කෙනෙක්ට නැහැ, බැහැ කියන්න බෑ වගේද? එහෙමනම් මේ උපදෙස් ඔබ වෙනුවෙන්මයි!

සාමාන්‍යයෙන් අපි ගොඩක් දෙනෙක්ට තියෙන ජාතික ගැටළුවක් තමයි නැහැ බැහැ කියන්න බැරි වීම. ඒ කියන්නේ අපිට කරන්නම බැරි සීන් එකක් කවුරුහරි අපි ගාවට උස්සගෙන ආවත්, නැහැ බැහැ කියන්න බැරි මොකක්දෝ කිචිකිචියක් ඉතුරු වෙනවා. දැං හිඟන මනුස්සයෙක් ලඟට ඇවිත් සල්ලි ඉල්ලුවොත් අපිට අනික් මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියලා බයයි. ඒ නිසා බස් එකට සල්ලි නැතත් පොරට කීයක් හරි දෙනවා. එහෙම නැතිනම් පට ගාලා නිදිකිරා වැටෙනවා. ඉතින් ඇයි බැහැ කියන්න බැරි? එතකොට ඔන්න කවුරු හරි අපිට කීයටවත් කරන්න බැරි උදවුවක් ඉල්ලුවහම ඇඹරිලා ඇඹරිලා හා කියනවා. හැබැයි වැඩේ මළාට කරන්න වෙන්නෙත් නෑ. ඉතින් ඔන්න අපි වැඩේ අරගෙන ආපු එකාව මග අරින්න පටන් ගන්නවා. ඇයි බැහැ කියන්න බැරි? ඇත්තටම එහෙම නැහැ බැහැ කියන්න බැරි එකෙන් වෙන ලොකු ගැටළුවක් තමයි, එක්කෝ අපේ වැඩ නොසෑහෙන්න පාඩු වීම. එක්කෝ එහෙම නැහැ බැහැ කියන්න බැරි කමට දෙයක් භාර අරගෙන නොකර ඇරියම සිද්ධ වෙන තවත් ගැටළුවක් තමයි අපේ ක්‍රෙඩිබිලිටියටත් සෑහෙන්න හානියක් වෙන එක.

ඉතින් ඔය ප්‍රශ්න එකක්වත් නෑ අපි නැති වෙලාවට හරි බැරි වෙලාවට හරි ඇඹරෙන්නෙ නැතුව කෙලින් නැහැ බැහැ කියන්න පුරුදු වුණා නං. නැද්ද හා? ආන්න ඒකට ටිප්ස් ටිකක් තමයි මේ.

 

 

1. ටැක්ටික්ස් වටහා ගන්න

මේක ඉතාම වැදගත්. මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධාකාර එවුන්ගෙන් සමහරු එන්නේ අපිව අන්දලා වැඩක් කරවගන්න. උදාහරණයක් විදියට සමහර කෙල්ලෝ ඉන්නවා චැට් එකේ හායි හලෝ කියන්නෙම වැඩක් කරවගන්න. ඒ වගේම තවත් සමහර කෙල්ලො ඉන්නවා, “සුදු අයිය පැට්ටෝ” ගාගෙන එන්නෙම දතක් ගලවන්න. එතකොට ඔය සමහර කොල්ලො ඉන්නවා ඒත් “නංගි මැණික” ගාගෙන සීන් එකට එන්ටර් වෙන්න හදන්නේ දත ගලවන්න තමයි. තව මේ වගේ අන්දන ටැක්ටික්ස් ගෝනි ගාණට කියන්න පුළුවන්. “මචං මාත් කොල්ලෙක් උඹත් කොල්ලෙක්”, “මචං මට මේ වෙලේ මුලින්ම මතක් වුණේ උඹව”, “මචං උඹ සිරාම එල කොල්ලෙක්/කෙල්ලෙක්” වගේ එව්වත් ගොඩක් වෙලාවට කෙළවර වෙන්නේ උදවුවක් ඉල්ලගෙන තමයි.

මෙහෙමයි. අපිට හානියක් නොවී, අපේ එදිනෙදා වැඩකට, අපේ සේවින්ග්ස් එකකට, අපේ ජීවිතේට සීරියස් ගැටළුවක් කරගන්නෙ නැතුව මෙහෙම ටැක්ටික්ස් දාගෙන එන එකෙක්ට හෝ එකියකට වුණත් උදවුවක් කළාට කමක් නෑ. හැබැයි ටැක්ටික්ස් ගැන දැනගෙන ඉන්න එක වටිනවා. 

