරුණු ඩිප්‍රෙෂන් තත්වයකට ෂෝට් කට් එකක්. අර්බුදය සමස්තයි කියලා දැනගෙන, අර්බුදයෙන් බේරෙන්න තමන්ට ගන්න පුලුවන් පුද්ගලික ක්‍රියාමාර්ග ගැන හිතන්න, ඒ අනුව ක්‍රියා කරන්න. ඒ ගැන තමයි අපි උඩ කතා කළේ.
-
ධනාත්මක ක්‍රියාකාරකම් සහ ධනාත්මක චින්තනය
අපිට මේ වගේ අර්බුදකාරී කාලයක හිත නිරවුල්ව, ශක්තිමත්ව තියාගන්න ඕන නම්, ධනාත්මකව හිතන්න වෙනවා. මෙච්චර කාලයක් අපිට ඔය ධනාත්මක චින්තනය වගේ දේවල් විහිලු විදියට පෙනුනා වෙන්න පුලුවන්. හැබැයි ඇත්තටම ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත යුත්තේ මෙන්න මේ වගේ කාලෙකදී තමයි. ඇත්තටම අපිට තෙල් පෝලිම් වල දවස් ගණන් ඉන්න වෙනකොට, හෙට දවසේ කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වෙනකොට ධනාත්මකව හිතන්න බැහැ තමයි. හැබැයි අන්න ඒ මොහොතේදී තමයි අපි බලහත්කාරයෙන් හරි ධනාත්මකව හිතන්න ඕන. විශේෂයෙන්ම අර්බුදයට මුහුණ දෙන්න දේවල් කරන අතරවාරයේදීම පොසිටිව් විදියට හිතන්න බලමු. මේ අර්බුදය කෙක්කෙන් බැරිනම් කොක්කෙන් ගොඩදාන්න රටක් විදියට එකතු වෙනවා කියලා අධිෂ්ඨාන කරගන්න එක එහෙම ධනාත්මක විදියට හිතන එකට උදාහරණයක්!
හැබැයි තව දෙයක් තියෙනවා. මේ වගේ අර්බුදකාරී කාලයක ධනාත්මකව හිතන එක විතරක් මදි. ධනාත්මක කටයුතු වල යෙදෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, දවසකට පැය බාගයක් වත් භාවනාවට ගත කිරීම, සංගීතයට සවන් දෙන එක, හොඳ විනෝදාංශයක් අරඹන එක, එතකොට ඒ වගේ මොකක් හරි හිත ශාන්තියට පත් කරන ක්‍රියාකාරකමක යෙදෙන එක උදාහරණ. දැන් කෙනෙක් අහයි මේ වගේ කරන්ට් කපන, පෝලිම් වල ඉන්න වෙන රටක ඔව්වට කෝ වෙලාව කියලා. නෑ, ඇත්තටම අපිට වෙලාව තියනවා. ඒ වෙලාව කළමනාකරණය කරගන්න දැනගන්න එකයි කළ යුත්තේ!
-
කතා කරන්න
මේක වැදගත්. අපි පටන් ගන්නකොටත් කිව්වනේ, මේ වගේ දරුණු අර්බුදයක් නිදහසෙන් පස්සේ ලංකාවට උදා වෙලා නෑ. ඒක ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. හැබැයි හිතට පීඩනයක් දැනෙනකොට, මේ තත්වය බරක් විදියට දැනෙනකොට ඒ ගැන තමන්ගේ හිතමිතුරන්ට කියන්න. ඒ අයත් එක්ක කතා කරන්න. මනස නිදහස් කරගන්න. දැන් මේ දවස් වල අපි වැඩි වැඩියෙන් දකිනවා මිනිස්සු හරිම ආතතියකින් ඉන්න විදිය. ගොඩක් අය ෆේස්බුක් එකේ පවා ඒ ගැන ලියනවා. ඇත්‍තම කිව්වොත් සමාජ මාධ්‍ය ජාල කියන්නේ මේ කාලේ මනස නිරවුල්ව, ශක්තිමත්ව තියාගන්න වැදගත් දෙයක්. තමන්ට මේ අර්බුදය ගැන හිතනකොට, එදිනෙදා ජීවිතය ගෙනියන එක ගැන හිතනකොට, අනාගතයක් තියේවිද කියලා හිතනකොට එන මානසික පීඩනය දරන්න බැහැයි වගේ හිතෙනවා නම්, අඩු තරමින් ඒ ගැන කියලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්න. එහෙම දාලා බලන්න කී දෙනෙක් අපේ හිත ශක්තිමත් කරන්න ඉදිරිපත් වෙනවද කියලා.
