දැන් කාලේ ඊමේල් එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයාගන්න නැහැනේ. ෆේස්බුක් එකවුන්ට් එකක් නැතත්, ඊමේල් එකක් නම් තියෙන්නම ඕන. මොකද, ෆේස්බුක් එකවුන්ට් එකක් හදන්නත් ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ ඊමේල් ඇඩ්‍රස් එක ඉස්සර නම්. දැන් ඔෆිස් එකකින් දෙන ඊමේල් ඇඩ්‍රස් එකක් ඇරෙන්න, ඕනම කෙනෙක්ට තියෙන්නේ ජීමේල් ඇඩ්‍රස් එකක් බොහෝම වෙලාවට. ඉස්සර, ඒ කියන්නේ අනූව දශකය අගභාගයේ, දෙදාහ මුල හරියේදී අන්තර්ජාලෙත් එක්ක සම්බන්ධ වුණු අපිට නම් ඊමේල් කිව්වොත් ජීමේල් මතක් වෙන සීන් එකක් තිබුණෙ නෑ. එකක්, ඒ කාලේ ගූග්ල් නැගගෙන එන කාලේ මිසක්, නැගලා තිබුණු කාලේ නෙවෙයි. ජීමේල් එක විකල්පයක් විතරයි. හැබැයි අපි ඇතුළු ගොඩක් දෙනෙක්ට ඒ කාලේ පටන් ගැන්මට තිබුණේ යාහූ මේල් එකවුන්ට් එකක්. සමහරුන්ට AOL නැතිනම් America online ඊමේල් එකවුන්ට් එහෙමත් තිබුණා. හැබැයි දැන් ෆ්‍රී ඊමේල් එකවුන්ට් කිව්වොත් මතක් වෙන්නේ ජීමේල් විතරයි.
ඒත් ඇත්ත ඒක නෙවෙයි. තව ඊමේල් සේවාවන් තියෙනවා. ලෝකේ ගොඩක් දෙනා නොවුණත්, සුලුතරයක් හෝ පිරිස ජීමේල් වෙනුවට හෝ ජීමේල් වලට අමතරව හෝ මේ විකල්ප ඊමේල් සේවාවන් පාවිච්චි කරනවා. අපිටත් ඉතින් විකල්පයක් විදියට තව ඊමේල් එකවුන්ට් එකක් හදාගන්න ඕන නම් පහළ කියන ඊමේල් සේවාවන්ගෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්!
1. Outlook.com

Image Source – bleepingcomputer.com
ඇත්තටම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන මනුස්සයෙක්, විශේෂයෙන්ම ඉස්සර තිබුණු වින්ඩෝස් සංස්කරණ පාවිච්චි කරලා තියෙන මනුස්සයෙක් නම් අවුට්ලුක් ගැන නොදැන ඉන්න විදියක් නෑ. දැනටත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක එන අවුට්ලුක් ඇප් එකට සම්පූර්ණයෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය, ඒකේ තියෙන කැලැන්ඩරේ, කන්ටැක්ස් වගේම OneDrive, OneNote, OfficeOnline එක්කත් සම්බන්ධ වෙලා, උපරිම සේවාවක් ලබාදෙනවා. ඕන නම් ස්කයිප් නෝටිෆිකේෂන් එන විදියට සෙට් කරගන්නත් පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකත් හරි සරලයි. ඔටෝ ඊමේල්ස් ඕර්ගනයිස් කරලත් දෙනවා. හැබැයි සමහර වෙලාවට පට් පට් ගාලා ලෝඩ් වෙන්නෙ නම් නෑ.
2. AOL Mail