 

2. බවුන්ඩරීස්

කෙනෙක්ට උදවුවක් කරන්න, කොටින්ම යමකට හා කියන්න පොඩි ලිමිට් එකක් හදාගමු. ලිමිට් එක සරලයි. කෙනෙක්ට උදවු කරන්න යෑමෙන් තමන්ගේ ජීවිතේ එදිනෙදා කටයුතු වලට, තමන්ගේ පෞද්ගලික හෝ සමාජ වගකීම් වලට, තමන්ගේ වෘත්තිය වගකීම් වලට හානියක් වෙනවා නම්, ඒ වගේම තමන් සදාචාරාත්මක හරි නීතිමය හරි සීමාවන් උල්ලංඝනය කරනවා නම්, කිසිසේත්ම “හා” කීමෙන් වළකින්න. උදාහරණයක් විදියට ගත්තොත්, යාළුවෙක් රොබරියක් දීලා හොරකං කරපු හොරබඩු, ෆිට් එක වෙනුවෙන් දවස් කීපයක් හංගලා තියාගන්න කිව්වොත් ඒකට අපේ උත්තරේ වෙන්න ඕන “බැහැ” කියන එක. යාළුවෙක්ට අපිට හෙට ඔෆිස් නොයා එයත් එක්ක ගිහින් ලැප්ටොප් එකක් තෝරන්න උදවු කරන්න එන්න කිවුවොත්, හැබැයි අපිට හෙට නොයා බැරි මීටිමක් තියෙනවා නම්, යාළුවාට හෙට ලැප්ටොප් එක ගන්න එක අතිශයින්ම අවශ්‍යතාවයකුත් නොවෙයි නම්, අපේ උත්තරේ වෙන්න ඕන “බැහැ” කියන එක.

 

3. පොල්ලෙන් ගැහුව වගේ නැහැ බැහැ නෙවෙයි

හැබැයි අපිට එහෙම පොල්ලෙන් ගැහුවා වගේ නැහැ බැහැ කියන්න ඕන නැහැනේ, නැද්ද? අපිව අන්දලා උදවුවක් ඉල්ලන්න වුනත් එක එකෙක් අපි හතුරෙක් විදියට සළකන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා අපි මූලිකවම කාරුණික වෙන්න ඕන. ඒක මේකට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ජීවිතේ ඕනම දේකදී කාරුණික වෙන එක වටිනවා. ආන්න ඒ නිසා, අපි දේකට නැහැ බැහැ කියනකොට අපිට පුළුවන් කාරුණිකව අපේ තත්ත්වය පැහැදිළි කරන්න. ඊට පස්සේ “සෝ සොරි මචං, මේ වෙලාවේ එන්න පුළුවන් කමක් නෑ” වගේ දේකින්, එහෙම නැතිනම් “සොරි අයියේ, මේ වෙලාවේ මගේ අතෙත් කීයක්වත් නෑ” වගේ දේකින් කියන්න පුළුවන්. ඒ වගේ දේකට සොරි කියන එකෙන් අපේ මොකුත් අඩු වෙන්නෙ නෑනේ!

 

4. ඊගෝ නැති කරගන්න

මෙන්න මේ ඊගෝ එක කියන එක අපි බැරි වැඩ වලට හා කියලා කෙලෝ ගන්න ෂුවර් ඇන්ඩ් ෂොට් පොටක්. උදාහරණයක් ගමු. ඔන්න අපි හෙනම ලොකු සීන් එකෙන් ඉන්නවා. ආයෙ අපි පෝෂ එලවන්නේ, වැකේෂන් එකට ෆ්‍රාන්ස් යන්නෙ ලෙවල් එකට තමයි ඉන්නේ. එහෙම බොරු පුරසාරං ගහනකොටත් දෙපාරක් හිතන්න ඕන, ඒක වෙනම කතාවක්. කොහොම හරි ඔන්න එකෙක් ඇවිත් අපෙන් රුපියල් දහදාහක් ඉල්ලනවා. මූ ඒක ආයෙ දෙයි කියලත් ෂුවර් නෑ. හැබැයි අර අපි ඒක නොදුන්නොත් අපි හිඟන්නෙක් වගේ පෙනෙයි නේද කියන ඊගෝ එක නිසා දෙනවා!