-
ඔබේ ආදරණීයයන් හිත සමීපයේ තබා ගන්න, ඒ අයටත් ශක්තියක් වෙන්න
අර්බුදයක් තියෙන වෙලාවක අපිට හිතට හයිය ගෙන දෙන්න පුලුවන් කොටසක් තමයි අපේ ආදරණීයයන්. හැබැයි අපේ ආදරණීයයන් මෙහෙම රටක් මුහුණ දෙන අර්බුදයක් වෙලාවට අපිට හිතට හයියක් වෙන්න වගේම, හිත කඩා වට්ටවන්න හේතුවක් වෙන්නත් පුලුවන්. ඒ මෙහෙමයි. දැන් අපි හිතුවොත් “අපේ ආදරණීයයෝ අපේ වගකීම, අපි කොහොමද මේ වගේ අර්බුදයක් මැද්දේ මේ අයව රකින්නේ” කියලා, ඒකම මානසික අවපීඩනයට හේතුවක් වෙන්න පුලුවන්. හැබැයි අපිට හිතන්න පුලුවන් නම් “මේ මම ආදරේ කරන මිනිස්සු, මගේ පවුල, මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි එකට හිටියොත්, එක ශක්තියෙන්, එකා වගේ වැඩ කරන්න පුලුවන්” කියලා, අන්න ඒක අපිට හොඳ දිරිගැන්වීමක්, ශක්තියක් වෙනවා. ඇත්තටම, මේ වගේ අර්බුදකාරී අවස්ථාවකදී කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි, පවුලක් විදියට කොහොමද මේ තත්වයට මුහුණ දෙන්නේ කියන එක ඒ අයත් එක්ක එකට ඉඳගෙන සාකච්ඡා කරන එක සහ එක්ව තීන්දු තීරණ ගන්න එක.
-
හැබැයි මේ තත්වය සාමාන්‍යයි කියලා ඒකට හුරු නොවෙන්න
දැන් අපි මිනිස්සු විදියට බොහොම පහසුවෙන් දේවල් වලට හුරු වෙන ජාතියක්නේ. ඒ කියන්නේ, පවර් කට් එනකොට අපි ඒකට සතියක් දෙකක් බැන්නට, මාසයක් යනකොට දවසට පැය තුන හතරක් කරන්ට් කපන එක නෝමල් වෙනවා. කෝටා ක්‍රමේට තෙල් ටිකක් ගන්න පැය දහය පහළොව පෝලිමේ ලගින එක ටික කාලයක් යනකොට එදිනෙදා ජීවන චර්යාවේ කොටසක් වෙන්න පටන් ගන්නවා. දැන් මේක මානසික සෞඛ්‍යයට ලොකු නරකක් නැහැ නේද කියලා කෙනෙක්ට හිතෙයි. නෑ, ඒක ඇත්තටම නරකයි. අපි මේ අර්බුදය සාමාන්‍ය දෙයක් කියලා භාර ගන්න තරමට, අපි ඒක විසඳන්න දෙයක් නොකර ඉන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම ලංකාවේ තියෙන අර්බුදයට පාලක පක්ෂයත්, සාමාන්‍ය මහජනතාවත් කියන දෙකොටසම වග කියන්න ඕන. හැබැයි ඒක විසඳන්නත් පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට එකතු වෙලාම තමයි. ඒක විසඳන්න නම්, මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි කියන අවබෝධය ලබාගන්න ඕන. අන්න ඒ අවබෝධය ලබාගන්න කියන එක තමයි අපි මේ කියන්නේ.
-
තමන්ගේ සිහින වළලා නොදමන්න
අවසන් වශයෙන් මෙන්න මේ කාරණාව මතක තියාගන්න. අපි මේ රටක් විදියට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ විදියේ ආර්ථික අර්බුදයක් ඇවිත්, ඒ අර්බුදයට අනුව ජීවත් වෙන්න හැඩ ගැහෙනකොට මුලින්ම වෙන දෙයක් තමයි, අපේ සිහින වලට මැරෙන්න දෙන එක. අපි හැමෝටම එක එක විදියේ සිහින තියෙනවනේ. කෙනෙක්ට සිහිනයක් තියෙන්න පුලුවන් දඹදිව යන්න. තව කෙනෙක්ට සිහිනයක් තියෙන්න පුලුවන් කවදාහරි ගායකයෙක් වෙන්න. තවත් කෙනෙක්ට සිහිනයක් තියෙන්න පුලුවන් වෙන රටක පදිංචියට යන්න. හැබැයි මේ වගේ අර්බුදකාරී තත්වයකදී එදිනෙදා ජීවිතේ ගෙනියන එකම චැලෙන්ජ් එක වෙනවා. තවදුරටත් සිහින වලට වැඩ කරන්න තියා, ඒ ගැන හිතන්නවත් බැරි වෙනවා. එහෙම නේද? අපි කියන්නේ එහෙම වෙන්න දෙන්න එපා කියලා. තමන්ගේ සිහින නිතර නිතර මෙනෙහි කරන්න. ඒ හීන කවදාහරි ඉෂ්ට කරගන්න විදිය සැලසුම් කරන්න. ඒ සැලසුම් වලට යන්න දවසකට අංශුමාත්‍රික වැඩ කොටසක් හෝ කරන්න. මෙහෙම ගිහින් ඒ සිහින සාක්ෂාත් කරගන්නවාමයි කියන අධිෂ්ඨානයෙන් ජීවත් වෙන්න.
ජීවිතේ කියන්නේ කොහොමත් එහෙම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ දරුණු ආර්ථික අර්බුදයකට රටක් විදියට මුහුණ දීලා තියෙනකොට ඒක කොහෙත්ම ලේසි පාසු නෑ. ඒත් උඩ කියපු විදියට හිතන්න පතන්න පුරුදු වුණොත්, ඇත්තටම අර්බුද කාලෙක ජීවිතේ කියන්නේ ඒ හැටි අමාරු දේකුත් නෙවෙයි.
Leave a Reply