Image Source – viralvista.net
ඉස්සර තිබුණු AOL Mail ඇත්තටම තාමත් තියෙනවා. AOL Mail ඊමේල් පේජ් එකෙන්ම ඇක්සෙස් තියෙන කැලැන්ඩර් එකකුයි, ටු ඩී ලිස්ට් එකකුයි එක්ක තියෙන මේ ඉන්ටර්ෆේස් එක ජීමේල් වගේම, සමහර වෙලාවට ඊටත් වඩා වැඩියෙන් කස්ටමයිස් කරන්න පුළුවන් විදියට තේමාවන් අටෝරාසියකුත් මේකේ තියෙනවා. මීට අමතරව සෙටින්ග්ස් වුනත් සෑහෙන්න කස්ටමයිස් කරන්න පුළුවන්. එකම අවුල මේ AOL Mail අය තදින්ම අපිට ඇඩ්වර්ටීස්මන්ට්ස් පෙන්නන වැඩේට ඇබ්බැහි වෙලා තියෙන එක තමයි.
3. Yandex Mail
මේක ඒ තරම් අහල පුරුදු නමක් නෙවෙයි නේද? ඔව්, ඒකට හේතුවක් තියෙනවා. මේක රුසියන් කොම්පැණියකින් කරන ඊමේල් සේවාවක්. ෆ්‍රී ඊමේල් එකක් එක්කම මේ අය නොමිලේ ගිගාබයිට් 10ක ක්ලවුඩ් මතක ධාරිතාවකුත් ලබා දෙනවා. එතකොට Yandex calender සේවාවට වගේම, Yandex සර්ච් එන්ජින් එකටත් ඇක්සෙස් ලැබෙනවා. ඒ වගේම මේ ඔස්සේ ඔබට ඔබේ තියෙන ජීමේල් එකවුන්ට් එකට, ෆේස්බුක් එකට හෝ ට්විටර් එකට වුනත් ඇක්සෙස් වෙන්න පුළුවන්. මේකේ ඊමේල්ස් ස්වයංක්‍රීයව කාණ්ඩ වලටත් බෙදෙනවා. හැබැයි ඉතින් වැඩි ආරක්ෂාවට මේකේ two-factor authentication එකක් තියෙනවා. ඒ කියන්නේ Yandex ඇප් එක හරහා අනන්‍ය්‍යතාවය තහවුරු කළ යුතුයි.
4. ProtonMail

Image Source – protonmail.com
තව ඩබල් රහසිගතව ඊමේල්ස් යවන්න ඕනෑ නම් මෙන්න ඊමේල් ක්ලයන්ට්. මේකේ හැම දෙයක්ම එන්ක්‍රිප්ටඩ්. ඇත්තටම අපි දකින අනෙක් ඕනෑම ඊමේල් සේවාවකට වඩා මේකේ ඊමේල් දත්ත විශාල වශයෙන් එන්ක්‍රිප්ට් කරලා, ඒ කියන්නේ කේතනය කරලා තියෙන නිසා ඒක ආරක්ෂාවට ඉතාම හොඳයි. මේ ProtonMail සේවාව පාවිච්චි නොකරන කෙනෙක්ට යවන ඊමේල් එකක් වුනත් එන්ක්‍රිප්ට් කරලා යවන්න මේකෙන් පහසුකම ලබාදෙනවා. ඒ වගේම අපේ ඊමේල් එක එක්ස්පයර් වෙන්නේ, කල් ඉකුත් වෙන්නේ කවදද කියන එකත් තෝරගන්න ඉඩ ලබාදෙනවා. උපරිම සති හතරක් දක්වාත්, අවම පැයක් දක්වාත් ඊමේල් කල් ඉකුත් වීමේ දිනයක් සෙට් කරන්නත් පුළුවන්. හැබැයි 500MB විතරයි මේල් වලට මතක ප්‍රමාණය තියෙන්නේ.
5. Zoho Mail
ඔය ජීමේල් එක්ක ඇත්තටම එනවනේ ගූග්ල් සම්පූර්ණ ඇප්ස් කන්දරාවක්. ආන්න ඒ වගේ ඔන්ලයින් ඇප්ස් සෙට් එකක්ම තියෙන පැකේජ් එකක් තමයි Zoho කියන්නෙත්. ඒකේ ෆ්‍රී ඊමේල් සේවාව තමයි මේ Zoho Mail. ඉතාම සරල අතුරු මුහුණතකින් සහ නිමාවකින් යුක්ත වෙන ඊමේල් පිටුව ටැබ් වශයෙන් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඕනම වෙලාවක අපි ටයිප් කර කර ඉන්න ඊමේල් එකේ ටැබ් එකෙන් ඉන්බොක්ස් ටැබ් එකට මාරු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔය ව්‍යාපෘති කරන කණ්ඩායම් වලට ඉතාමත් හොඳ මේ Zoho Mail එකෙන් අනෙක් Zoho ඇප්ස් වලටත් පහසුවෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඔක්කොම Zoho ඇප්ස් ප්‍රධාන වශයෙන් බිස්නස් යූස් එකට තමයි හැබැයි හදලා තියෙන්නේ.
6. Tutanota