තමන්ගේ ඇත්ත විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන මුලින්ම. ඊලඟට, තමන් නැහැ බැහැ කිවුවොත් රටේ ලෝකේ සමාජේ අය අපි ගැන මොනව හිතයිද කියන ආකල්පය අහක් කරගන්න. 

 

5. නැහැ බැහැ කියන්න පුළුවන් ක්‍රම ඉගෙන ගන්න

සාමාන්‍යයෙන් අපිට නැහැ බැහැ කියන්න වෙන්නේ උදවු ඉල්ලීම් වලට විතරක්ම නෙවෙයි. තව ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔය නැහැ බැහැ කියන එව්වා වඩාත් ඩිප්ලොමැටික් විදියට කියන්න පුළුවන් ක්‍රම සහ විධි ඉගෙනගන්න එක වටිනවා. 

 

“ඔයා මගෙන් එහෙම දෙයක් අහපු එකත් මට ලොකු සතුටක්, ඒත් මේ වෙලාවේ අමාරුයි”.

 

“අයියෝ, මේ වෙලාව මටත් ඒ තරම් හොඳ වෙලාවක් නෙවෙයි, මොකද කරන්නේ?”

 

“හරිම කණගාටුයි, මට මේ වැඩේ මිස් කරන්න විදියක් නැහැනේ, වෙන වෙලාවක බලමුද?”

 

“මගෙන් මුලින්ම මේක ඇහැව්වට තෑන්ක්ස්. ඒත් මේ වෙලාවේ කරන්න විදියක් නෑනේ!”

 

6. කොන්දේසි සහිත වෙන්න

මෙන්න මේ කොන්දේසි සහිත වීම, කෙලින්ම නැහැ බැහැ කියනවට වඩා බොහොම පහසු ක්‍රමයක්. හැබැයි මේක හරියන්නේ අපිට ඉල්ලන උදවුව, ඉල්ලන වැඩේ ඇත්තටම කොන්දේසි සහිතව කරල දෙන්න පුළුවන් වෙලාවකට තමයි. හරි, උදාහරණයක් ගමු. යාළුවෙක් ඉල්ලනවා මොකක් හරි ඩොකියුමට් එකක් ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න කියලා. දැන් අපි හරියට හිතලා බලනවා අපිට තියෙන වැඩත් එක්ක මෙහෙම උදවුවකට වැය කරන්න පුළුවන් කාලය සහ කොයි කාලෙද පුළුවන් කියන එක. එහෙම බලලා අපි කියනවා “මචන් කරල දෙන්න බැරි කමක් නෑ, හැබැයි මේක මට පටන් ගන්න පුළුවන් වෙන්නේ සිකුරාදයින් පස්සේ, කමක් නැද්ද?” කියලා. “මචන් හදිස්සියි, ඊට කලින් බැරිද?” කියලා ඇහුවොත් ඉතින්, බැරි නම් බෑ තමයි. 

තව උදාහරණයක් ගමු. “මචං, සල්ලි හදිසියක්, උඹෙන් අතමාරුවක් ඕන, දහදාහක් දෙන්න පුළුවන්ද?” කියලා ඇහුවම, ඇත්තටම පොරට උදවු කළාට කමක් නෑ කියලා හිතනවා නම්, හැබැයි අපේ අතේ මේ වෙලාවේ සල්ලි නැත්තං මෙහෙම කියන්න පුළුවන්. “මචං දෙන එක අවුලක් නෑ. හැබැයි මේ මොහොතේ මගෙ අතේ නෑ. උඹට බදාදා වෙනකල් ඉන්න පුළුවන් නම්, එදාට පඩි වැටෙනවා, එතකොට දෙන්නම්”. එතකොට සල්ලි ඉල්ලපු පොරට ඊට කලින් හදිසියි නම් වෙන අතක් බලාගන්න වෙනවා. හැබැයි “මචං වෙන කොහෙන් හරි පොලියට අරගෙන හරි දෙන්න බැරිද?” වගේ ඇහුවොත් නං, එව්වට කෙලින්ම “සොරි මචං, ඒක කරන්න නං බෑ” කියන එක තමයි නුවණට හුරු!