Image Source – assist-login.com
අමුතු විදියේ නමක් තියෙන මේ ඊමේල් සේවාව “ටුටානොටා” කියලලු කියන්නේ. ඒක ලතින්ලු. ඒකේ තේරුම ආරක්ෂිත පණිවුඩය කියන එකලු. එව්වා කොහොම වෙතත් ඇත්තටම මේ ඊමේල් සේවාවත් අපේ ඊමේල් ස්වයංක්‍රීයවම එන්ක්‍රිප්ට් කරලා, ඒ කියන්නේ රහසිගත බව සහ ආරක්ෂාව සුරක්ෂිත වෙන විදියට කේතනය කරලා තමයි යවන්නේ. ඒ වගේම මේ විදියට එන්ක්‍රිප්ට් කරලා ඊමේල් යවන්න, ඊමේල් ලැබෙන කෙනාත් Tutanota පාවිච්චි කරන්න වුවමනා නැහැ. අනික ඔය ලපයි සිපයි පාස්වර්ඩ් එහෙම මේකෙන් පිලිගන්නෙත් නෑ. කාටවත් ලේසියෙන් හිතන්න බැරි බොහොම ප්‍රබල පාස්වර්ඩ් එකක් මේකට දෙන්න ඕන. ඒකෙන් තේරෙනවනේ කොයි තරම් ආරක්ෂාව ගැන මේ අය හිතනවද කියලා. හැබැයි ඉතින් ඊමේල් සඳහා ලැබෙන්නේ ගිගාබයිට් 1ක ධාරිතාවක් විතරයි.
7. 10 Minute Mail

Image Source – cybertronic-devil.blogspot.com
සමහර වෙලාවට අපිට හදිසි වැඩවලට ඊමේල් ඇඩ්‍රස් එකක් ඕන වෙනවා. ඔය සමහර සයිට් වල ලොගින් වලට එහෙම දෙන්න. හැබැයි අපි ඉන් පස්සේ මේ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න අදහසකුත් නෑ. ආන්න එහෙම තාවකාලික ඊමේල් ඇඩ්‍රස් එකක අවශ්‍යතාවය තියෙනකොට ගැලපෙනම සේවාව තමයි මේ 10 Minute Mail කියන්නේ. මිනිත්තුවක් යනකොට ඊමේල් එඩ්‍රස් එක හදාගන්නත් පුළුවන්. අමුතුවෙන් ෆෝම් පුරවලා අපේ පුද්ගලික විස්තර දීලා දඟලන්න දෙයක් ඇත්තෙම නෑ. විනාඩි දහයක් යනකොට ස්වයංක්‍රීයවම ඊමේල් එඩ්‍රස් එක ඩිලිට් වෙලා යනවා. ආයි අපිට ගිහින් අමුතුවෙන් ඩිලිට් කරන්න වදවෙන්න දෙයක්වත් නෑ. හැබැයි ඉතින් විනාඩි 10ක වැඩකට වඩා දීර්ඝ කාලයකට මේ 10 Minute Mail සේවාව ඔස්සේ ඊමේල් එඩ්‍රස් එකක් නිර්මාණය කරන්නත් බැහැ.
Cover Image Source – oberlo.com/projectmanager.com
Leave a Reply