 

7. ප්‍රශ්නෙ අහන කෙනාගේ තත්ත්වයත් බලමු

අපි නැහැ බැහැ කියන්න කලින් ඇත්තටම අපෙන් දෙයක් ඉල්ලන මනුස්සයගෙ තත්වයත් හිතලා බලන්න ඕන තමයි. උදාහරණයක් විදියට ගත්තොත් අර උඩින් කියපු ඩොකියුමන්ට් එකක් ට්‍රාන්ස්ලේට් කරල දෙන්න කියලා ඉල්ලපු එකාව ගමු. දැන් ඕක ඉගෙනගන්න කෝස් එකට සම්බන්ධ වැඩක් වගේ නම් ඉතින් අපිට පොඩ්ඩක් නම්‍යශීලී වෙලා, අපේ වෙලාව එහෙ මෙහෙ කරලා වැඩේ කරල දෙන්න පුළුවන්ද කියලා බලන්න හැකියි. එතකොට වීසා වලට වගේ පෞද්ගලික වැඩකට වුණත්, පොර රිම් එකෙන් යන ගමන් වැඩේ ගොඩදාගන්න ට්‍රයි කරනවා නම් ඉතින් එහෙම අපේ වැඩක් පස්සට දාලා වුණත් “හා” කියන එක යහපත් ක්‍රියාවක්.

හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් එවුන් එන්නේ පිනට කෙලින්න. උදාහරණයක් විදියට අර ඩොකියුමන්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා ඉල්ලපු වැඩේ ඇත්තටම එක්කෝ උගේ ජොබ් එකට අදාළ වැඩක් වෙන්න පුළුවන්. එක්කෝ මොකක් හරි සල්ලි එන ප්‍රොජෙක්ට් එකක වැඩක් වෙන්නත් පුළුවන්. එතකොට ඇයි අපි යාළුපිට්‍ එකට කියලා එව්වා කරල දෙන්න යන්නෙ අපේ වැඩ අතෑරලා? ජොබ් එකට අදාළ වැඩක් නම්, ඒක කරන්න ඒ ආයතනයේ මිනිස්සු ඉන්න ඕන. යාළුවා තමන්ට ට්‍රාන්ස්ලේෂනුත් පුළුවන් කියලා පච කෙළලා ජොබ් එක අරගෙන, දැන් ඒක යාළුපිට් එකට අපේ පිටින් කරගන්න හදනවා නං ඒකත් අපේ වැඩක් නෙවෙයි! 

 

8. “මොකද්ද මචං”, “මොනවද උඹලගෙන් ඇති වැඩේ”: එව්වට අහු නොවෙන්න

මෙන්න මේවා කෙලින්ම ඉමෝෂනල් බ්ලැක්මේල් කිරීම්. එව්වට මලාට අහුවෙන්න යන්න එපා. “මොකද්ද මචං මේ වගේ උදවුවක් වත් කරන්න දෙන්න බැරි නම් උඹලගෙන් ඇති වැඩේ?” කියලා ඇහුවොත්, පොඩ්ඩක් ආපස්සට මතක් කරලා බලන්න මනුස්සයත් අපිට ඒ වගේ උදවු පදවු කරල තියෙනවද කියලා. එහෙම හිස්ටරියක් නැතිනම් කෙලින්ම කියලා දාන්න “සොරි මචං, මගෙන් වැඩක් නෑ තමයි, ඒ නිසා ඕක කොහොමටවත් කරන්න බෑ” කියලා. එහෙම තදට කියන්න බැරි නම් හිනා වෙලා පාඩුවේ ඉන්න. හැබැයි අපිට කරන්න බැරි වැඩකට ඉමෝෂනල් බ්ලැක්මේල් කිරිලි නිසා කරගහන්න යන්න එපා!

 

දැන් එහෙම ඇඹරෙන්නෙ නැතුව කෙලින් නැහැ බැහැ කිව්වහම ප්‍රශ්න එන්නෙ නැද්ද? අපොයි එනවා. අපෙත් එක්ක මිනිස්සු තරහ වෙන්න පුළුවන්. හැබැයි මේක දේව වාක්‍යයක් වගේ මතක තියාගන්ඩ. අපි උඩ කියලා තියෙන විදියට දේකට නැහැ බැහැ කිව්වහම අපිත් එක්ක තරහ වෙන එවුන් හිටියත් වැඩක් නෑ. කූඩැල්ලෝ වගේ තමයි. අපේ ජීවිත වල තියාගන්න වටින මිනිස්සු ඇත්තටම එහෙම අපි සත්‍යවාදීව සහ කාරුණිකව නැහැ බැහැ කිව්වා කියලා අපි එක්ක තරහ වෙන්නෙත් නෑ!! ඔච්චරයි කතාව!!!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *